සල්ලි හොයන්න ගෙදර බඩු විකුණනවා
මම සිවුදරු මවක වෙමි. පුතාලා දෙදෙනෙක් සහ දියණියෝ දෙදෙනෙක් සිටිති. මගේ ප්‍රශ්නය වන්නේ අප වෙසෙන ප්‍රදේශයේ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච පිරිස් සිටිනවා. මාගේ ලොකු දරුවාත් මෙයට ඇබ්බැහි වෙලා කියලා දැනගන්න ලැබුණා. මට මේක වාවගන්න බැරි දුකක්. මේ ගැන උපදෙසක් දෙන්න තබා අපි කියන දේ බේතකට අහන්නේ නෑ. දරුවන්ගේ තාත්තා සැරවැර කළත් මෙය නැවතිලා නෑ. මම මේ දරුවො තුන්දෙනා එක්ක බයෙන් ගෙදර ඉන්නෙත්. ගෙදර මාසයකට සැරයක් බඩු නැතිවෙනවා. ගෙදර බඩු මුකුත් තියාගන්න බෑ. ගිය මාසයේ ගෙදර බඩු නැතිවෙලා තිබුණා. බඩු නැතිවෙද්දී මුලදී අපි හිතුවේ හොරු උස්සනවාද දන්නේ නෑ කියලා. අපෙන් ඇවිත් මත් පානයට මුදල් ඉල්ලලා කරදර කරනවා. අපි විරුද්ධ වුණාම අපිටත් බැනලා ගෙදර බඩු උස්සාගෙන යනවා. මට මගේ දරුවා ගැන දුකයි. අනෙක් දරුවන් ටික පරෙස්සම් කරන්නත් මම ලොකු මහන්සියක් ගන්නවා. දරුවෙක් ගෙදර තබා කඩයකටවත් මට යන්න විදිහක් නෑ. මා කුමක් කළ යුතුද?
මවක් - කොලොන්න
උපදෙස:
ඔබගේ පුතා යම් විෂ මත්ද්‍රව්‍යක් සඳහා යොමු වී ඇති බවක් ඔබගේ ගැටලුව පරීක්ෂා කිරීමේදී පෙනී යයි. එම නිසා හැකි ඉක්මනින් ඔහු ඉන් මුදාගැනීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය උපදේශනය, ප්‍රතිකාරය හා පුනරුත්තාපන සඳහා වන 1927 හදිසි දුරකතන සේවාව අමතා ඔබගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. එහිදී ඔබට ඔබ ජීවත් වන ප්‍රදේශයේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ බාහිර සේවා හෝ උපදේශන නිලධාරී මහතාගේ හෝ මහත්මියගේ සේවාව ලබාගත හැකි අතර ඒ හරහා ඔහු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීම හෝ වෙනත් ප්‍රතිකාර ක්‍රමවේදයක් ඔස්සේ ගැටලුවට අදාළ සාර්ථක විසඳුමක් ලබා ගැනීමට හැකි වනු ඇත. එසේම ඔබ ප්‍රදේශයේ පවතින මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබද තොරතුරු 1984 දුරකතන අංකය අමතා ලබාදෙන ලෙසද දන්වා සිටිමි.
මොනවා කළත් එයා හදන්ඩ බෑ
මේ ප්‍රශ්නය යොමු කරන්නේ ප්‍රදේශයේ තරුණයකුගේ කාලයක් තිස්සේ දකින්න ලැබෙන පුරුද්දකට විසඳුමක් අපේක්ෂාවෙනි. මේ තරුණයාට වයස අවුරුදු 25ක් විතර ඇති. ඔහු තදින්ම මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වෙලා සිටියි. හැමදාම හවස් යාමයට මෙම තරුණයා මත් පානයට ඇබ්බැහි වෙලා සමහර සොරකම්වලටත් යොමු වෙලා. දැන් ටික කාලයක ඉඳන් ළඟපාත ඉඩම්වලට හොරෙන් ඇතුළු වෙලා ඒ ගෙවල්වල රෙදි වැල්වල වනා තිබෙන කාන්තා යට ඇඳුම් සොරකම් කරන්න මේ තරුණයා පුරුදු වෙලා ඉන්නවා. අවට ගෙවල්වලටත් මේක විශාල කරදරයක්. හිරිහැරයක්. කිහිප සැරයක් මොහුට දඬුවම් කළත් මේ පුරුද්ද නවත්තගන්න බැරිවෙලා තියෙනවා. කිහිප අවස්ථාවකදී මේ තරුණයා යහමඟට ගන්න විවිධාකාරයෙන් උත්සාහ කළත් ඒ හැමපාරම අපි තරහකාරයන් වෙනවා. ඔහුගේ මවුපියන් මේ සම්බන්ධයෙන් සත්‍ය පවසද්දී දරුවා සුද්ද කරනවා. අප සමඟ අමනාප වෙනවා. මොහුගේ මත්ද්‍රව්‍ය පානය නැවතීමටත් මෙම වැරදි ක්‍රියාව නවතා මේ දරුවා යහමඟට ගන්න ගමේ අපිට සමාජ වගකීමක් තිබෙනවා. කළ යුතු පියවර සම්බන්ධයෙන් මට උපදෙසක් ලබාදෙන්න.
ප්‍රනාන්දු - ගල්ගමුව
උපදෙස:
මත්ද්‍රව්‍ය භාවිත කර එහි ඇබ්බැහිය දක්වා ගොස් ඇති බොහොමයක් පුද්ගලයන්හට විවිධ මානසික ව්‍යාකූල තත්ත්ව හට ගන්නවා. නමුත් ඔබ ඉදිරිපත් කොට ඇති ගැටලුවේ සඳහන් තරුණයා එම තත්ත්වයට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය දුර්භාවිතය නිසා ඇති වූ තත්ත්වයක් මතද එසේත් නැතහොත් වෙනත් හේතුවක් නිසාද යන්න නිවැරදිව හඳුනාගත යුතුවෙයි. ඔබ සඳහන් කළ ආකාරයේ හැසිරීමක් ඇතිවීම කෙරේ ඔහු කුඩා කල ගත කළ ජීවිතය, පවුල් පසුබිම, කුඩා කල යම් අපයෝජන ක්‍රියාවක ගොදුරක් වීම ආදී කාරණා ගණනාවක්ම බලපෑ හැකි හෙයිනි. ඇතැම්විට මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමු වී ඇත්තේද ඉහත කාරණා නිසා විය හැකියි. එම නිසා ඔහුගේ වැඩිහිටියන් සමඟ එක්ව මානසික සායනයක් වෙත යොමුකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම කළ යුතු වේ. ඉන් අනතුරුව මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඔහු මුදාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකිය. ඒ සඳහා 1927 දුරකතන අංකය අමතා අවශ්‍ය සහාය ලබාගන්න.
දුම්පානය මටම වදයක්
මම 24 හැවිරිදි තරුණයෙක් වෙමි. පෞද්ගලික රැකියාවක් කරයි. මිතුරන් සමඟ විනෝද චාරිකා යාම ප්‍රියතම විනෝදාංශය විය. මිතුරන්ගේ බලකිරීම මත මම දුම්පානයට ඇබ්බැහි වූයෙමි. මේ වනවිට මගේ තොල් පවා කළු පැහැ ගැන්වී තිබෙනවා. මගේ පෙම්වතිය මේ ගැන කියා මට දෝෂාරෝපණය කරනවා. දුම්පානය පුරුද්දක් වී ඇති අතර කෙතරම් උත්සාහ කළත් නතර කර ගැනීමට නොහැකි වී තිබේ. මේ වනවිට විනෝද ගමන් අඩු වී ඇති අතර එහෙත් දුම්පානය නවතා ගැනීමට නොහැකි වී තිබේ. ලැබෙන වැටුපෙන් දුම්පානයට විශාල මුදලක් වැයවෙයි. මෙය මට නවතා ගැනීමට අවශ්‍යයි. මෙයින් මිදීමට මා කුමක් කළ යුතුද?
තරුණයෙක් - ගම්පහ
උපදෙස:
දුම්පානය ශරීරයට ඉතා අහිතකර දෙයකි. අධික ඇබ්බැහිකාරී ගුණයකින් හා ශරීරයට ඉතා අහිතකර වූ විෂ රසායනියකයන් අධික ප්‍රමාණයක් සහ පිළිකා කාරකයන් දුම්වැටිය තුළ අන්තර්ගත වේ. එම නිසා ඉන් මිදීම සඳහා තීරණය කිරීම ඔබ විසින් ඔබගේ ජීවිතයේ යහපැවැත්ම සඳහා ගන්නා ලද ඉතා යහපත් තීරණයකි. දුම්පානය තුළ දැඩි මානසික ඇබ්බැහියක්ද පවතින නිසා ඉන් මිදීම සඳහා ඔබට උපදේශන නිලධාරියෙකුගේ සහාය අවශ්‍ය විය හැකිය. පළමුව ඔබ ගන්නා දුම්වැටි ප්‍රමාණය එකින් එක කාලයත් සමඟ අඩු කිරීමට උත්සාහ ගන්න. එය ප්‍රයෝගිකව කිරීමට අපහසු නම් උපදේශනය සඳහා යොමුවන්න. ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ උපදේශන නිලධාරීන්ගේ සහාය මේ සඳහා ලබාගත හැකියි.
(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මනඃකල්පිත බව සලකන්න)
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන් හමුවෙමු.
I සසංක චලන ගි්ම්හාන