2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

සම්මානය ගන්න යන්න ගුවන් ටිකට්පතක්වත් දෙන්න කෙනෙක් හිටියේ නැහැ...

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 222

The Newspaper

සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ (The newspaper) සිංහල චිත්‍රපටය කසාන් අන්තර් ජාතික සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන රංගන ශිල්පීහු එහිදී (හොඳම නළුවා) සම්මානයට පාත්‍ර වූහ. මේ අනුව (The newspaper) (ද නිවුස් පේපර්ස්) සිනමා පටය මේ වන විට දිනා සිටින ජාත්‍යන්තර සම්මාන සංඛ්‍යාව අටකි.

වාර්ෂිකව පැවැත්වෙන කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙල (Kazan International Muslim film festival) රුසියාවේ ටටස්ථාන ජනරජයේ පූර්ණ අනුගහයෙන් පැවැත්වෙයි. මෙම සම්මාන උළෙලේ 18 වැනි අදියර සැප්තැම්බර් මස 11 වැනිදා පෞරාණික කසාන් නුවර පිරමිඩ සංකීර්ණයේදී අති උත්සවශ්‍රියෙන් පැවැත්විණි.

මෙහිදී කාන්, බුසාන්, ලන්ඩන් ඇතුළු ලොව ප්‍රකට සිනමා උළෙල නියෝජනය කළ ජාත්‍යන්තර ඇගයීමට පාත්‍ර වූ සිනමාපට තරගයට ඉදිරිපත් වුණු අතර එහිදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරට හැකිවිය.

''මේක මටවත් සරත්ටවත් ලැබුණු සම්මානයක් නෙමෙයි. මේක අපේ රටට, අපේ සිනමාවට ලැබුණු සම්මානයක්. එහෙමයි සරත් වගේම මාත් හිතන්නෙ. මගේ අම්මා ඒ කාලේ මට ගාමිණී ෆොන්සේකාගේ චිත්‍රපට බලන්න රුපියල් පහක් වගේ මුදලක් දුන්නා. ඒ කාලය මට අදටත් මතකයි. මම සිනමාශාලා හයක් මැද්දේ ජීවත් වුණු කෙනෙක්. විජිත - රත්මලාන, පද්මා - රත්මලාන, ඕඩියන් - ගල්කිස්ස වගේ සිනමාශාලාවලින් වටවුණු සොයිසාපුර කොන්ක්‍රීට් වනාන්තරයේ හැදිච්ච කෙනෙක්. අද ඒ සිනමාහල්වලින් බාගයක්ම වහලා දාලා. ඒ ගැන හිතේ ලොකු දුකක් තියෙන්නෙ. ඒ නිසා මේ සම්මානය ලැබුණට මට අද ඒ තරම් සතුටක් දැනෙන්නෙ නැහැ. ක්‍රීඩාවට තියෙන තැන මේ රට සිනමාවට දුන්නෙ නැහැ. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ජෝ අබේවික්‍රම වගේ නිර්මාණවේදීන්ගෙන් අරන් ආපු පරම්පරාව ජැක්සන් අයියා, ශ්‍රියන්ත අයියා, මනෝ අයියා ඇතුළු අපි බාරගත්තා. අපෙන් පස්සෙ මේ බැටන් එක දෙන්න කෙනෙක් නැහැ. ඒ ගැන දුකයි. සම්මානය ගැන මායි සරතුයි සතුටුයි. ඒත් අද මේ රට සිනමාව තියලා තියෙන තැන ගැන හිතේ තියෙන්න ලොකු දුකක්.'' යැයි හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබූ චිත්‍රපටයේ සම අධ්‍යක්ෂක සහ සම තිර පිටපත් රචක කුමාර තිරිමාදුර හදසරට අදහස් දක්වමින් පැවසීය.

කලකට පෙර හාරසීයක් පමණ වූ සිනමාශාලා අද වනවිට එකින් එක වැසී ගොස් අවසන්ය. මේ වනවිට සිනමාහල් පනහකට ආසන්න සංඛ්‍යාවකට එය සීමාවෙද්දී නොබෝ කලකින්ම තවත් කිහිපයක් වැසී යන බවට මේ වනවිට ඉඟි පළවෙමින් තිබේ.
ක්‍රීඩාවෙන් ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා ඉහළින් ඇගයීමට පාත්‍ර කිරීම වරදක් නොවේ. එහෙත් ලොව පුරා ඇගයීමට ලක්වුණු චිත්‍රපට සමඟ කරට කර තරග කොට ඒ සියල්ල අභිබවමින් මව්බිමට කීර්තියක් ලබාදුන් මොහොත නිසි ඇගයීමකට පත් නොවීම කනගාටුවට කරුණකි. එය සිනමාව දිරිමත් කිරීමක් නොව කඩා වැටෙන සිනමා කර්මාන්තය තවත් පහතට ඇද දැමීමකි.

''ජයග්‍රහණය ලබපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපිත් සුබ පතනවා. ඔවුන් එක්ක කිසිම තරහක් මගේ හිතේ නැහැ. නමුත් මුළු ලෝකයම බබලවපු සිනමා නිර්මාණයක් ලබපු ජයග්‍රහණයට නිසි ඇගයීමක් ලැබුණෙ නැහැ. ඒ කාලේ බොහෝ දෙනා රූ 9.30ට සිනමාහල්වලට ගියා. අද කාලේ වගේ හැමෝටම යන්න එන්න වාහන තිබුණෙ නැහැ. බොහෝ දෙනා ඒ කාලේ චිත්‍රපටය බලලා ගෙදර ගියේ පයින්. කඩල ගොට්ටක් කමින් ගෙදර ගිය අතීතයක් මට තියෙනවා. මට තාම මතකයි (චණ්ඩියා) චිත්‍රපටය අපි 9.30 දර්ශනය බැලුවේ. චිත්‍රපටය බලලා අපි පාරට එද්දි ගෙදර යන්න බස් තිබුණෙ නැහැ. මගේ අම්මා මල්ලිවත් වඩාගෙනයි හිටියේ. ඒ වෙද්දි රෑ එකට විතර ඇති. බස් එකක් එනකම් නවදෙනෙක් විතර පාරේ හිටියා. ඈතින් ආපු පත්තර බෙදන ලොරියක් දරුවෙක් වඩාගෙන හිටපු අම්මව දැකලා අපි ළඟින් ලොරිය නතර කරලා අපිව නංවාගත්තා. එදා අපි පත්තර ලොරියේ නැගලා තමයි ගෙදර ගියේ.'' කුමාර තිරිමාදුර එම අතීතය හදසර පිටු අතරට එකතු කළේය.

සරත්ගේත් කුමාරගේත් හිතට නැගුණු වස්තු බීජය මුල් දරමින් (The newspaper) චිත්‍රපටය ගොඩනැගිණි. කුමාර සහ සරත් කලක පටන් ගජ මිතුරෝ වූහ. The newspaper චිත්‍රපටයට පෙර දෙදෙනා එක්ව (තණ්හා රතී රඟා) චිත්‍රපටය නිර්මාණය කළහ. ඒ සෑම අවස්ථාවකදීම තම හිතේ ඇතිවූ රෑපරාමු ඔවුහු එක්ව බෙදා ගත්හ. ඇතැම් තැන්වලදී දෙදෙනාගේ අදහස් එකට ගැලපුණි. ඇතැම් තැන්වලදී ඒවා පරස්පර විය. එකිනෙකා විරසක වූ අවස්ථා ද විය. ඔවුහු තරහ වූහ. එසේ තරහ වී ගෙදර ගියහ. ඇතැම්විට කුමාර තරහ ගොස් පැත්තකට වී දුම්වැටියක් දල්වා ගත්තේය. නමුත් ඒ මොහොතකට පමණි. කෙනකු තම මතය වෙනස් කරගත් පසුව නැවත පෙර පරදිම දෙදෙනා මිතුරෝ වූහ. එය මේ ගජ මිතුරන්ගේ අතින් සාර්ථක නිර්මාණයක් ගොඩනැගෙන්නට හේතු විය.

''අපි දෙන්නගේ නිර්මාණය දැකපු සිනමාවේ දැවැන්ත චරිතයක් වුණු ජැක්සන් ඇත්තනී මහත්තයා (ගොවියා සහ රස්තියාදුකාරයා එකතු වුණා) කියලා කිව්වා. මම ඇත්තටම රස්තියාදුකාරයා. මොරටුව සොයිසාපුර කොන්ක්‍රීට් වනාන්තරයේ කුඩුකාරයන්, ගංජාකාරයන් එක්ක හැදිච්ච පරිසරයක ජීවත් වුණු කෙනෙක්. සරත් ගමේ සුන්දර වෙල්යායක තිබුණු ගෙදරක හැදිච්ච කෙනෙක්. හැබැයි අද වෙද්දි ඒ ගොවියයි රස්තියාදුකාරයයි හොඳම නළුවා සම්මානය දිනාගෙන.''

(The newspaper) චිත්‍රපටය මේ වනවිට ජාත්‍යන්තර සම්මාන අටකට පාත්‍ර වූ සම්මානිත සිනමා නිර්මාණයකි. එහෙත් එම කිසිදු සම්මානයක් සම්මාන උළෙලට ගොස් සජීවීව ලබාගෙන එම අත්දැකීම විඳගැනීමට චිත්‍රපටයේ තිර පිටපත් රචකයන්, අධ්‍යක්ෂකවරුන්, හොඳම නළුවන් වූ සරත්ට හෝ කුමාරට හැකි නොවීය. මෙවර සම්මානය ලබාගත්තේ ද චිත්‍රපටයේ නිෂ්පාදක වූ ඇමැති බන්දුල ගුණවර්ධනය. අඩුම තරමින් එම එකදු සම්මානයක් ලබාගැනීමට යාමට ගුවන් ටිකට්පතක් ලබා දෙන්නට කිසිවෙක් හෝ කලාවට සම්බන්ධ කිසිදු ආයතනයක් හෝ ඉදිරිපත් නොවීය. වෙනත් ගුවන් ගමන්වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති නිලධාරීන් ගුවන්ගත වෙද්දී සරත්ටත් කුමාරටත් ඒ අවස්ථාව ලබා දෙන්නට කිසිවෙක් ඉදිරිපත් නොවීය. තමන් ලියා අධ්‍යක්ෂණය කර රඟපෑ ජාත්‍යන්තර ඇගයීමට පාත්‍ර වුණු චිත්‍රපටයේ තමාට හිමි සම්මානය තම දෑතින් මව්බිමට රුගෙන ඒමට ඔවුහු වාසනාවන්ත නොවූහ.

''ඇත්තම හිතට දුකක් තියෙනවා. තව සිනමා පිටපත් කිහිපයක්ම අපි දෙන්නා ළඟ තියෙනවා. ඒත් තවමත් අපට නිෂ්පාදකවරයෙක් ලැබුණෙ නැහැ. රට සනසපු අපි දුකෙන්. රට වනසපු අය සතුටින්.'' කුමාර තිරිමාදුර අවසන් වශයෙන් පැවසීය.
ඇමැති බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ (The newspaper) සිනමාපටය රුසියාවේ කසාන් සිනමා උළෙලට නිර්දේශ කිරීම හා සම්බන්ධීකරණය කිරීම යූ.එල්.කේ. ෆිල්ම්ස් පුද්ගලික සමාගම විසිනි.

I දිශානි