මම මටම තුරුළු වී හිඳිමි. රාත්‍රිය මනරම් යැයි මට කියා දුන් නුඹ අඳුර ඉහිරුණ මේ හුදකලා රාත්‍රිය මා එක්ක විඳින්නට අද මා අස නැත. මන්දාරම් හැන්දෑවක් ගෙවා අවසන සපැමිණි රාත්‍රිය මහා වැස්සක් රැගෙන ආවේය. ඒ වැස්ස අඳුරට අඬ ගසයි. වැහි වැටෙන ඉසියුම් රිද්මය මා කැටුව යන්නේ නුඹ මගේ ළඟින් හිඳි ඒ ඈත දවසකටය. එදත් අදත් මේ මහ වැස්සට මම ආදරෙයි..... ආදරයත් ජීවිතයත් කියාදෙන මේ මහා වැස්සට මම ආදරෙයි.......
සීතල දවටාගෙන හමා එන සුළං රැල්ලක පහස දරාගනු නොහැකිව නුඹේ උණුසුම් පිරිමි පපුවේ ගැඹුරටම ගුලි ගැසුණු මතක සමුදායක චමත්කාරය අදටත් මේ මහා වැස්ස මගේ මතකය අග්ගිස්සට රැගෙන එයි. මේ රැයත් ඒ රැය වාගේමය. එහෙත් එදා මා නිවාලූ, මා සනසාලූ, මා සුවපත් කරලූ ආත්මීය ප්‍රේමයක වත්කම් අද මා සතු නැත. ප්‍රේමයෙන් හිස් වූ ජීවිතයේ හැම අහුමුල්ලකම පාළුවක සේයාවන් දැවටී වෙළී හිඳී. කිසිවක්ම නැත. කිසිවෙක්ම නැත. ඉඳින් මගේ සිහිනයක හෝ ආදරය නිදන්කොට යන්න ඔබ එන්න යැයි ඔබට අඬගසන්නට මට සිතෙයි........ කිසිදා ඔබ කියා නොදුන් ප්‍රේමය නම් කිමැයි කියා දෙන්නට ඔබට එන්න යැයි අඬ ගසන්නට මට සිතෙයි........
මේ පාළු සීත රාත්‍රියේ
කියා දෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා..............
අරුංගල්වලින් හිස් වූ කන්පෙති නිය තුඩගින් පිරිමදිමින් නොරිදවෙන්නට කොනිත්තන ඇසිල්ලක ඔබ කියා දුන්නේ අනුරාගයක මුල් අකුරු මිස ප්‍රේමයක සොඳුරු ධර්මතා නොවන වග මම දනිමි. එහෙත් මට ඔබෙන් හැඳිනීමට අවැසි වූයේ ප්‍රේමය තැවරුණු අනුරාගයක සුසුවඳ මිස අනුරාගයක අලංකෘතවලින් සැරසූ ප්‍රේමයක විලවුන් සුවඳ නොවේ...... ඉදින් කිසිදා ඔබ මවෙත තිළිණ නොකළ ප්‍රේමය නම් කිමැයි මට කියා දෙනු පිණිස එන්න යැයි නුඹට යළි අඬ ගසන්නට මට සිත්වෙයි.........
නිදිමත තරු කැට කඩා වැටේ
ඉඩ දී අඳුරට අහස් තලේ
සඳ මල මිලිනව බලා හිඳී
දකින තුරා අඩ නුවන් අපේ.......
සඟවා ළය මත
ඔබෙ වත රහසින්
කියාදෙන්න ළංවී
ප්‍රේමය නම් කිමැයි කියා............
ප්‍රේමයට මග කී පහන් තාරුකාව කළුවර රාත්‍රියේ අහස හැර ගොස්ය. ඒ විසල් කළුවර අහස යට, මතක මහකන්ද පාමුල මම තවම තනියෙන්.... එහෙත් මතක මං දිග සැරිසරද්දී තනිකමක් නොම දැනේ. මම මටම තුරුළු වී අහස හැර නොගිය එකම එක තාරුකාවක් සොයමි. එහෙත් සඳ පිටගම් ගිය දා තරුද අහස හැර ගොසිනි. මැදියම් මහා රූ නිදිබර තරු කැට නෙත් වසා සැඟවෙද්දී අහස් තලය සිසාරා අන්ධකාරයේ සේල ඉහිරෙයි. සඳත් නෑවිදින් සිටි සඳ අහස ගතු කියන්නෙත් මටමය. ප්‍රේමයේ උණුසුමින් මන්මත්ව අඩවන් වූ ආල දෑසින් අප දෙදෙන ප්‍රේමයේ සුරතාන්තය සොයා යන තෙක් සඳටත් ඇහැරවෙන්නට නොසිතුණ අරුමය.... ඉදින් ප්‍රේමය නම් කිමැයි මට කියා දෙන්න.......
ඔබ එන්න...
සීතල ජනේරුවේ දවසක මම මගේ දිනපොතේ පිටුවක් පෙරළමි.
මම මටම තුරුළු වී බලා හිඳින්නම්..... ඔබ එන්න..... අනේ ඉතින් ඔබ එන්න. ප්‍රේමවන්ත අත්තටු පසෙකින් තබා ඔබ ඔබම වී එන්න... සීතලට ගල් ගැසී තාරුකා නෙත් වසන පාළුවේ ඉසියුම්ම රිද්මයෙන් ඉකිගසන මේ රැයට ඔබ එන්න... මම ආසයි මට දැනෙන ඔය ඇස් දෙකේ පැටලිලා ජීවිතය පුරා ඇවිදින්න... මේ අහන්න... පාළුයි සීතලයි... ඒත් ලස්සනයි... රාත්‍රියක් කියන්නෙම කවියක්... මම ආසයි මට මාත් එක්කම කතා කරන්න කියාදෙන මේ කළුවරට....මේ රැයට... අනේ ඉතින් ඔබ එන්න.... වචන නැති සල්ලාපයක පැටලිලා හිතෙන දුරක් ජීවිතය පුරා ඇවිදින්න යමු අපි.... අනන්තයට යන පාර දිගේ හිතෙන පාරක හිතෙන දුරක් අපි ඇවිදිමු.... මේ අහන්න මම ආසයි වැලමිටට උඩින් උරහිසට පහළින් අත හයියෙන් අල්ලාගෙන හිතේ කිසිම දෙයක් ඉතිරි කර ගන්නෙ නැතුව ඔහේ කියවා කියවා ඇවිදින්න.... මගේ හිත කියන්නෙ කවියක් නෙවෙයි පොතක්.... මම ආසයි අකුරක් අකුරක් ගාණේ පරිච්ඡේදයක් පරිච්ඡේදයක් ගාණේ ඔබ ඒ පොත කියවනවනම්... ඒ අකුරු අතරේ නොවැරදීම නුඹට හමුවෙයි මගේ හදගැස්ම. අනේ ඉතින් නුඹ එන්න... නවතින්නම නෙවෙයි නවතින්න ඔබ එන්න.
ඇවිත්....
කියා දෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා
ඔව්...
මේ පාළු සීත රාත්‍රියේ
කියා දෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා.............
ප්‍රේමවන්ත ආත්මීය ස්වරයකින් ජීවන අල්තාරය මත ප්‍රේම යාඥාවේ ගීතිකාව ගයන්න ඉස්සර මට කියා දෙන්න ඉතින්...
ප්‍රේමය නම් කිමැයි කියා....
දන්නෙ නෑ මම ප්‍රේමයේ හෝඩියම... මම ආසයි ‘'අ' යන්නෙත් පටන්ගෙන මහප්‍රාණ අකුරට එනකම් මුළු හෝඩි පොතම නුඹ මට කියා දෙනවා නම්....
එහි පිටුවක මම එලෙසින් ලියුවෙමි.
නුඹ දන්නවාද? අඳුර හැරෙන්න, සීතල, පාළුව ඇරෙන්න ඇස ගැටෙන මානයක වෙන කිසිවක්ම නෑ. ගහක කොළයක් පවා නැටවෙන හඬත් ඇහෙන මට සුළං සරක හඬක්වත් නොඇසෙන තරමට මම ගොළුවෙලා... හමන සුළඟකින් පවා හුදෙකලා වී නිහඬවම බලා හිඳින ගහට වැලට නුඹට නොතේරුණු මගේ හිත තේරිච්ච හැටි.... නුඹට කිසිදා කියවන්න බැරි වූ මගේ හදවත සොබාදහම අපූරුවට කියවන හැටි... නුඹට නොදැනුණු හදගැස්ම, නුඹට නොපෙනුණු කඳුළ මේ කළුවර දකින හැටි...
පින්නක් වෙලා තුරු මත රැඳුණේ අඬන අහසක අංශු මාත්‍ර ශේෂය... වැස්සක් වෙනුවෙන් අහසක් ඉතිරි කළ එකම සාක්ෂිය එපමණයි... ඒ පිනි කැට ආදරයේ ස්වරයන්ගෙන් රිදුම් දෙද්දී එතැනින් ගිලිහී ආයෙත් මහ පොළොවෙම නොදන්නා තැනක හැංගෙනවා...
ගහ කොළ නිසලව බලා හිඳී
පවන් රොදක සිහිලසින් මිදී
පිනි කඳුළැලි කැට කඩා වැටේ
ඇහෙන තුරා පෙම් වදන් අපේ
සුසුමක් සුසුමට ළංකර රහසින් කියාදෙන්න ළංවී
ප්‍රේමය නම් මෙයැයි කියා....
නුඹේ සුසුමන් මගේ සුසුමට යා දෙන දුරකට එන්න ඉතින් එහෙම ඇවිත් මට කියාදෙන්න ඉතින්
ප්‍රේමය නම් මෙයැයි කියා....
(පද සංයෝජනය - ප්‍රියානන්ද විජේසුන්දර
සංනාද - සමන් කුඹුකගේ
ගැයුම - චන්ද්‍රලේඛා පෙරේරා)
I සංජු