හන්තාන අරණට ළා රන්වන් සඳ එළිය වැටුණු එක්තරා රාත්‍රියක නොපියවුණු නෙත් අග්ගිස්සෙන් ආදරයේ සොඳුරු සිහිනයක් දිගේ ඇවිදින සරසවි මානවිකාවකගේ හද ගැඹුරෙහි සිත්තම් වූ ආදරයක කතාන්දරය තමයි
බලා වැලපෙමි නෙලාගනු බැරි
හන්තාන සිහිනේ..
ගීතයට ප්‍රස්තුත වෙන්නෙ.
සාර සිප් සොයාගෙන පියමනින සරසවිය කියන ක්ෂේම භූමියේදී අකුරු උගනින අතරෙම ප්‍රේමයේ සාක්ෂරතාවය පිණිසත් ආදරයේ හෝඩිය නොකියවන උන් විරලයි... මෝරන තල මල සේම සාර සුබාවට අස්වද්දන්න හීන දකින ජීවිතයේ පෙරවදන ආදරයේ සිහින, සුවඳ, රසය එක්ක සම්මිශ්‍රණය වෙමින් දැනෙන මොහොතක අනේ ඇත්තටම ජීවිතය මොනතරම් නම් සුන්දරද කියලා හිතෙන්න ඇති ඇයට... එහෙත් ඈ සිත නැවතුණේ විරහ වේදනාවකින් ඇවිලෙන ‘ගුරු ගීතයක්’ අස. ගීතය තුළින් හමුවෙන ඒ ඇඳුරාණන් ගුරු ගීතයක් ලෙසින් හඳුන්වන්නට මට සිත් වුණේ තමා සමීපයේ අකුරු ඇහිඳින තම සිසුවියට ආදරය නොකළත්, ආදරය නොකීවත්, ආදරය ඉල්ලන ඒ සිත නොතලමින්, ඒ සිත ඉසියුම් ලෙස ඉවසිලිවන්තව කියවමින් දක්වන අනුකම්පාව මිශ්‍රිත ස්නේහය තුළ ඔහු ගුරු ගීතයක් ලෙසින්ම මට දැනෙන නිසා....
පේරාදෙණිය සරසවි බිමේ රොබරෝසියා මල් යාය දිගේ ඇවිදිමින් හන්තාන අරණ සිප හමන සිහිල් සුළං රුල්ලක සුව විඳින්නට පෙම්වත් සිතක් සොයන ඈ සිත නැවතුණේ බලා හිඳ වැලපෙනු මිස නෙළා දෝතට විඳිනු බැරි හදවතක් අස.... එහෙත් ඔහුගේ දෑසින් ලොව දකින්නට, ඔහුගේ සිනාවත ජීවිතයේ ගිම් නිවන නවාතැන්පොළ කර ගන්නට, සොඳුරු වාග් විලාසයෙන් ශිල්ප සදන ඔහු මුවින් ආදරේ යැයි අසන්නට කොතෙක් සිහින දුටුවත් කෝ ඒ සිහිනවලට ළංවෙන්න මාවතක්.... ඇගේ ඒ වැලපෙන සිත නොරිදෙන ලෙසින් පිරිමදිමින් ඒ ආදරණීය සරසවි ඇඳුරාණන් ඇයට ශිල්පය සේම ජීවිතය ද කියාදෙන අරුමය...
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ...
කඳුළක් කියන්නෙ භාව ප්‍රකාශනයක්... නෙත් අග්ගිස්සෙන් වැටෙන හැම කඳුළකටම නිමිත්තක් තියෙනවා... මේ කඳුළ වැටෙන්නෙ සරසවි මානවිකාවකගේ හදේ ඉපදුණු, ඇයට ලෝකය ඉදිරියේ මගේ කියාගන්න බැරි ආදරයක් වෙනුවෙන්...
සිසුවියගේ ඒ රිදුණු සිත කවිකාර සිතක් ඇතැයි ගී පද රචකයා හඟවන ගුරුතුමාට නොදැනෙනවාවත් නොහැඟෙනවාවත් නෙවෙයි...
ළඳුනේ... ඇස් අග දිලිසෙන කඳුළු දරාගන්න. මා නමින් ඉපදුන ප්‍රේමණීය සිතුවිලි අංශුමාත්‍රයක්වත් ශේෂ කර නොගෙන ඔබේ සිත නැමැති කුසුම දෝවනය කර ගන්න... භවයෙන් භවය ප්‍රාර්ථනා කළ හැකි ඔබට යස ඉසුරු සදන සාර සංසාර සිහිනයක් දකින්න... එහෙම සංසාර සිහිනයක්, එහෙම සංසාර ප්‍රේමයක් ජීවිතය වෙනුවෙන් ගෙත්තම් කරන්න....
එහෙත් ඇය නිහඬ නොවෙයි.
ප්‍රේමයෙන් ආතුර වූ ගැහැනු සිත් එහෙමය.
වැහි පබළු යට රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුලු වෙන්නට
ඈ සිහින අහුලයි. වැහි පබළු යන යෙදුම කාව්‍යාත්මක රසයක් උත්පාදනය කරයි. ඈ පැතුම බර වැහි කැට වෑස්සෙන මහා වැස්සක් නොවේ. ආදරණීය හැඟීම් හංකිතිකවන සිළිලාර වැස්සකි. මෙතැන රඟමඬල යන යෙදුමෙන් ප්‍රේමය තවත් ලෝකය හමුවේ නොසඟවන්නට ඈ තුළ ඇති වුවමනාව ඉස්මතු කරයි. ඇයට අවැසි සිතට දැනෙන ප්‍රේමය විඳින්නටය. ආදරණීය මානවිකාවකගේ තුරුණු සිහින මේ ගී පද ඔස්සේ ධ්වනිත වෙයි. ඔහු පපුතුර හිස හොවා ජීවිතයේ ගිම් නිවන්නට, ඔහුගේ පිරිමි පපුවේ උණුහුමට ඇස් වසා ගුලි වෙන්නට, ජීවිතය කියා දෙන ඒ ඇස් දිහා බලාගෙන ලෝකයක් දකින්නට ඈ තුළ වන අනේක ප්‍රාර්ථනා සමුදායම “ඔබේ දෑතේ තුරුලු වෙන්නට" යන පද පේළියේ කැටිව තිබේ.
එහෙත් ඒ සිහිනයට ඒ ප්‍රේමයට ඔහු හද අවසඟව යයි.
බිසෝ හැර ගිය
ලසෝ රඟහල අමාවක අඳුරේ
නොඑනු මැන ළඳුනේ...
ඔහු ප්‍රේමයේ විප්‍රයෝගය අත්විඳින යුගයකය; ඈ ඔහුට ප්‍රේමය වෙනුවෙන් අඬගසන්නේ... හැර ගියත් හැර නොයන ආදරය... ඔව් ආදරය වරෙක එහෙමමය... වරෙක ආදරය භෞතිකව දුරස් වුවත් හදවතේ සුසියුම් නහරවැල් පවා තදින් අල්ලාගෙන හිඳියි... ආදරය එහෙමමය... හැර ගියත් ඔහු හැර ගිය ඇයට තවමත් ආදරය කරයි... බිසෝ යන ආදරණීය ආමන්ත්‍රණය ඒ ආදරයේ සාක්ෂියකි. නියත දහමට අවසඟව යා නොහැකි ජීවිතයේ මරණය විසින් ඇය ඔහුට අහිමි කළාද? නොඑසේනම් දේශන,
පර්යේෂණ, පතපොත අතරේ සරසවි සබුද්ධියේ සාක්ෂරතාවයන් විසින් ජීවිතයේ වින්දනීය ඉසව් ඔහුට මඟහැරවූයෙන් ඇය ඔහු හැර ගියාද? අවිනිශ්චිතය. එකම නිශ්චිතය හැර ගියත් ඔහු ඇයට තවමත් පෙම් කරන බව පමණි. ඇය හැර ගිය ලසෝ ගින්දර තවමත් හද මඬල දවාලන සඳ ඔහු අවසන කරන්නේ ආයාචනයකි.
බලාපොරොත්තුවක එකම එක තරුවක්වත් නැති අමාවක රාත්‍රියක් මගේ ජීවිතය... එහි ඇත්තේ අතීත මතක සහ වේදනාවන් විතරයි... නෑඹුල් සිහින දකින්නට පෙරුම් පුරන ඔබ ඒ අඳුරු ජීවිතයේ එළිපත්තටවත් නොපැමිණෙනු මැනවි...
එහෙත් ඇය නොනැවතෙයි...
ඇගේ හදවත නැමැති කැන්වසය මත ඇඳි ආදරයේ රේඛා එතරම්ම ගැඹුරුය. සුමටය. වර්ණවත්ය.
වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇඳුරු පෙම් ගී අහන්නම්
පැමිණෙන තුරු නොවෙයි, දිනෙක ඔබ මගේ ලෝකය වෙත වඩින තුරු මම බලා හිඳින්නම්... වඩින තුරු යන්නෙන් ඔහු වෙනුවෙන් ඈ සිත පිළිසිඳ ඇති අප්‍රමාණ ගෞරවය ඉඟි කරයි. කාලය ඉගිල ගියාදෙන්... ඔබට සපැමිණෙන්නට සිතුවිලි පිරිසිඳ ඒ දවස එන තෙක් මම බලා හිඳින්නම්... ඒ ප්‍රේමය අහම්බකාරකයක් හෝ හදිස්සිකාරකයක් නොවේ. ඉවසිලිවන්ත දරාගැනීමකි. ඇයට ඔහු සඳකි. සඳ යනු සොබාදහමේ සෞන්දර්යාත්මකම නිමැවුමයි. ඔහු සඳක් නම් ඔහුගේ ප්‍රේමය සඳ එළියක් සදිසි විය යුතුය. සඳ එළිය යනු සොබාදහම නිමැවූ නොකිළිටි නිර්මල දායාදයයි.
මගේ සඳ ඔබ දිනෙක වඩින තුරු මම ඔබ දැකීමෙන් ඔබේ හඬ ඇසීමෙන් සැනහෙමින් හිඳින්නම්... ඇය අවසානයේත් ඉල්ලන්නේ ඇය අත්හරින්නට රිසි නොවන ප්‍රේමය වෙනුවෙන් බලාපොරොත්තුවක් පමණකි.
ශිල්පයේ රස සාර සොයා සරසවියට ආ තුරුණු මානවිකාව ජීවිතය දැන හඳුනාගත් මේ ඇඳුරාණන්ට අතරමං කර දමනු නොහැකිය. අවැසි ප්‍රේමය නොලදහොත් ඇය ශිල්ප භාවනාව වඩනු පිණිස සපැමිණි හන්තාන ආරණ්‍යයේ ද්වාරය හැරගෙන ඉන් එහා ලෝකයකට යා හැකිය. සබුද්ධිමත් ගුරු සිත ඈ සිත නොරිදවමින් ඈ ඒ බිමේ රඳවාගන්නේ ප්‍රේමය වෙනුවෙන් නොව ඇගේ ජීවන දෙවොල මත ශිල්පයේ පහන් අවුලුවාලන රිසියෙන් යැයි මේ ගී පද ගැඹුරින් පිරිසිඳ කියවද්දි මට හැඟෙයි.
බලාපොරොත්තුව හෙට දවස වෙත අප කැටුව යයි. එහෙයින් සිහින සහ බලාපොරොත්තු ජීවිතයත් ජීවනයත් උදෙසා අවැසිමය.
මම ඉන්නම් ඉතින් ඔබ සඳක් සේ වඩින තුරු දිනෙක
ඒ සරින් ඈ හදවත තවත් තව තවත් ප්‍රේමයම ඉල්ලද්දී ඔහු උත්තරයක් දෙයි.
සොඳුරු ඒ සඳ දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ
ඔබ කියන දවස සපැමිණියහොත් මම එදාට ඔබ කියන සඳ දියේ එන්නම්... ජීවිතය හා ජීවනය වෙනුවෙන් අංශුමාත්‍ර බලාපොරොත්තුවක් දල්වමින් මේ හන්තාන අරණේ හිඳින්න යැයි කියන්නේ ලද ශිල්පයේ රන් ඔටුනු නොපැළඳ නොයන් සොඳුරේ කියන ළතෙත් අරුතින් නොවේද?
ප්‍රේමය යනු ප්‍රේමයමය. ඔව් ලෞකිකත්වය තුළ නිර්වාණය වූ කලී ප්‍රේමයම මිස අන් කවරක්ද?
(ජානක සිරිවර්ධනගේ සුභාවිත ගී පද රචනයෙන් සහ අරුණ ගුණවර්ධනගේ සංගීතයෙන් හැඩවත්ව පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේවයන්ගේ ගැඹුරු හඬින් සහ උමාරියා සිංහවශගේ තුරුණු මියුරු හඬින් ගැයුණු... හන්තාන සිහිනේ ගීතය මා දකින්නේ මේ අයුරිනි.)