2022 අගෝස්තු 28 වන ඉරිදා

ජීවිතයක් බේරාගත් සුපිරි මිනිසා

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 177

සකි, මේ දන්නා මිනිසුන්ගේ නොදන්නා කතා සොයා යන යාත්‍රාවයි. දෙස් විදෙස් හි ප්‍රකට චරිත පිළිබඳ ලොවට සැඟවුණු අපූරු තතු මේ චාරිකාවේදී අපි සොයා යමු. මානවවාදී සිතැත්තවුන්ගේ ජීවිතවලට අපි එබී බලමු. මේ දේශය හදසර තවත් අපූරු චාරිකාවක ඇරඹුමයි.

ගෙවී යමින් තිබුණේ 2019 වසරේ අගෝස්තු මාසයේ එක්තරා බදාදාවකි. කැලිෆෝනියාවේ සිල්මාර් හි සිට ඉදිරියට ඇදෙන මෝටර් රථයකි. එහි මවක්, ආත්තම්මා කෙනෙක් සහ කුඩා දරුවෙක් ගමන් කරමින් සිටියෝය. ගතවූයේ නිමේෂයකි. පසුපසින් පැමිණි තවත් රියක් මෙම මෝටර් රථයේ ගැටුණි. කිසිවකු නොසිතූ විලසින් කුඩා දරුවා සහිත මෝටර් රථය මහ මඟ පෙරළී යන්නට විය. අවසානයේ එම රථය උඩුකුරුව පෙරළී නතර වූයේය.

හනි හනික මෝටර් රිය වෙත දිව ආවේ හොලිවුඩයේ සුපිරි දුෂ්ඨ නළුවෙකි. ඔහු නමින් හැත්තෑ පස් වියැති ඩැනී ට්‍රෝජෝය. සැබැවින්ම එය ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපටයක් සඳහා වූ ප්‍රයෝගයක් නොවුණි. තම දරුවා බේරා දෙන ලෙස මව අයදිමින් සිටියාය. 

සිදුවූයේ කුමක්ද? කිසිවකුටවත් සිතාගත නොහැකි විය. ක්ෂණිකව ඉදිරිපත් වූ ඩැනී ට්‍රෝජෝ පළමුව පෙරළුණු මෝටර් රථයේ කවුළුවෙන් බඩගා යෑමට තැත් කළේය. එය පහසු වූයේ නැත. දරුවා සිටියේ විශේෂ අස්නක ආසන පටිවලට සිරවීය.
ආසන පටි ගැලවීමට අපහසු වූයෙන් අසල සිටි කතක් ද ඩැනී ට්‍රෝජෝගේ සහයට පැමිණියාය. එක් අයෙකු ආසන පටි මුදාහරින විට අනෙකා දරුවා අල්ලා ගැනීම ඔවුන්ගේ සැලසුම විය. නමුත් ඊළඟ ඇසිල්ලේ ට්‍රෝජෝට තවත් යමක් වැටහුණි. මේ දරුවා විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකි. මින් පෙර එවන් දරුවන් සමඟ වැඩ කර ඇති නිසාම ට්‍රෝජෝට එය අවබෝධ කර ගැනීමට අපහසු වූයේය.

දරුවා සිටියේ සිදු වූ දෙය කුමක්දැයි සිතා නොහැකිව කලබලයෙනි. ප්‍රශ්නය සංකීර්ණ වී ඇත. හොලිවුඩයේ සුපිරි දුෂ්ඨයාට පහළ වූයේ ක්ෂණික අදහසකි. ඔහු දරුවාගේ අවධානය වෙනතකට යොමු කිරීමට මෙසේ කීය.

“අපි අපේ සුපිරි බලය පාවිච්චි කරන්න ඕනේ."
චිත්‍රපට දෙබසක මෙන් ඔහු එසේ පවසන විට,
‘සුපිරි බලවතුන්’ 
එසේ කියමින් දරුවා ද කෑගැසීය.
අනතුරුව දෙදෙනාම ‘සුපිරි බලවතුන්’ කියා කෑගසන්නට වූහ.
“අපි මේක කරන්නේ මාංශ පේශිවලින්."  

නැවත දැවැන්ත දේහධාරී ඩැනී ට්‍රෝජෝ දරුවාට කීවේය.

එවිට දරුවාද ‘මාංශ පේශී’ යනුවෙන් උද්දාමයෙන් පැවසීය.

ඊළඟ ඇසිල්ලේදී ආසන පටි මුදාහැර ඩැනී ට්‍රෝජෝ සහ කාන්තාව විශේෂ අවශ්‍යතා ඇති මෙම කුඩා දරුවා මුදා ගැනීමට සමත් වූහ. අවසානයේ එම දරුවාගේ ජීවිතය බේරුණි.

මෙම අනතුරෙන් පසුව ඩැනී ට්‍රෝජෝ නම් හොලිවුඩ් සුපිරි දුෂ්ඨයා හොලිවුඩයේ සැබෑ වීරයෙක් බවට පත් වූයේය.

ඩැනී ට්‍රෝජෝ මෙම සිදුවීම සම්බන්ධව පසුව කීවේ අපූරු අදහසකි. 

“මට සිදු වූ සෑම යහපතක්ම සිදුවී ඇත්තේ වෙනත් අයෙකුට උපකාර කිරීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙසයි. ඔව්.. සියල්ල."

ඔහු එසේ කීවේ සැමදා සුපුරුදු ස්වරයෙනි.

ඩැනී යනු අප බොහෝ දෙනකු නමින් නොව රුවින් හඳුනන චරිතයකි. හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වුවද ඔහුගේ ඉතිහාස කතාව  ඉතා දුක්බරය. සැබැවින්ම ඔහු වීරයකු වන්නේ ඉහත සිදුවීම පමණක්ම හේතුකොටගෙන නොවේ.
අද ඔහු සිනමා ලෝකයේ විශාල නමක් දරන්නෙකු වුවද, ට්‍රෝජෝගේ ගමන ආරම්භ වූයේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකටය. ජීවත් වූ ප්‍රදේශය නිසාවෙන්ම ට්‍රෝජෝ අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ පරිසරයක හැදී වැඩුණු අයෙකි. ඔහු මත්ද්‍රව්‍ය භාවිත කිරීමට පටන්ගෙන ඇත්තේ ඔහුට යන්තම් වයස අවුරුදු අටේදී පමණ බව කියැවේ. පළමුව ඔහුගේම මාමා ඔහුට කංසා හඳුන්වා දී ඇති බව කියැවේ.

තවත් පසෙකින් ඩැනී ට්‍රෝජෝ යනු තම පියා අතින්ම අපයෝජනයට ලක්වූ දරුවෙකි. ඔහු වරෙක පවසා ඇති පරිදි සිය මාමා තමන්ට වෙළෙන්ඳකු වන්නේ කෙසේද යන්න පිළිබඳවත්, මිනිසුන් බිය ගන්වන්නේ කෙසේද යන්න පිළිබඳවත් උගන්වා තිබුණි. එහෙත් මාමගේ ඇසුර නිසාම ඔහු කංසා, හෙරොයින් ආදී මත්ද්‍රව්‍යවලට ඇබැහී විය.

එම නිසාම බාල වයසේදීම මත්ද්‍රව්‍ය වෙළෙඳාම නිසා සිරගත වූ ඩැනී ට්‍රෝජෝගේ කතාව සැබැවින්ම සිනමාපටයක් හා සමානය. ඔහු සිරගතව සිටි කාලයේ කළ කී දෑ පිළිබඳ බොහෝ තොරතුරු තිබේ. එහෙත් පුනරුත්ථාපන වැඩසටහන් හරහා අවසානයේදී ඔහු වෙනස්ම මිනිසෙක් බවට පත් විය.

සිරගෙදරදී ඔහු උසස් පාසල් ඩිප්ලෝමාව ලබාගෙන තිබේ. නිදහස් වූ පසු ට්‍රෝජෝ ඉදිකිරීම්, ගෙවතු වගාව සහ විකුණුම්වල විවිධ රුකියා බාරගත් අතර ඔහු කළ වැරදි අනෙක් ළමයින් කිරීමෙන් වැළැක්වීම සඳහා මත්ද්‍රව්‍ය අනිසි භාවිතය පිළිබඳ උපදේශකයෙක් ලෙස ද සේවය කළේය.

තවදුරටත් මේ අපූරු මිනිසා එවන් කටයුතු රුසක් වෙනුවෙන් පෙනී සිටියි. සුපිරි කතාව විසල්ය. ගුණදොස් බොහෝය. සියලු තතු මෙහි ලියා තැබීම පහසු නොවේ. එහෙත් අපි අවසානයේ මෙසේ ලියා තබමු. රුවින් නොව ක්‍රියාවෙන් මිනිස්සු මැන බැලිය යුතු බව කීමට අද වන විට 78 වැනි වියේ පසුවන මෙම අපූරු හොලිවුඩ් රංගධරයා අපට නිදසුනකි.

I නිසල්