2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

ගාමිණි ෆොන්සේකා මට පෙන්නපු ආදරේ ගැන තනුජාට ඊර්ෂ්‍යා හිතුණලු - දේවිකා

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 249

ප්‍රථම ප්‍රේමය ඔබට බොහෝ දේ සිහි කරනු ඇත. හිමි වුවද, අහිමි වුවද, ප්‍රකාශිත වුවද, අප්‍රකාශිත වුවද ඒ හැඟීම අප තුළ සදානුස්මරණීය වණු ඇත. පවුලක ප්‍රථම දරුවා වුවද, රටක ප්‍රථම ජනපති අගමැති වුවද, ආයතනයක වුවද සමාජයක වුවද මෙම 'ප්‍රථම' යන කිරුළට ලැබෙන තැන අති විශේෂය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලිනාට්‍ය නිළිය යැයි කී විටද දැනෙන්නේ එවැනිම සුවිශේෂීත්වයකි. එම කිරුළ හිමිවූයේ ඇයටය. එය අසමසම සුවිසෙස් කිරුළකි. මන්ද, ඇගෙන් පසුව කොතරම් ටෙලිනාට්‍ය නිළියන් බිහිවුවද මෙරට ප්‍රථම ටෙලිනාට්‍ය නිළිය යන කිරුළ එම කිසිවෙකුට තමන් සතු කර ගැනීමට නොහැකිය. එවන් කිරුළක් ලද විශේෂිත ශිල්පිනියක වුවද ඇය සතු නිහතමානී සුන්දර ප්‍රතිරූපය කාගෙත් ඇගයීමට ලක්වණු ඇත. එනිසාම දිගු කලක් ටෙලි නිර්මාණවලදී හමු නොවුණත් ඇය අදටත් ඉතා ජනප්‍රිය ශිල්පිනියකි. ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරාණි නම් වන්නීය. අද හදසර 'My story' කතාබහ ඇය සමඟය.

''මම උපන්නේ කොහුවල. මම අපේ පවුලේ තුන්වැනියා. අපේ පවුලේ ගැහැනු දරුවන් හත්දෙනයි පිරිමි දරුවන් එක්කෙනයි. අපේ තාත්තා අසරුවෙක්. ඉස්සර ලංකාවේ අශ්ව රේස් තිබුණනෙ. ඉතින් හැමදාම අපි දැක්කේ අපේ තාත්තා ඉතා තේජාන්විත ප්‍රතාපවත් පෙනුමෙන් හැමදාම උදේට අශ්වයා පිටේ නැගලා යනවා. මේ ගමනෙදි දවසකට එක්කෙනෙකුට වාසනාව ලැබෙනවා අශ්වයා පිටේ නැගලා පාසල් යන්න. මාරුවෙන් මාරුවට පවුලේ දරුවන් හැමෝටම ඒ අවස්ථාව ලැබෙනවා. තමන්ගේ අවස්ථාව ලැබෙන දවසට හරිම ආඩම්බරයකින් හිත පුරවාගෙන තමයි එදාට අපි කවුරුත් යන්නෙ. තාත්තාව අපි හැමදාම දැක්කෙ විරුවෙක් වගේ. 

ඒ කාලේ ලංකාවේ නුවරඑළිය හා කොළඹ තමයි මේ අශ්ව රේස් පැවැත්වුණේ. දැන් වගේ පිටරට අශ්වයන් දුවනවා බලාගෙන හිටියේ නැහැ. හරිම විනෝදජනක සුන්දර අත්දැකීමක් පවුල් පිටින් ගිහින් විඳගත්තා. ඒකෙන් අපේ රටට හොඳ ආදායමක් පවා ලැබුණා. එය සිරිමාවෝ මැතිනියගෙ කාලෙදි තහනමට ලක් වුණා. කාලෙන් කාලෙට එහෙම විවිධ දේශපාලන ප්‍රතිපත්ති සකස් වෙනවනෙ. ඉතින් තාත්තට හොඳ වැටුපක් ලැබෙන නිසා මගේ අම්මට රුකියාවක් කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවුණෙත් නැහැ. ඇය නිවසට වී අපව හදා වඩාගැනීමේ කාර්යයට මූලිකත්වය දුන්නා. මගේ අම්මා වගේම තාත්තත් හරිම නීතිගරුක අය. සත්‍යවාදී අය. විශේෂයෙන්ම අම්මා හරිම සැර කාන්තාවක්. ඒ නිසාම අපි හරිම බයෙන් හැදුණේ. නීතියට, පිළිවෙළට වැඩ කරන්න පුරුදු වුණෙත් එතැනින්. වැරුද්දකදි අම්මා අපිට දඬුවම් කරන බව අපි අත්දැකීමෙන්ම දැන සිටියා. මගේ ආදරණීය අම්මාත් තාත්තාත් දෙදෙනාම මේ වනවිට ජීවතුන් අතර නැහැ. මගේ තාත්තා වසර 101 ක් ආයු විඳින්න තරම් වාසනාවන්ත වුණා. එතුමා එන්.ඩබ්ලිව්. පෙරේරා. මව කුසුමා පෙරේරා. ඒ ආදරණීය දෙමව්පියන් අපේ ලෝකය සුන්දර කළා. මගේ තාත්තා අම්මා අපිව හරිම ආදරයෙන් පරිස්සම් කළේ හරියට කුරුලු පැටවුන් වගේ.'' ඒ සුන්දර ආදරණීය අතීතය සිහි කරමින් දේවිකා පවසන්නීය. 

දෙමව්පියන් යනු දරුවන්ගේ සදාතනික විරුවන්ය. දියණියකට පියා යනු ඇගේ පළමු විරුවාය. මිතුරාය. තම ප්‍රතාපවත් පියා නිසාම අනාගතයේ දිනෙක තමන්ට හිමිවිය යුතු වන්නේ එවැනි පෙම්වතෙකු බව තමන් විශ්වාස කළ බව ඇය පවසයි. පුදුමයක් නැත. සැබෑ ජීවිතයේ රටක් ආදරය කරන ප්‍රතාපවත් පෙම්වතෙකු ඇයට හිමිවිය.

''මම පාසලේදි ගීත ගයන්න, නටන්න, සරඹ කරන්න, හැම දෙයකටම සම්බන්ධ වුණා. ඒ සියල්ලටම මම හරිම කැමැත්තෙන් තමයි එක්වුණේ. මම පාසල් ගියේ නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයට. ගායනයට, නර්තනයට ආදරය කළත් කවදා හරි දවසක වෛද්‍යවරියක් වෙලා රටට, සමාජයට මෙහෙවරක් කරන්න තමයි මම කුඩා කාලයේදී සිහින දැක්කේ. දුක් විඳින මිනිසුන්ට සැනසීමක් වෙන්න මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා. මම උසස් පෙළ කළේ විද්‍යා අංශයෙන්. එහෙත් කලාව තුළින් මිනිසුන්ට සහනයක්, සුවයක් ලබා දෙන්නයි මගේ දෛවයේ ලියැවී තිබුණේ. ඒ දවස්වල මට හොඳට මතකයි අපේ පාසලේ දයා නෙල්ලම්පිටිය ගුරුතුමිය. එතුමිය තමයි අපේ නැටුම් ගුරුතුමිය. තෙයියත් තෙයියත් තා.. ඇය අපූරුවට නැටුම් නැටුවා. ඇය හරිම සුන්දර කාන්තාවක්. ඔසරිය ඇඳලා, ඇට මාලයක් දාලා, බෙල්ලට කොණ්ඩය බැඳලා හරිම සුන්දර දසුනක් ඇය නර්තනයේ යෙදෙනවා බලා සිටීම. මට කලාවට ආසාවක් ඇතිවෙන්න එතුමිය ලොකු බලපෑමක් වුණා. දයා ටීචර් ඔසරි පොට බෙල්ල වටේ දවටගෙන ඇය නැටුම් නටමින් අප වෙත ඒවා කියා දෙද්දී නර්තනයට ලොකු ඇල්මක් තමයි ඇතිවුණේ. ඇගේ හැඩතල දැකලා ඇතිවුණු ආකර්ෂණය නිසාම කලාව තුළ ගමනක් යන්න කැමැත්තක් ඇතිවුණා.''

දේවිකා මිහිරාණි නම් රංගන ශිල්පිනිය ගොඩනැගෙන්නට, කලාව තුළ ගමනක් යන්නට ඇයට මඟ කියා දුන් චරිත දෙකක් පිළිබඳව ඇය කෘතවේදීව සිහිපත් කරන්නීය. ඉන් අයෙක් ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ වන අතර අනෙක් පුද්ගලයා විජය නන්දසිරි නම් වන්නේය. ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රය තුළ රනින් නම ලියූ එම දැවැන්තයන්ගේ ආශිර්වාදය මත ඇය කලාවට අවතීර්ණ වූවාය. 

''මම නර්තනය වැඩිදුර ඉගෙන ගන්න පන්තියකට සහභාගි වුණා සෝමදාස නිත්තවෙල ගුරුතුමාගේ. ඒ 70 දශකයේදි. අපි ප්‍රධාන ශාලාවේ නැටුම් පුහුණුවෙන විට ගුරුතුමා ප්‍රධාන දොරටු දෙකම වහනවා. මොකද එතැන තව නැටුම් පුහුණුවීම් ආදිය සිදුවෙන නිසා. නැටුම් නටද්දි බෙර වාදනය එහෙම එළියට ඇහෙනවනෙ. එතැනින් එහා මෙහා යද්දි වා කවුළුවකින් තමයි විජය මම නටනවා දැකලා තිබුණේ. අනික ඉතින් කොහොමත් ගැහැනු ළමයි නටද්දි පිරිමි ළමයි ටිකක් අවධානයෙන් බලනවනෙ. ඉතින් විජයත් එතැනදි මාව එහෙම දකින්න ඇත්තේ. කොහොම හරි විවේක කාලෙදි මට විජය හම්බවුණා. තේ බොන්න යද්දි. ඔහු මට කතා කළා. නංගි කොහොමද? මම දැක්කා ඔයා පන්තියේ නටනවා. කැමති නැද්ද වේදිකා නාට්‍යයක රඟපාන්න කියලා ඔහු ඇහුවා. මම කිව්වා මම ගෙදරින් අහලා ඇවිත් කියන්නම් කියලා. ඒ දවස්වල තාත්තා හිටියේ විදේශ ගතවෙලා. අම්මා කිව්වා තාත්තගෙන් අහන්න ඕනද කියලා. මම කිව්වා අම්මේ.. තාත්තා ලංකාවට එනකල් හිටියොත් පරක්කු වෙනවා. ඒ නිසා අපි පස්සෙ තාත්තගෙන් අහමු. අම්මා මට අවසර දෙන්න කියලා. අම්මාට පෙරුත්ත කරලා අවසරය ලබාගත්තා. ඒ අනුව තමයි මම සයිමන් නවගත්තේගමයන්ගේ 'සුබ සහ යස' ඔස්සේ මුල්වරට සම්මත වේදිකාවට පය තැබුවේ. දාසියගේ චරිතය තමයි මම කළේ. විජය මහ ඇමැති. ඉන්පසු මාව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට හඳුන්වා දුන්නා. එතුමගෙ මනමේ, සිංහබාහු, මහාසාර කියන නාට්‍ය ත්‍රිත්වයේම මම හිටියා. බන්දුල විතානගේ, සුගතපාල ද සිල්වා, ආර්.ආර්. සමරකෝන් වැනි විවිධ නිෂ්පාදකයන්ගේ අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණ රුසකටම එක්වන්නට මට අවස්ථාව ලැබුණා. චූලා කාරියවසම්ගේ සිරිත් විරිත්, සුසිල් ගුණරත්නගේ නුඹ විතරක් තලඑළලුයි, ආර්.ආර්. සමරකෝන්ගේ අහසින් වැටුණු මිනිස්සු, බන්දුල විතානගේ නිර්මාණය කළ වැනිසියේ වෙළෙන්දා වැනි නිර්මාණවලටත් මම රංගනයෙන් එක්වුණා.''

වේදිකාවෙන් ටෙලිනාට්‍ය සඳහා ඇයගේ පැමිණීම සිදුවූයේ ඉන් අනතුරුවය. 'කුස පබාවතී' හා 'සුබ සැන්ඳෑවක්' නාට්‍ය ඒ දිනවල මම කරමින් හිටියා. ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් මේ නිර්මාණ නරඹන්න පැමිණ සිටියා. ඒවායේ රංගනය දැකලා තමයි එතුමා මෙරට පළමු රූපවාහිනී ටෙලි වෘතාන්තයේ ප්‍රධාන චරිතය වූ නන්දා චරිතයට මාව තෝරාගත්තේ. එහි ප්‍රධාන පිරිමි චරිතය කළේ අමරසිරි කලංසූරිය. මුලින් කොටස් 12 යි රූගත කළේ. නමුත් ලැබූ අසීමිත ප්‍රතිචාරයත් එක්ක තවත් කොටස් 12ක් රූගත කළා. 'දිමුතු මුතු'.. මට මතකයි එය මුලින්ම විකාශය වන දිනයේ ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ ප්‍රවීණ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය. ඇය කිව්වා මට හොඳට මතකයි ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ටෙලි වෘතාන්තය 'දිමුතු මුතු'. එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ දේවිකා මිහිරාණි මෙරට ප්‍රථම ටෙලිනාට්‍ය නිළිය ලෙසත් අමරසිරි කලංසූරිය ප්‍රථම ටෙලිනාට්‍ය නළුවා ලෙසත් අභිසෙස් ලබනවා කියලා. ඒ දවස්වල මේවා පටිගත කර ගන්න අපිට තාක්ෂණික විධි තිබුණේ නැහැනෙ. එය ඉතා සුන්දර මතකයක්. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර එය ජනප්‍රිය වුණා. මිනිසුන්ගේ දෛනික චර්යාව පවා වෙනස් වුණා. 

ඕනෑම කෙනෙක් ජනප්‍රිය වෙන්න පුළුවන්. තමන්ගේ දක්ෂතා කුසලතා මුවහත් කර ගන්න ඉඩක් ඇතිනම්. නමුත් මේ මෙරට ප්‍රථම ටෙලි නිළිය කියන කිරුළ නැවත කෙනෙකුට නොලැබෙන එකක්. එය මට අභිමානයක්. ඉන්පසු මම රේඛා නාට්‍යයට එක්වුණා. එයත් ආචාර්ය නිහාල්සිංහයන්ගේ. දශක කිහිපයක් ගෙවිලත් අදටත් එහි ගීත ජනප්‍රියයි. ලක්ෂ්මන් විජේසේකර, චන්ද්‍රලේඛා පෙරේරා හා මා එහි ප්‍රධාන චරිත නිරූපණය කළා. ඒ වගේම මට තවත් විශේෂ අවස්ථාවක් 'සුදු සහ කළු' ටෙලිනාට්‍ය ඔස්සේ හිමිවුණා. එය ප්‍රවීණ රංගධර ගාමිණී ෆොන්සේකාගේ එකම ටෙලිනාට්‍යයි. මා එහි ඔහුගේ දියණිය ලෙස රංගනයේ යෙදුණා. මට මතකයි දිනක් එතුමාගේ දියණිය තනූජා කියනවා තාත්තට (ගාමිණී ෆොන්සේකා) කවදාවත් අපිට මෙහෙම ආදරය කරන්න ඉඩක් ලැබුණෙ නැහැ තිබුණු අධික කාර්යබහුල ස්වභාවය නිසා. නමුත් දේවිකා සමඟ රංගනයේදි ඉතා ආදරණීයව රංගනයේ යෙදෙද්දි මට ලොකු ඊර්ෂ්‍යාවක් දැනුණා කියලා. ඉතින් එයත් මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක්. මම සිනමා නිර්මාණ නම් පහකට විතරයි එක්වුණේ. ඒවත් සුළු චරිත. 

විජයගේ අභාවයෙන් පසු අපේ පුතු යොදාගෙන කුස පබා නැවත නිෂ්පාදනය කළා. විජය වගේම පුතාටත් රඟපාන්න, ගයන්න, නටන්න පුළුවන්. නැරඹුව හැමෝම එය අගය කළා. පුතා රසංජන වෘත්තියෙන් ගුවන් නියමුවෙක්. ඔහු ගිරිරාජ් කෞෂල්‍යගේ 'කතුරු මුවත්' වැනි නිර්මාණවලටත් රංගනයෙන් එක්වුණා. අපේ දුව නවංජනා මිහිරාණි. ඇය විවාහකයි. ඒ සනත් චමින්ද පුතා සමඟ. ඔවුන්ට දියණියක් සිටිනවා. ඇය සහන්යා මිහිරාණි. දැන් ඔවුන් ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටිනවා. දුවත් කලාවට උපන් හපනියක්. ඉදිරියේදී ඇගේ පියා වෙනුවෙන් කෙරෙන යම් නිර්මාණවලදි ලංකාවට ආවම එක්වෙයි. මගේ මිණිබිරිය කලාවට රුගෙන ඒම මගේ සිහිනයක්.'' ඇය අවිහිංසකව පවසන්නීය.

ප්‍රවීණ රංගවේදී විජය නන්දසිරි අප අතරින් වියෝව දැන් වසර කිහිපයකි. තවමත් ඇය ඔහු ගුණ සිහිකර පින් අනුමෝදන් කරන්නීය. 

''විජයට මිනිසුන්ගෙ තිබුණු ආදරය කොතරම්ද යන්න දැනුණෙ එයාගේ අවමංගල්‍ය දිනවල. පෝලිම්වල ඇවිත් මහජනතාව ඔහුට අවසන් ගෞරව දැක්වූවා. විජය රංගනයේදි සිනහ වෙමින් කෑගසමින් ඉදිරිපත් වුණාට නිවසේදි හරිම සාමකාමී නිහඬ චරිතයක්. ඉතා සීරුවෙන් පරිස්සමට කා හටත් උදව් කරමින් ඔහු ජීවත් වුණා. ඔහු දකුණතින් දෙන දේ වමත දැන සිටියේ නැහැ. අදටත් ඔහු නැති අඩුව අපිට දැනෙනවා.'' 

ඇය එලෙස පවසද්දී කලාව තුළ රසිකයන් ලෙස අපට ද ඔහු නැති අඩුව දැනෙන බව නොකියාම බැරිය. තමන්ට ගැලපෙන චරිතයක් ලැබේ නම් ඉදිරියේදිත් ටෙලිනාට්‍ය රංගනයට එක්වන වග ඇය පවසයි. එමෙන්ම පවතින අර්බුද සමනය වූ පසු තම සැමියාගේ වේදිකා නාට්‍ය නිර්මාණ නව නිෂ්පාදනයන් ලෙස යළි ජනතාවට සමීප කිරීමට ද ඇය සිහින දකින්නීය. ඒ සිහින සැබෑ වේවායි හදසර අපි සෙනෙහසින් පතමු.

 මොනිකා සේරසිංහ
සේයාරූ - සුමුදු හේවාපතිරණ