2017 මැයි 20 වන සෙනසුරාදා

ඒ රහස තව ටිකදවසකින් එළියට දාන්නම්.....

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 150

සංගීත්ගේ පුත් සනුක කියයි

සනුක මොකද මේ කලබලේ?
අනේ නෑ... මේ දවස්වල චුට්ටක් විතර කාර්යබහුලවෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ කලබලේ එහාට මෙහාට දුවන්නේ.

ඔච්චර කලබලේ දුවන අලුත් වැඩේ මොකක්ද?
ඒක තමයි මගේ අලුත් සින්දුව. ඒකෙ විෂුවල් එකටත් එක්ක මේ දවස්වල වැඩ ටිකක් වැඩිවෙලා තියෙනවා. විෂුවල් එකට දවස් දෙකක් විතර මහන්සි වුණා.

කවදා විතර ඔය සින්දුව අහන්න ලැබෙයිද?
බොහෝදුරට මේ මාසෙම අහන්න ලැබේවි. සමහරවිට හෙට අනිද්දම ඒ සින්දුව හැමෝටම දකින්න අහන්න ලැබේවි. තව චූටි වැඩ ටිකක් කරන්න තියෙනවා. ඊටපස්සේ ඒකෙ වැඩ ටිකනම් ඉවර වෙයි.

සින්දුව ගැන ටිකක් කියමු?
ම්... ඒක රහසක්. අපි ඒ රහස තව ටික දවසකට රහසක්ව තියමු. මේක විරහවත් එක්ක කියවෙන ගීතයක්.

ඔය සනුකගේ කීවෙනි සින්දුවද?
මේ වෙනකොට මම සින්දු පහක් හයක් විතර කරලා තියෙනවා.

පුංචි කාලේ ඉඳන්ම සනුක ඇහුවේ සින්දුනේ. ආසාවෙන් හිටියෙත් ගායකයෙක් වෙන්නද?
නෑ.. පුංචි කාලේ නම් ආසාවෙන් හිටියේ ගායකයෙක් වෙන්න නෙමේ. ඒකට ලොකුම හේතුව වුණේ මගේ අම්මයි තාත්තයි. එයාලා මම පුංචි කාලේ ඉඳන් කිව්වේ මුලින්ම හොඳට ඉගෙන ගන්න. ඊළඟට තමන් කැමති හොඳ රැකියාවක් කරන්න කියලා.

සනුකගේ පාසල අධ්‍යාපනයට වගේම සංගීතයටත් හොඳ අවස්ථාවක් ලබලා දුන්නා නේද?
ඔව්... ඇත්තෙන්ම. මම ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විදුහලේ. මම මුලින්ම ස්ටේජ් එකකට නැගලා සින්දු කිව්වේ රාජකීය වේදිකාවේ. ඒ වේදිකාව මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

එතකොට සනුකගේ තාත්තා ඔයාගේ ගායනය ගැන මොකද කිව්වේ?
තාත්තා හරියට සතුටු වුණා. මට තාම මතකයි රාජකීය විදුහලේ වේදිකාවේ මම මුලින්ම කිව්වේ ඉංග්‍රීසි සින්දුවක්. එදා අම්මයි තාත්තයි ගොඩාක් සතුටු වුණා. හැබැයි ඒ දෙන්නා හැමවෙලේම කිව්වේ මුලින් හොඳට ඉගෙන ගන්න කියලයි. ඒ නිසා මම A/L කළේ ගණිත අංශයෙනුයි. හැම අම්මා කෙනකුගේම හැම තාත්තා කෙනකුගේම හීනය වෙන දරුවන් ඉන්ජිනේරුවන්, ඩොක්ටර්ස්ලා කරන හීනය මගේ මවුපියන්ටත් තියෙන්න ඇති.

ඒ වුණාට A/L වලට ගණිත අංශයෙන් ඉගෙනගත්තු ඔයා තෝරාගත්තේ සංගීතය?
ඔව්... අන්තිමට ගායකයෙක්ගේ පුතා වුණු මාත් ගායකයෙක් වුණා. තාත්තාගේම පුතානේ. අද තාත්තා මගේ ගැන සතුටුයි. ඒක එයාගේ වචනවලින් හැඟීම්වලින් මට තේරෙනවා.

එතකොට සනුක සංගීතය හැදෑරුවේ පාසල් කාලේදීමයි... කොහොමද මේ සංගීතය දුරදිග ගියේ?
රාජකීය O/L පන්තිවල ඉන්න කාලේ ඉඳන්ම මම සංගීත කටයුතුවල නිරත වුණා. පාසලේ තිබුණු එක එක ප්‍රසංගවලට සහභාගි වුණා. කොහොමහරි A/L කරලා ඉවරවුණාට පස්සේ අපි යාළුවෝ කට්ටියක් එකතුවෙලා Glory කියලා සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. ඒකෙන් සංගීතයේ බොහෝ තැන් හදාරන්න මට අවස්ථාව ලැබුණා.

ඒත්.. එකපාරටම සංගීත් වික්‍රමසිංහගේ පුත් සනුක වික්‍රමසිංහ කලාවට සම්බන්ධ වුණානේ. ඒකට හේතුව වුණේ තාත්තද?
ලොකුම හේතුව වුණේ තාත්තා. හැබැයි ඔය කාලේදි මගේ වයසේම සෙට් එක සංගීතයත් එක්ක එකතු වුණා. බොහෝ වෙලාවට ඒ හැමෝගෙම තාත්තා හෝ අම්මා කලාවට සම්බන්ධ අය. ඉතින් ඔවුන්ගේ දෙවැනි පරපුර වුණ අපි එකතුවෙලා අලුත් අලුත් දේවල් අත්හදා බලද්දි අපි ගැන කතා කරන්න පටන් ගත්තා. අදටත් අපි හොඳ යාළුවෝ. අපේ හැම නිර්මාණයකදීම ඒ හැමෝගෙම සපෝට් එක ලැබෙනවා. ඒ හැමෝම දක්ෂයෝ.

සමහර අය කියනවා සනුක ආඩම්බරයි කියලා... මොකද කියන්නේ?
මගේ උත්තරේ තමයි නෑ. ඇත්තටම මම ආඩම්බර නෑ. අනික මම ඇයි ආඩම්බර වෙන්නේ. සමහරු මගේ පෙනුමට හිතනවා ඇති මම ආඩම්බරයි කියලා. ඒත් මාව දන්න, මාව ආශ්‍රය කරන අය දන්නවා මම ආඩම්බර නෑ කියලා.

ඔය වයසට විලාසිතාවලට අකමැතිනම් පුදුමයිනේ... කොහොමද විලාසිතාවලට තියෙන කැමැත්ත?
ඇත්ත.. ඇත්ත.. මම විලාසිතාවලටනම් මාර ආසයි. ඒ ගැන සැලකිලිමත් වෙනවා. විශේෂයෙන් අලුත් අලුත් විලාසිතා ගැන ඉන්ටර්නෙට් එකෙන් එහෙමත් හොයලා බලනවා. සමහර විලාසිතා මම කරන්නේ ඒ අලුත් දේවලුත් එක්කයි.

ජීවිතේට ලැබුණු වටිනාම දේ මොකක්ද?
මගේ ජීවිතේට ලැබුණු වටිනාම දේ මගේ අම්මයි තාත්තයි. ඒ දෙන්නා නිසා මට අද බොහෝ දේවල් ලැබිලා තියෙනවා.

එතකොට ඔයාගේ ජීවිතේට ළංවුණ තවත් කෙනෙක් ඉන්නවාද... විශේෂ කෙනෙක්?
මගේ ජීවිතේට දැන් බොහෝ දෙනෙක් සමීපයි. මගේ යාළුවෝ, මගේ රසික රසිකාවියෝ. මේ හැමෝම මට දැන් සමීපයි.

එතකොට සනුක දැන් පෙම්වතෙක්ද?
නෑ.. තාමනම් පෙම්වතෙක් නෙමේ.

සනුක මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තු?
මේ දවස්වල මගේ තියෙන ලොකුම බලාපොරොත්තුව මගේ අලුත් සින්දුව. ඒක ඉක්මනටම මගේ රසික රසිකාවියන්ට ලබලා දීලා ලැබෙන ප්‍රතිචාර දකින්න අහන්න මම බලාගෙන ඉන්නවා. ඒ සින්දුව මම ඉක්මනටම දෙනවා.
 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00