2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

ඔබේ ආදරේ වරුසා වැහැලා සිහිල් සුළං රැල්ලේ...

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 167

මම දෑස වසා ගමි. ඉඳින් මගේ නෙත්  ඉහත්තාවට නුඹ සපැමිණේ. හදවතේ ඇනුණු උල්කටු ගලවා විසිකර දමා ලේ පිරුණු ඒ සිදුරු තුළ නුඹ ගැන අංශුමාත්‍ර වූද විසල් මාත්‍ර වූද  ස්නේහයේ  මතක සමුදායක  සුවඳ ගල්වමි. ඒ සුවඳින්  ප්‍රමුදිතව එදා  කටු ඇනුණු ඒ තැන්වල මල් පිපෙයි. ඉතින්  නුඹ හැර කිසිවක්ම නැත. හන්කිති කවන සිහිල් සුළං රැල්ලක පවා නුඹේ සුවඳම දැවටී විත් මා හද අසපුව සුවඳවත් කරයි. ඇස ගැටෙන මානයක නුඹ  නැති වුවත් මා ආත්මයට ආත්මීය වූ නුඹේ සංසාර සුවඳ හමාඑන සිහිල් සුළං රැල්ලක පවා දැවටී වෙළීගෙන මා ළඟටම එන අරුමය.......

සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසු වේ.........

හුස්ම ගන්නා වග දැනෙන්නම හුස්මක් ඉහළට ඇද ඉඳින්  මම ඒ සුවඳ විඳ ගමි. ප්‍රේමයේ හැටි එයාකාරය. නුඹම හැර මේ විසල් විශ්වය තුළ වෙන කිසිවක්ම නැත.

ගන්න හුස්මක පවා නුඹේ සුවඳම දැවටෙද්දී.......
හමා එන සිහිල් සුළං රැල්ලක පවා
නුඹේ සුවඳම මුසු වී දැනෙද්දී .......

ආදරයේ  මද සිනිඳු පහස ලැබ
හදවත දලු සෙලවේ........

සාර සුබාවට හදවත් යාය මත ළදළු ලන ප්‍රේමණීය  සිතුවිලි  අනන්තය. ඔබෙන් ලද සමනළ තටුවක් සේම සුසිනිඳු ආදරයේ පහසින් ඒ ප්‍රේමණීය සිතුවිලි සසැලෙයි.
ස්වර්ග රාජ්‍යයේ ද්වාරය ප්‍රේමයේ යතුරෙන් විවර කළ කල්හි  එය  මගේ ජීවනයේ අධිරාජ්‍යයයි.

ප්‍රේමයේ කිරුළ නුඹ මා හදවත් සිරස මත පැළඳූ කල තවත් නම් යස ඉසුරු කුමකටද මට...........

ජීවිතය සුදු වැලි අතුල නිරුදක කතරක් වූ කල්හි ඒ කතර මත සුපිපි මලක් සෙයින් ආදරයේ ලොව්තුරු රස ගංඟා  ගලා ඒ නම්...

ජීවිතයේ ඉවුරු දෑල මත හමුවන එකම ඉසුර සතුටයි. ආදරය ආදරය ලෙසින්ම, ප්‍රේමය ප්‍රේමය ලෙසින්ම දැනෙන්නට වූ මොහොතක ජීවිතය ඔස්සේ විඳිය හැකි දිව්‍යමය ආස්වාදය මම නුඹෙන් ලදිමි.

දිය බිඳක් පවා අහිමි නිරුදක කතරකට දියපොදක් යනු විසල් සාගරයකි. එනයින් රිදුම් පිරිසිඳ ජිවිතයම සුවපත් කළ ඔබේ ප්‍රේමයේ හැම උල්පතක්ම ජීවිතය දිව්‍ය විමානයක් බවට පරිවර්තනය කළ අරුමය... ඉතින් ඔබේ ආදරය වරුසාවක් ලෙසින් ඇදහැලී නියං සායෙන් කර්කෂව වියළී ඉරිතලා ගිය ජීවිත මුඩුබිම ප්‍රාර්ථනාවන්ගෙන් අස්වවද්දී ජීවිතයම මල් පිපෙන කෙම්බිමක් බවට පත්වෙයි..... ඉඳින් ප්‍රේමයම හැර තවත් ඉසුරු කුමකටද මට....... ආදරය නොනවතින වැස්සක් සෙයින් ජීවිතය මත ඇද හැලෙන්නට වූ කල තවත් නම් ඉසුරු කුමකටද මට....

සුදු වැලි කතරේ
පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංඟා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව් ලොවක් වේ......

නුඹ නැතුව නුඹ එක්ක මම ඇවිද ගිය දවස් එමටය. නුඹ නැතුව නුඹ එක්ක මම ප්‍රේමය විඳි දවස් එමටය. ප්‍රේමය එහෙමමය. ළඟින් සිටියත් නොසිටියත් ප්‍රේමය විසින් දනවන ආත්මීය ප්‍රකම්පනය සුගීතවත් හද ගැස්මකි.

සීත මිටියාවත් අතර නුඹ හා සරණ ජීවන සුවිසැරියේදී ජීවිතයේ නෙක කඳුගැට අතරින් සෙනෙහසේ දියදහරා වෑස්සෙයි. ඉඳින් ගිම් නොදැනෙන කල ගිම් නිවන්නට පපුතුරක් අවැසි නැත. ඈත හිමවතේ කඳු අතරින් පාව යන මිහිදුම් සේලයක සිහිලස අනන්තයක හිඳ විඳින්නට මට හැකිය. ප්‍රේමය අයිතිය ලෙස නිර්වචනය නොකරන තාක් නුඹේ ප්‍රේමය මගේ කරගෙන විඳින්නට මට හැකිය. නොඉල්ලා කිසිවක්ම ඉතිරි කර නොගෙන කිසිවක්ම නුඹේ හදවත් සෙනසුන මත ප්‍රේමයේ මල් අතුරන්නට මට හැකිය.

දුරක හිඳ වුව මා නුඹෙන් පැතුවේ ප්‍රේමයේ ඒ අමා සුවයයි. සරාගී ප්‍රේමයේ ප්‍රකම්පනයෙන් නොව ආදරයේ අමා සිහිලසින් ආත්මයම නිවී සැනසෙන මොහොතක් සපැමිණෙන තෙක් ඉදින් මම දුරක හිඳ බලා සිටිමි. 

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ......

ඔව් ඒ පැතූ අමා සුවය හමුවෙන තෙක් මම දුරක හිඳ බලා සිටිමි.

(ගී පද රචනය- සේන වීරසේකර
සංනාද සහ ගායනය- වික්ටර් රත්නායක)

I සංජු