2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

කාත් කවුරුත් නැති උන්ට කාත් කවුත්ම නැති නොකර ඉමු...

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 69

''පොඩි ළමයි ගැන සෙවිල්ලෙන් ඉන්න ඕනෑ කියන්නෙ මේ නිසා.'' 

කළු පාට අපිරිසිදු වතුරකට බැහැලා පනිට්ටුවකින් නාන පුංචි දරුවෝ දෙන්නෙක්ගේ වීඩියෝ පටයක් එක්ක ඒ වාක්‍ය ඒ විදිහට ලියැවිලා තිබුණා, මගේ ආදරණීය ගුරුවරයෙක්ගේ මුහුණුපොතේ. ඔබ නිවැරදියි. පුංචි උන් ගැන සෙවිල්ලෙන් ඉන්න ඕනෑ... ඒත් සෙවිල්ලෙන් ඉන්න කෙනෙක් ඒ අයගේ පුංචි ජීවිතවල ඉන්නවද නැද්ද කියලා මට ආයෙත් හිතුණා. ඒ පුංචි උන් ඉන්නේ නාන්න, බොන්න පිරිසිදු වතුර ටිකක් තියෙන තැනකද කියලා ඊළඟට මට හිතුණා. 

සිංහල හෝඩියේ ප්‍රථම අක්ෂරය 'අ' යන්නෙන් කියවෙන ලස්සන වචනයක් තියෙනවා. ඒ වචනය අම්මා.. ඊළඟට 'ආ' යන්නෙන් කියවෙන අනිත් ලස්සන වචනය ආදරය.. ඒත් 'අ' යන්න 'ආ' යන්න ඉගෙන ගන්න හැම දරුවෙකුටම ඒ ලස්සනම වචන දෙකේ මිහිරියාව විඳින්න ලැබෙන්නෙ නෑ... තාත්තා කියන මහ වනස්පතිය පාමුල සෙවණත්, අම්මා කියන සීතල දියවරේ සිහිලසත් විඳින්න මේ ලෝකයේ හැම දරුවෙකුටම ඉඩ හසරක් නෑ... අම්මා නැති තැන ඇතිවන හිස්තැනත්, තාත්තා නැති තැන ඇතිවෙන පාළුවත් පුරවන්න කෙනෙක් දරුවෙකුට මුණගැහෙනවනම් ඒ හරි කලාතුරකින්... සැබෑ මාතෘත්වය පිරිච්චි හදවතක් ඇති අම්මා කෙනෙකුට දරුවෙක් කියන්නේ තමන්ගේ ඇස් දෙක, තමන්ගේ හුස්ම, තමන්ගේ සියල්ල.. දාරක ස්නේහය සැබෑ මාතෘත්වයේ මහිමය ළඟ කිසිදා ලියා අවසන් කළ නොහැකි දිගු කවියක්, සොඳුරු නවකතාවක් කියලයි මට හිතෙන්නේ... 

සුමට, සුසුවඳ, සුගීතවත්, සුසාර ලෙස තාත්තාගේ ආදරයටත් වඩා හුඟාක් වෙලාවට දරුවෙකුට ළඟින් දැනෙන්නේ අම්මා කෙනෙක්ගේ ආදරය කියලා මම විශ්වාස කරනවා. ඇය දරුවෙක් ලෙස ලෝකයට තිළිණ කරන්නේ තමන් එක්කම හුස්මක් ගත් තම සිරුරේම කොටසක් ලෙස දරා උන් තවත් ප්‍රාණයක්... ඒත් අම්මා කියන හඳ එළිය යට මලක් වෙලා පිපෙන්න මේ ලෝකයට එන හැම පුංචි පැටියෙකුටම වරම් නෑ.. තාත්තා කියන මහා වනස්පතිය යට වැතිරිලා ලෝකය ඉගෙන ගන්න, ජීවිතයේ ගිම් නිවන්න හැම දරුවෙකුටම වරම් ලැබෙන්නෙ නෑ...

මඟ නොමඟ කියා දෙන්නට ඇති ඒ අත්වැල් ගිලිහුණු උපතක ජීවියෙක් විදිහට මේ ලෝකයට අඩිය තියන පුංචි පැටවු ඒ වේදනාත්මක කඩඉම් දරාගෙන සුබ අකුරු කියවන කතන්දර ලෝකයේ හුඟාක් තියෙනවා. ජීවිතය දිනාගත් හුඟාක් මිනිසුන්ගේ ජීවිත කතන්දර පිටුපස එවැනි දුක්බර පරිච්ඡේද ඕනෑ තරම් ලියැවිලා තියෙනවා. එහෙත් ආදරය රුකවරණය ආරක්ෂාව, අවධානය ගිලිහෙන තැනක පුංචි හිත් රිදෙන තැන් කොච්චර හමුවෙනවද කියලා දන්නේ අම්මා තාත්තා කියන අත්වැල ජීවිතයෙන් ගිලිහුණු දරුවෙක්ම විතරයි... කවියෙන්, ගීතයෙන්, සාහිත්‍යයෙන්, ඇසින් සහ හදවතින් ලෝකය කියවන්න ඉස්සර කටු දරාගත් නටුව මඟහැර රෝස මල් විතරක් සිපගන්න පුංචි හිත්වලට තේරෙන්නෙ නෑ...

පිරිසිදු වතුරක සුවඳ වින්දා නම් කිළිටි ගඳ ගහන වතුරක වෙනස උන්ට නොදැනුණේ කොහොමද? දුප්පත්කමත් එක්ක තෙම්පරාදු වෙච්ච ජීවිතවලට සමහර වෙලාවට ගඳ සුවඳ වෙනස තේරුම් ගන්න බෑ... උණු බතයි කුණු බක්කියේ පිළුණු බතයි උන්ට වෙනසක් නැතිව උගුරෙන් පල්ලහාට ගිල්ලවාගන්න පුළුවන් වෙන්නෙත් ඒ හින්දා.. රසය ගුණය උණුසුම පිරුණු අහරක් නෙවෙයි, බඩගින්නට මැටි පස් කන තැනට වැටිච්චි පුංචි උන් මෑත කාලයේ අපිට හමුවෙනවා. කේඩෑරි වී ගිය අත්පා එක්ක ලොකු බඩ ගෙඩි උස්සාගෙන විරූප වෙච්චි මුහුණවලින් ජීවිතය අයදින පුංචි පැටවු මේ ලෝකයේ ඕනෑ තරම් ඉන්නවා.. බොන්න වතුර ටිකක් හොයාගන්න පොළොව හාරන දරුවන් මේ ලෝකයේ ඉන්නවා.. සෙවිල්ලෙන් උන් ගැන බලන්න කෙනෙක් ඉන්නවනම් ඊට වඩා සැනසිල්ලක් උන්ට නැතිවෙයි. කරුණාව පිරිච්චි ඇස්වලින් උන් දිහා බලන්න කෙනෙක් ඉන්නවනම් මොහොතකට හරි ඒ හිත් සැනසෙයි...

දුවේ පුතේ.. මගේ දරුවෝ.. කියලා සෙනෙහෙබර ආමන්ත්‍රණයකින් අමතන්න කෙනෙක් නැති ඒ ජීවිතවල ආධ්‍යාත්මික සිදුරු හුඟාක් මිනිස්සුන්ට පේන්නෙ නැහැ.. ආමන්ත්‍රණයකින් වියුක්තව කවුරුන් හෝ කෙනෙක් තමන් අමතද්දි ඔබට හිතට යම් වේදනාවක්, සරණාගත හැඟීමක් දැනෙනවනම් මොහොතකට හැරිලා දුවේ පුතේ කියලා අමතන්න කෙනෙක් නැති ඒ පුංචි හිත්වලට එබිලා බලන්න.. උන් වෙනුවෙන් මාලිගා හදන්න අපිට බැරිවුණත් එක බැල්මකින්, එක වචනයකින්, එක මඟපෙන්වීමකින් ඒ ජීවිත ළඟ සහන් ගීතිකාවක්ව ගැයෙන්න සමහරවිට අපිට පුළුවන් වෙයි.. ඒ විදිහට හරි ඒ එක ජීවිතයක් හරි අපි සුවපත් කරමු. කාත් කවුරුත් නැති උන්ට කාත් කවුරුත්ම නැති නොකර ඉන්න එහෙම වුණොත් ඔබටත් - මටත් හැකිවෙයි...

ඔව්..

පොඩි ළමයි ගැන සෙවිල්ලෙන් ඉන්න ඕනැ කියන්නේ මේ නිසා...

ඔව්..

පොඩි ළමයි ගැන සෙවිල්ලෙන් ඉන්න ඕනෑමයි කියන්නේ මෙන්න මේ නිසා...

සංජු