නුඹෙ අම්මා කිරට ගියා
කිරි එරවා එන්න ගියා
කිරි මුට්ටිය ගඟේ ගියා
ගඟට උඩින් කොක්කු ගියා...
මේ කවිය අහන හැම වතාවකම මගේ හිතට දැනෙන්නේ උල් කටුවකින් ඇනලා පාරද්දී දැනෙන සියුම් රිදුමක්... මට හිතෙනවා මේ ලෝකයේ හැම දරුවෙකුටම අම්මා කෙනක්ගේ පපුවට තුරුල් වෙලා ඒ ළය මඬලේ ගැඹුරින් නැගෙන හද ගැස්මට වාරුවෙලා ළය ලෙයක් කිරට හරවන සෙනෙහසට සාක්ෂි දරන පියයුරු තුඩු අග දැවටෙන්න, විඳින්න ඉඩ හසරක් නෑ... නේද කියලා. එකම එක කිරි බිඳුවක්වත් තොල නොගාන දරුවෝ මේ ලෝකේ හුඟක් ඉන්නවා. අද වගේම හෙටත් ඉඳියි.... මරණය වෙන් කළත්, වෙන අත්හැර දැමීමක් වෙන් කළත් අම්මා නැති තැන හිස් තැන හිස් තැනමයි...
ඇස ගැටුණ එක වීඩියෝ පටයක කිරි සප්පයෙක් එයාගේ අම්මාගේ තන පුඩුවට කට තියලා කිරි බිඳුවක් දෙකක් බීලා ආයෙ කට අහකට අරගෙන අර කටේ පිරුණු කිරි ටික එක්ක බනිස් ගෙඩියක් කනවා පුංචි කෑල්ලෙන් කෑල්ල...
අම්මා පොවපු මව්කිරි කියන්නේ එක එක සන්නාමවලින් වෙළඳපොළේ විකිණෙන කිරි වගේ කිරලා බලලා කලවම් කරලා හදපු කිරක් නෙවෙයි... සොබාදහම විසින් මාතෘත්වයේ සිතුවිලි වලින් ලෙය ළයෙන් පෙරා කළ උත්තරීතරම පරිවර්තනයක්... ලෙයක් කිරකට හැරුණාට කිරක් ආයේ ලෙයකට හරවන්න බෑ... ඒ ඇයි දන්නවද? ලේ කිරි වෙද්දී ඒ කිරට සදාතනික ස්නේහයක මහිමයකුත් සම්මිශ්‍රණය වෙන හින්දා...
දරුවෙක් නැලවෙන සුවදායකම තොටිල්ල අම්මාගේ පියයුරු අතරෙහි දැවැටී දරුවෙක් විඳින අමා සුවයේ තොටිල්ලයි...
මව්කිරි රස එක්ක බනිස් කෑල්ලක රස විඳින ඒ කිරි සප්පයාගේ මූණේ සතුට සෑම දරුවෙක්ගේම මුහුණු මත දකින්න තිබුණා නම්... ඒත් හැම පුංචි එකෙකුටම අම්මෙක් නෑ. කුස දරන්න... බිහි කරන්න අම්මා කෙනෙක් හිටියට ආදරය කරන්න රැකවරණයෙන් සතපන්න අම්මා කෙනෙක් නෑ... එහෙම පැටවු මට මගේ ජීවිතයේ හමු වී තිබෙනවා...
දරුවෙක්ගේ හදවත මේ ලෝකයේ වෙන මොන යස ඉසුරක් තිබුණත් හදවතට දැනෙන ආදරයක් වෙනුවෙන් කොච්චර කෑගහලා අඬනවද කියන එක මට වැඩියෙන්ම දැනුණේ Ayla – The Daughter of War චිත්‍රපටය බලද්දී... ආදරය ඉදිරියේ දරුවෙකුට දැනෙන සුරක්ෂිත හැඟීම දරුවෙකු වෙත පුද කරන්න මේ ලෝකයේ වෙන කිසිම දේකට බෑ... අඬ අඬා ඒ පුංචි හිත් ආදරයම අයදින්නේ ඒකයි...
ජිවිතයේ රිදුණු තැන් නැති කෙනෙක් නැති තරම්... ජීවිතයේ මේ ගිරිදුර්ගය අපි නගින්නෙම ඒ රිදුණු තැන් දරාගෙන... ඒ රිදෙන තැන් පිරිමදිමින් සුවපත් කරන්න පුළුවන් කාලයට සහ ආදරයට විතරයි...
කාලය නියතයක්.... එය හමුවණු නියතයි.... මගහැර යා නොහැකියි....
ඒත් ආදරය...
ආදරය හමුවෙන්නත් පුළුවන් හමු නොවෙන්නත් පුළුවන්....
I සංජු