2022 අගෝස්තු 21 වන ඉරිදා

ප්‍රේමයත් හරියට හඳ වගේමයි....

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 94

අද පෝය... අහස පැහැදිලි තරු පිරුණු දවසක උදාවෙන පුන් හඳ මොහොතක්. ම්ම්ම්... වචනවලින් විස්තර කරන්න බැරි ආස්වාදයක්. මොහොතකට කලින් සුපුරුදු විදිහට ඉස්තෝප්පුවට ගොඩවෙලා පෝය හඳ දිහා බලාගෙන ඉන්න  කොට කවියක් ලියන්න හිතුණා. අහස හඳ එළියෙන් පිරිලා තිබුණත් හිත හිස්වෙලා වගේ දැණුනේ. කවියකට පද නොබැඳුණු නිසා මම මෙන්න මෙහෙම වචන කිහිපයක් අමුණලා මුහුණු පොතට දැම්මා.

"කවියට අකුරු නොගැලපෙන රුයක. පුර හඳ ඈත ඈත. මම ඉස්තෝප්පුවෙ තාම.  දැනුණත් තනිකම  බෝම. නොම වේ සෝක. රනින් තැනුවද බඳුන්, පිරුණු පසු යළි පිරෙනුයේ කෝම."

පෝය හද ජංගමයාගේ නෙතේ ඇඳගන්නවා කියලා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද? ඒක කරන්න උත්සාහ කරපු කෙනෙක් දන්නවා ඒක තියෙන රඟේ. ඉතින් කොහොමහරි මාත් අසාර්ථක උත්සාහයන් කෙළවර, සඳඑළිය වැටුණු ගෙමිදුලේ ආලෝක සිතුවමක් මුහුණු පොතට උඩුගත කළා.

ඊට පස්සේ මිදුලට බැහැලා රවුම් දෙක තුනක් ඇවිදලා ඉන්න අතරේ තමයි මට ඔයාලව මතක් වුණේ. හිත හිස්වෙලා තිබ්බාත් මේ පෝය හඳ යට ඉඳගෙන "මතක මඟ දිගේ" වන්දනාවක යන්න ඕනෑ කියලා එකපාරටම හිතුණා. ආයෙත් මෙන්න මේ හාන්සි පුටුවේ ඇලවෙලා මම හෙමිහිට අකුරු ගළපන්න පටන් ගත්තා ඉතින්.

හඳ කියලා කියන්නේ අපි කාටත් අතීතෙට යන්න අපූරු වස්තුවක්. ජීවිතයේ එක් එක් කාලවල හඳ ගැන ඔයාලට හිතුණ දේවල් හිමිහිට සිහිපත් කරගන්න. මේ යන්නෙ හඳ එක්ක මතක පාරක. පුංචි කාලේ හැමෝම වගේ මමත් හිතන් හිටියේ ඇත්තටම හඳේ හාවෙක් ඉන්නවා කියලා. බොරු කියන්නේ මොකටද හඳ මාමත් කිරිපැණි ගෙනත් දෙන කතාවක් මාත් විශ්වාස කළා. ඔයාලත් එහෙමද? මම හිතන්නේ අපි හැමෝම පටන් ගත්තේ එකම තැනින්. පස්සේ අපේ කතාවල් වෙනස් වුණා.

කොහොමහරි කාලයක් යද්දී ඔන්න අම්මා දවසක් කියලා දුන්නා හඳේ හාවෙක් නෑ කියලා. හඳට වැටුණු උල්කාපාත නිසා ආවාට හැදිලා තමා ඔහොම පේන්නෙ. අපේ අම්මා වෙලාසනම ඒ කතාව කියලා දුන්නා. ඊට පස්සේ ඇත්තටම මට තිබුණේ හඳේ ආවාට ගැන කුතුහලයක්. ඒක නම් ඉතින් සෑහෙන්න කාලයක් තිබ්බා. අන්තිමට හාවව නොපෙනීම ගියා.

හොඳ හුස්මක් ඇදගත්තා... ම්ම්... ඉස්සර දවස්. දැන් මිදුල දිහා බැලුවොත් නම් හඳ එළියත් එක්ක අමුතුම ලස්සනක් දැකගන්න පුළුවන්. මම නැගිටලා මිදුලේ ඉස්සරහා පාරට දාලා තියෙන විදුලි බුබුළ නිවලා ආවා. මේ මොහොත තවත් විඳගන්න ඕනෑ. ජංගමයාගේ ලියවිල්ල නතර කරලා. මං මිනිත්තු දහයක් පහළොවක් ඒ අපූර්වත්වය වින්දා.

විටින් විට අඹ ගස් අතරින් හඹාගෙන යන සුළඟ, ඈත පළඟැටියන්ගේ ශබ්දය මේ රාත්‍රිය තවත් වැඩි කරනවා. ඈතින් යාන්තමට මුහුදේ ඝෝෂාව. ම්ම්...ම්ම්... අකුරු කරන්න බෑ ඒවා හැඟීම් දැනීම් සිතුවිලි. භාෂාව ඒ තරම් පොහොසත් නෑ. ඇත්තටම ඔව්. ගොඩක් තැන් ගොඩක් දෙවල් මතක් වුණා.

අහා.... වෙලාවකට මට හිතෙනවා රාත්‍රිය කියලා කියන්නේ පෙම්වතියක් කියලා. සඳ තමයි පෙම්වතා. අද තමයි දවස, මාසයක් ඉවසලා බලන් ඉඳලා ඇය හිමි සඳ දකින දවස. ඉතින් නිසයි මේ රාත්‍රිය මෙච්චරම ලස්සන. ඇත්තටම හඳ ගැන ඔයාලට ඒ වගේ දේවල් හිතිලා නැද්ද? ඔන්න තව කතාවක් මතක් වුණා... ප්‍රේමය වගේ හැඟීම් සිතුවිලි එක්ක මම කාලයක් හඳ එක්ක තරහා වෙලා හිටියා. ඒ කාලේ අමුණපු අකුරු කිහිපයක් ඇති මුහුණු පොතේ. ම්ම්ම්ම්... ඔන්න හම්බ වුණා...

"චපල සඳ
නුඹ වෙනස්
හැමදාම....

දවසක
ලොකුවට
හිටියට

තරු අගෙයි
හැමදාම මට"

මම කොච්චර කෘෘරයිද? ඈත පේන ලස්සන හඳට දොස් කියලා කාලයක්. හඳ ගැන ලියපුවා පෙරලා බලලා හොයපු නිසා  තවත් අපූරු දේවල් කිහිපයක් හම්බවුණා. ඔන්න පස්සේ පස්සේ කාලෙක මට හඳ ගැන දුක හිතිලා.

"කළුවරට පෙම් බඳිමි
සෙවණැල්ල ඇති නිසා 
සඳ රුදු නොවෙමි මං
සෙවනැල්ල මැව් නිසා"

හඳ හැමදාමත් ඔතන ඔය විදියට තිබුණා, එක එක දවස් වලට අපිට හඳ පේන විදිහ වෙනස් වුණා. ඉන්නේ අපි උන්නු තැන නිසා. අපි වෙලාවක හඳට චපලයි කියලා බැන්නා. තවත් වෙලාවක අපි හඳට ආදරේ කළා. ඇත්තටම මේ පෝය හඳ යට මට හිතෙනවා හඳ නොවෙයි චපල අපි කියලා. මම අහන්නේ මම වැරදි ද?

ජීවිතයේ සමහර දේවල් තියෙනවා හඳ වගේ. එක එක කාලෙට එක එක විදියට අපිට පේන්නේ. ඒත් ඇත්තටම ඒ දේවල් එකම විදිහක්. "ප්‍රේමය" ඒ වගේ දෙයක්. ඔව් අපිට වැරදුණු තැන් අපි ප්‍රේමයට බනිනවා සාප කරනවා. අපිට තදින් දැනෙන තැන්වලදී අපි ප්‍රේමය වැළඳ ගන්නවා. ඒ හැමදාම ප්‍රේමය එකම විදිහයි. ඒක හඳ වගේ. පෝයදාටත් තියෙනවා. අමාවක දවසටත් තියෙනවා. වෙනසක් නෑ. අපි ඉන්න තැන අනුව, අපි දකින වෙලාවල් අනුව තමා ඒක වෙනස් වෙනස් විදිහට අපිට දැනුණේ.
හෝව්... හෝව්... හෝව්... පුරහඳ ඇති දවස්වල හිත එච්චර ගැඹුරට අරගෙන යන්න නරකයි. හා නැද්ද? ලියවිල්ලත් නතර කරලා හිත දුර ගිහිල්ලා තිබ්බේ. එකපාරටම අල්ලලා නතර කර ගත්තා.

අන්න වවුලෝ දෙන්නෙක් පියාඹලා ගියා. ශා... ඔයාලා ඒක දකින්න තිබුණේ. අපේ ගෙදර ගාලුපාර පාරෙන් ඇතුළුවන පටුමග. පටු මගෙනුත් තවත් කොන්ක්‍රීට් පාරකට ඇතුළුවෙන්න ඕනෑ. කොන්ක්‍රීට් පාරෙන් අපේ වත්තට වෙනම පාරක් තියනවා. ඔව්... ඇත්තටම හැමෝම කියනවා වගේ අමුතු නිස්කලංක බවක් අපේ මිදුලේ තියෙන්නේ ඒ නිසා. මට එහෙම හිතෙනවා.

මේ වගේ හඳ තියන දවස්වලට ඒ නිස්කලංක බව පාළුව තනිකම එක අතකට ලොකු වාසනාවක්. එහෙමත් හිතෙනවා. මෙතැනදී මට දැනෙන හැඟෙන පේන දේවල් අකුරු කරන්න ඉස්පාසුවක් මදි. මේ රාත්‍රිය මඟහැර ගන්න බැරි රාත්‍රියක්. පැහැදිලි අහසක් යට මේ පෝය සඳ මම තවත් විඳින්න ඕන. ඇත්තටම අද කතාවේ ඔයාලට ලොකු ගැඹුරකට යන්න බැරි වුණාදෝ කියලත් හිතෙනවා. අනේ මන්දා. ඒත් මම නම් ඉන්නේ බොහෝම ගැඹුරක දැන්. ඒ නිසා දැනට නවතිනවා.
හඳ ගැන ජීවිතේ එක් එක් කාලවල හිතුණු දේවල්.. පුර හඳක් පාමුල ඉඳගෙන සිහිකරන්න කියලා පුංචි ආරාධනයක් ඔයාලටත් කරනවා.

"සඳ...
නෙතට දුරයි
හිතට ළඟයි..."

I නිසල්