2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

පොතක් කියන්නෙම ලෝකයක්...

2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:0058

යාළුවෙක් කතා කළා යමු book fair කියලා... (පොත් ගන්න නම් අමාරුයි. පොත් වැස්සෙ තෙමෙන්න යමු. පොත් දැක්කත් හිතට හරි සනීපයි....) එයා whatsapp පණිවිඩයක් එවලා තිබුණේ එහෙම...

පොත්.... ඒ තරම් ආදරණීය මිත්‍රයෙක් මට ජීවිතයේ මෙතෙක් හමුවී නැහැ... පුංචි කාලෙ ඉඳන්ම ජීවිතයේ ළඟින්ම හිටියේ කවුද කියලා ඇහුවොත් මට දෙන්න තියෙන එකම උත්තරයත් පොත්... පොතකට තරම් මගේ හිතට ළංවෙන්නෙ ඇත්තටම කවදාවත් කාටවත් බැරිවුණා. පුංචි කාලෙ තනිවෙච්ච ගෑනු ළමයෙක් හිටියා... ඔව්, හුඟාක්ම තනි වෙච්ච ගෑනු ළමයෙක්.. ඒ ගෑනු ළමයාගේ ලෝකයම පිරිලා තිබුණේ පොත් වලින්. ඒ දවස්වල.... උස සුදු හීන්දෑරි කැරලි ගැහිච්ච කොණ්ඩයක් තිබුණ ඒ ගෑනු ළමයා හුඟාක් නිශ්ශබ්දයි... එයා හිනාවුණේ කලාතුරකින්... එයා හුඟාක් වෙලාවට ගසක් යට බිම වාඩිවෙලා පොතක් කියවනවා... වාසනාවකට එයාගේ නවාතැන් කිහිපයකම එයාට කියවන්න පොත් හුඟාක් තිබුණා.... එයා කවදාවත් සෙල්ලම් කළේ නෑ.... එයාට කවදාවත් සෙල්ලම් කරන්න බෝනික්කන් අරගෙන දෙන්න කවුරුත් හිටියෙත් නෑ... සෙල්ලම් කරන්න යාළුවො හිටියෙත් නෑ... එයා ආසා දෙයක් කන්න, අලුත් ඇඳුමක් අඳින්න එයාට කවදාවත් ලැබුණේ නෑ.. ඇත්තටම කීවොත් ඒ ගෑනු ළමයා කුණු මාළු කෑල්ලක් වගේ එහෙට මෙහෙට විසික් වුණා... එයාට එයාගෙම කියන්න නවාතැනක් කවදාවත් හමුවුණේ නෑ... වෙනස්කම්, රිදවුම්, ඇඟ නිල්වෙන්න දුන්න පහරවල්, බැණුම්, අවමන් මේ ඔක්කොම අතරෙ ගෙවෙන ජීවිතයේදී ආදරය කියන්නෙ මොකක්ද කියලා ඒ ගෑනු ළමයා ඉගෙන ගත්තෙ පොත්වලින් හමුවෙච්ච සුන්දර මිනිස්සුන්ගෙන්... පොත් පිටු අස්සෙ මුණගැසුණු ඒ හැම කෙනෙක්ටම එයාගෙ ලෝකය ඇතුළේ ලොකු ඉඩක් තිබුණා... ආදරය, මනුස්සකම, සිනහව, සතුට, ඉවසීම, ජීවිතය, දරාගැනීම මේ හැමදේම ඒ ගෑනු ළමයා ඉගෙන ගත්තෙ පොත්වලින්... අම්මා තාත්තා කාත් කවුරුත් ළඟින් නොහිටියට ඒ ගෑනු ළමයා ලෝකයට ලස්සනට ආදරය කරන්න, ඉවසීමෙන් ජීවිතයේ හැම රිදුමක්ම දරාගන්න ඉගෙන ගත්තා...

එහෙම කියා දුන්නු ආදරණීය ගුරුවරයා තමයි පොත්...

ඇත්තටම පොතක් කියන්නෙ පුදසුනක්... මට හිතෙන්නේ පොතක් උගන්වන දේවල් උගන්වන්න පුළුවන් ආදරණීය ගුරුවරයෙක්ට විතරයි... පොතක් තරමටම ජීවිතයත් ලෝකයත් කියාදෙන ආදරණීය ගුරුවරු දෙන්නෙක් ඒ ගෑනු ළමයාටත් මුණගැහුණා... ඒත් එහෙම මුණගැහෙද්දී තනිකම ලස්සනට දරාගෙන ඒ ගෑනු ළමයා එයාගෙ ජීවිතයේ හමු වූ සුන්දරම මිත්‍රයන්ගෙන් ආදරයත් ලෝකයත් ගැන හුඟාක් දේවල් ඉගෙන ගෙන අවසානයි. ඒ ගෑනු ළමයා අදටත් ජීවිතයේ හැමදේකටම වඩා පොතකට ආදරෙයි...
හැබෑ ලෝකයේදී එයාට ජීවිතය කියලා දෙන්න අම්මා තාත්තා නෑදෑයො කාත් කවුරුත් ළඟ නොහිටියට එයාට ආදරෙන් ජීවිතය කියලාදෙන්න හුඟාක් අම්මලා තාත්තලා යාළුවො නෑදෑයො එයාට පොත් පිටු අතරෙදි හම්බවුණා.

ඔයා ආසම මොනවටද......
කවුරු ඇහුවත් එයාට හැමදාම දෙන්න තිබුණේ එකම උත්තරයක්.
රුසියානු පොත්වලටයි
ඊළඟට අනික් පොත්වලටයි
බෝනික්කන්ටයි...