2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

අහස් ගව්වෙන් එහා ගව් ගණනක ගමනක් ගිය ඩොනල්ඩ් ඔබට සුබ ගමන්!

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 94

අවුරුදු 75කට වඩා පැරණි සිංහල සිනමා වංශ කතාවේ පනස් වසරක් පුරා එකී සිනමාවේ සම්මානනීය කෘති රාශියක චලන සිතුවම් මුලින්ම දුටු අග්‍රගන්‍ය සිනමා ශිල්පියා ඊයේ ලොස් ඇන්ජලිස් නුවරදී අවසන් හුස්ම හෙලුවේය. ඩොනල්ඩ් කරුණාරත්න නම් ඔහුට ප්‍රණාමය දක්වන සටහන්වලින් ඔහුගේ චලන සිතුවම් ඔස්සේ සිය වින්දනය තීව්‍ර කරගත්තා වූ සිනමා රසකාමියෝ සමාජ ජාලා පුරවාලූවෝය. ඔහු විසි වතාවකට වඩා හොඳම සිනමා කැමරා ශිල්පියාට හිමි සම්මානය දිනාගෙන තිබිණි. කළු-සුදු වර්ණයෙන් රූගත කළත්, වර්ණ චලන රූ නිර්මාණය කළත්, තිර පිටපතේ අධ්‍යාත්මික ගැඹුර සැබෑ රූප පෙළට ග්‍රහණය කළේ ඩොනල්ඩ් කරුණාරත්නය. 1975 අහස් ගව්ව චිත්‍රපටයෙන් ඇරඹි ඔහුගේ සිනමා සිතුවම් ග්‍රහණය කර ගැනීමේ සම්මානනීය ගමන පසුගිය වසර දක්වාම නොනිමියේය.

ධර්මසේන පතිරාජයන්ගේ අහස් ගව්ව, බඹරු ඇවිත්, ස්වරූපා ඇතුළු සිනමා කෘතිවලටත්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අහසින් පොළොවට හා කලියුගය කෘතිවලත්, සුමිත්‍රා පීරිස්ගේ ගඟ අද්දර, යහළු යෙහෙළි, සාගර ජලය මදි හැඬුවා නුඹ හින්දා කෘතිවලත්, වසන්ත ඔබේසේකරගේ දඩයම චිත්‍රපටයේත් සම්මානනීය කැමරා අධ්‍යක්ෂණය ඩොනල්ඩ් කරුණාරත්නගේය. 1983 වසරේදී කළු-සුදු හොඳම කැමරා අධ්‍යක්ෂණයට පිදෙන සම්මානයත්, වර්ණ චිත්‍රපට කැමරා අධ්‍යක්ෂණයට පිදෙන සම්මානයත් යන සම්මාන දෙකම මලට නොඑන බඹරු චිත්‍රපටයට සහ යහළු යෙහෙළි චිත්‍රපටය උදෙසා දිනාගැනීමට ඔහු සමත් වූයේය.

කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි සිසුවකු වූ ඔහු කොළඹ සෞන්දර්ය කලා ආයතනයේ (හේවුඩ්) හි ඉගෙනුම ලැබුවේ මහගමසේකරයන් හා අමරදේවයන් හේවුඩ් ආයතනයේ ඉගැන්වීමේ නිරත කාලයේදීය. නර්තන කලාවද හැදෑරූ ඩොනල්ඩ් 1966 තිරගත වූ ගැටවරයෝ චිත්‍රපටයේ, ආරිච්චි බෝරිච්චි ගීතයේ නර්තනයටද හවුල් වූයේය. කැමරා අධ්‍යක්ෂණයට තනිව දායක වන්නේ අහස් ගව්ව චිත්‍රපටයට වුවද එම කාර්ය කටයුතුවල ඊට පෙර කලක පටන් ඔහු නිරත වූයේය. හන්තානේ කතාව චිත්‍රපටයටද ඒ අතින් ඔහුගේ දායකත්වය ලැබී තිබිණි. Arriflex කැමරාව හසුරුවන්නට ජර්මනියෙන් පුහුණුව ලැබූ පළමු තැනැත්තා ඔහුය. ඔහු වර්ණ සිංහල සිනමාවේද පුරෝගාමියෙකි. BBC සේවා නිෂ්පාදනයක් වූ විලේජ් බයි ද සී (Village by the Sea) සිනමා කෘතියේ කැමරා අධ්‍යක්ෂණය කළේ ඩොනල්ඩ් කරුණාරත්නය. එසේම Once Upone a time, North and South Dialogue යන අන්තර්ජාතික කෘතිවලට ඔහු එම ශිල්පීය කාර්යභාරය ඉටු කළේය. එසේම ඉන්දියානා ජෝන්ස්, එලිෆන්ට් බෝයි, Three Yellow Cats යන ජාත්‍යන්තර සිනමා කෘතිවලටද ඔහුගේ දායකත්වය ලැබිණි.

හොඳම චිත්‍රපට කැමරා ශිල්පියකුට තිබිය යුතු ගුණාංග සියල්ලම ඔහු තුළ තිබිණි. ඕනෑම අධ්‍යක්ෂවරයකු සමඟ කටයුතු කිරීම සඳහා අවශ්‍ය නම්‍යශිලී ගුණය ඔහු තුළ විය. තාක්ෂණික නිපුණතාව අතින් ඔහු ගෞරවපූර්ව තැනක පසුවිය. ශාරීරිකව දරා ගැනීමේ ශක්තිය අතින් ඔහු වඩාත් යෝග්‍ය වූයෙන් රාත්තල් 25කට වඩා බරුති කැමරාව ඔසවාගේ අතිශය සුමට සළ රූ රූගත කළේය. නිර්මාණාත්මක දක්ෂතාව අතින් වඩාත් අනගිතම ඇසක් ඔහුට හිමිව තිබිණි. එසේම අතිශය සූක්ෂම ලෙස රූප රචනයේදී අවධානය යොමු කිරීමේ හැකියාව ඔහු සතු විය. අපගේ ජීවිත කාලය තුළදී සිනමා රූ තුළින් ආනන්දයෙන් ප්‍රඥාව කරා යන්නට අපට උපකාර කළ ඔහුගේ දෙනෙත ඊයේ සදහටම පියවී ගියේය.

I සමන් පුෂ්ප ලියනගේ

 සේයාරුව I අන්තර්ජාලයෙන්