2017 මැයි 20 වන සෙනසුරාදා

එයාට වැරදුණා මම ගොඩ ගියා.....

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 238

ගිරිරාජ් ගැන වෙනම හඳුන්වාදීමක් අවශ්‍ය නැති තරමට ඔහු ප්‍රේක්ෂකයන්ට සමීපයි. අද අපේ My Path විශේෂාංගයට එක්වුණේ ගිරිරාජ්. බලමුකො ගිරිරාජ් එයාගේ ජීවිතේ ගමන් මඟ ගැන කීවේ මොනවද කියලා.

කලාව කියන දේ ගැන මුල්ම මතකය අපි අවදි කළොත්?
මට මතකයි මට අවුරැදු 4 ක් 5ක් විතර කාලෙදි අපේ ගෙවල් ගාව හිටිය ලෙනි කුරුප්පු කියන වේශ නිරූපණ ශිල්පියා. ඉතින් එයා ගොඩක් වැඩ කළේ රොබින් තම්පෝ කියන සිනමා අධ්‍යක්ෂවරයා ගාව. ඉතින් දවසක් අපේ තාත්තාටයි අම්මටයි කියල තිබ්බා අලුත් චිත්‍රපටයකට පොඩි පිරිමි ළමයෙක් හොයනවා කියලා. ඊට පස්සේ අම්මායි තාත්තයි මාව එක්ක ගෙන ගියා රොබින් තම්පෝ මහතා ගාවට. මට අද වගේ මතකයි මාව ළඟට අරන් පොඩි දෙබස් කණ්ඩයක් කියන්න කිව්වා. මම නෙවෙයි කට හෙල්ලුවේ. ඒක බලන් හිටිය අම්මයි තාත්තයි මගේ ළඟට ඇවිත් කියන්න කිව්වා. ඒත් මම කිව්වේ නැහැ. ඊට පස්සේ රොබින් මහතා කිව්වා මේ ළමයා මේ වැඩේට හරි යන්නේ නෑ කියලා. එදායින් පස්සේ ගෙදර අයත් ඒ ගැන උනන්දු වුණේ නැහැ.

පාසැල් කාලේ කලාවට සම්බන්ධ නැද්ද?

මම ඉගෙනගත්තේ කැලණිය ගුරුකුල විද්‍යාලයේ. මට පොඩි කාලේ ඉඳන්ම තාල භාණ්ඩ වාදනය කරන්න හැකියාවක් තිබ්බා. ඒකත් මම කොහෙන්වත් ඉගෙන ගත්ත එකක් නෙවෙයි ඇහුම්කම් දීලා ඒ දිහා බලන් ඉඳලා මටත් පුළුවන් වුණා තබ්ලා ඩොල්කිය වගේ දේ වාදනය කරන්න. මම ඉගෙන ගන්න කාලේ එඩ්වඩ් ජයකොඩි සර්, මර්වින් පෙරේරා සර් සහ ප්‍රියා සූරියසේන සර් එහෙම හිටියා. ඉස්කෝලේ තිබ්බ හැම කලා කටයුතුවලදීම තබ්ලා ගැහුවේ මම.

පාසැල් කාලෙන් පස්සේ ද කලාවට යොමු වෙන්නේ?
නැහැ. මම පාසල් කාලෙන් පස්සේ රුකියාවට ගියා ගිරාඳුරුකෝට්ටේට.

මොකක්ද ඒ රැකියාව?
මහවැලි අධිකාරියේ මහවැලි ආර්ථික ඒජන්සියේ.

හරි අපි කියමුකෝ කොහොමද කලාවට යොමු වුණේ කියලා?
මම ගිරාඳුරුකෝට්ටේ  ඉන්න කොට සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා දැන හඳුනාගන්න ලැබුණා. ඊට පස්සේ මම කොළඹ ආවට පස්සේ එතුමාව තවත් ළඟින් ඇසුරු කරන්න ලැබුණා. ඒ වගේම කොළඹ ආවට පස්සේ නිතර වේදිකානාට්‍ය බලන්න එහෙම ගියා. මම නාට්‍යවලට සම්බන්ධ වෙන්න කලින් රොඩ්නි, ජූඩ්, ප්‍රියන්ත වගේ අය මගේ මිතුරන් වෙලා හිටියේ.

එතකොට මොකක් ද මුලින්ම සම්බන්ධ වුණු කලා කටයුත්ත?
ඒක  මට හදිස්සියෙන් ලැබුණු අවස්ථාවක්. ප්‍රසන්නජිත් අබේසුරියගේ දුක්ගන්නාරාල කියන වේදිකා නාට්‍යය වේදිකාගත වෙන කාලේ එකේ හිටිය නළුවෙක් ඇවිත් නැතිව තමා මට කරන්න ලැබුණේ.

කොහේදීද වේදිකාගත වුණේ?
ඇත්තම කියනවා නම් වේදිකාවක කියන්නත් බෑ. ඒක තිබ්බේ පිට්ටනියක් මැද. හරියටම කිව්වොත් කොළොන්නාවේ උමගිලිය ක්‍රීඩාංගනයේ.

ඊට පස්සේ?
ඊට පස්සේ ඒ නාට්‍යයේ දිගටම අවස්ථාව මට ලැබුණා. පසුව මම සෝමලතා සුබසිංහ මහත්මිය යටතේ එතුමියගේ නාට්‍ය කණ්ඩායමේ වැඩකළා. එතැනදී ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඇය තමා මගේ මුල්ම නාට්‍ය ගුරුවරිය.

වේදිකාවෙන් පස්සේ ඔබ ආවේ පුංචි තිරයටද සිනමාවටද?
පුංචි තිරයට. ඒ අවස්ථාව මට ලැබෙන්නෙත් සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා නිසා. ඒ සුදත් දේවප්‍රිය මහතා කළ නාමල්ගොල්ල කියන නාට්‍යය නිෂ්පාදනය කළේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා.

මොකක්ද එහි චරිතය?
චරිතයක් කියන්න දෙයක් තිබ්බේ නැහැ. මට තිබ්බේ ගමේ පිරිස අතර ඉන්න. හැබැයි මට එහායින් හිටිය කෙනාට ටිකක් දිග දෙබසක් තිබ්බා කියන්න. එයා දහ සැරයක් විතර ඒක කියන්න උත්සහ කළා. හරි ගියේ නැහැ. එතන හිටියා චන්ද්‍රා කළුආරච්චි අක්කා. එයා කිව්වා සුදත් ඕක අර ලේන්සුව කරේ දාගෙන ඉන්න කෙනාට කියන්න කියන්නකෝ කියලා. මට ඉතින් දහසැරයක් ඇහිලා තිබ්බ නිසා මට කටපාඩම් වෙලා තිබ්බේ. ඒ නිසා මම එක සැරේම කියලා දැම්මා. ඊට පස්සේ ඒක මට දුන්නා.

කොහොමද කැමරාවට මුහුණ දුන් අත්දැකීම?
කැමරා අත්දැකීම මම හරියට ලැබුවේ මගේ දෙවැනි නාට්‍ය තුළින්. ඒ කෝකිල ගින්න නාට්‍ය තුළින්. ඒක අධ්‍යෂණය සහ නිෂ්පාදනය කළේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා. ඒක කැමරා කළේ කේ.ඩී. දයානන්ද මහතා. එතැනදී තමා මම හරියට කැමරාවට මුහුණ දුන්නේ සහ ඒ දේ හරියට අවබෝධ වුණේ. ඊට පස්සේ මට නාට්‍ය කිහිපයක්ම ලැබුණා.

පුංචි තිරයෙන් සිනමාවට එන්න කොච්චර කාලයක් ගියාද?
මට මොකක්දෝ වාසනාවක් තිබ්බා මට එහෙම ලොකු කාලයක් බලාගෙන ඉන්න ඕනේ වුණේ නැහැ. හරි ඉක්මනට මට අවස්ථාව ලැබුණා. මම ඒවායින් උපරිම ප්‍රයෝජන ලබා ගත්තා. 

මොකක් ද ඔබේ මුල්ම චිත්‍රපටය?
මට ලැබුණේ අශෝක හඳගම මහතාගේ සඳ දඩයම කියන චිත්‍රපටය. එකේ මට රඟපාන්න තිබ්බේ මහේන්ද්‍ර පෙරේරා, ඩබ්ලිව් ජයසිරි, කෞශල්‍යා ප්‍රනාන්දු, හැබැයි දුකට කරුණ නම් අද වනතුරුත් ඒ චිත්‍රපටය තිරගත වෙලා නැහැ.

ඔබ  පිටපත් පවා ලියනවානේ මොකක්ද මුල්ම පිටපත?
නෝනාවරුනි මහත්වරුනි නාට්‍යයේ සහය අධ්‍යක්ෂවරයා විදියට වැඩ කළේ මම. ඒක ඉන්දියන් අධ්‍යක්ෂවරු කරන කාලේ ඉඳන්ම. ඊට පස්සේ ඒක කළේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන අධ්‍යක්ෂවරයා. ඔහු යටතේත් මමයි හිටියේ සහය අධ්‍යක්ෂවරයා විදියට. පිටපත ලිව්වේ ටෝනි රණසිංහ මහතා. ඔය අතරේ ඡන්දයක් තියෙනවා ඉතින් නාට්‍ය තුළ පොඩ්ඩක් දේශපාලන ස්වරෑපයක් ගන්න ඕනේ කියල සිරසෙන් කියලා තිබ්බා. ඔය අතරේ ඕක ලියන්න කෙනෙක් හෙව්වා අන්තිමට මට කිව්වා ලියන්න කියලා. ඒ විදියට තමා කතුර කියන කොටස එක් කළේ ඊට පස්සේ නිමල් ලක්ෂපතිආරච්චි සහ නිලේන්ද්‍ර දේශප්‍රිය කියන දෙදෙනාට ඕනේ වුණා මේක වෙනම කරන්න. ඒ විදියට තමා කතුර කියන වැඩසටහන පටන් ගත්තේ.

ඔබ දැන් සිනමා අධ්‍යක්ෂවරයෙක්?
හ්ම්ම්... සිනමා අධ්‍යක්ෂවරයෙක් කියන්නේ ඉතින් මම චිත්‍රපට දෙකක් මේ වෙනකොට කරලා තියෙනවා. මගේ මුල්ම චිත්‍රපටය සිකුරු හතේ. ඊට පස්සේ තමා මම සුහද කොකා චිත්‍රපටය කළේ. එතැනදී මම වාසනාවන්ත වුණා සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාව පවා අධ්‍යක්ෂණය කරන්න ඒක මගේ ජීවිතේ ලබපු ලොකු භාගයක්. 

අද මොකද හිතෙන්නේ කලාකරුවෙක් වීම ගැන?
ඇත්තටම තෘප්තිමත්. මම උපදිනවා නම් ලබන ආත්මෙකත් මම කැමති කලාවට සම්බන්ධ කෙනෙක් වෙන්න. ඒක තමා මගේ එකම ප්‍රාර්ථනාව. මොකද කලාකරුවන් ක්‍රීඩකයින් එහෙම සමාජයේ ඕනෙම තැනකදී හඳුනනවා. කතා කරනවා. වෙනත් වෘත්තීන් ගත්තොත් එහෙම නැහැ. ඒ අයව මේ අහවලා කියල හඳුන්වා දෙන්න ඕනේ. නමුත් අපිව එහෙම නැහැ මඟ තොටදී පවා මිනිස්සු හඳුනාගන්නවා. ඒ වගේම මිනිස්සුන්ගේ ආදරය ලබන්න හොඳින්ම පුළුවන් කලාකරුවෙක්ට විතරයි.

Text – Anusha Ranasinghe / PiC - Sumudu

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00