අහස සිඹින මහා ගසක් නුඹ..... ඒ ගස පාමුලෙහි ළපලු දළුලන පැලයක් මම.. මට හෙවණයි නුඹ පය පාමුල...... මහ පොළොවෙහි ගැඹුරටම මුල් විහිදුණු නුඹ ගාව මම සුළඟටත් ඔහේ නැටවෙන පැලයක්...... මට පුදුමයි මගේ ගස නුඹ ගැන...... මට කියාදෙන්න කොහොමද ඔය තරම් බෝධි සත්ත්ව පාරමිතාවක් පුරන්නෙ නුඹ .... මල්, පල, සෙවණ, සුන්දරත්වය, සිහිල හැමදේම දන් දෙන හැටි....... නොඉල්ලමින් යළි කිසිවක්ම...... නුඹේ අතු අග ඉපදුණු පළවැනි මලටත් කවදාහරි පිපෙන අවසාන මලටත් නොවෙනස් එකම හිතකින් ආදරය කරන්න කවුද ඔය හිතට ඉගැන්නුවෙ ඔය තරමටම ඔහොම...... නුඹේ අතු අගිස්සෙන් ගිලිහෙන මලක් මගේ ළපලු පපුතුරක රුඳෙද්දී මට හිතෙනවා මෙහෙම.
මලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
නුඹ අයිති මට නෙවෙයි මේ මහා පොළොවට.... නුඹ අයිති මට නෙවෙයි මේ ලෝකයටම..... ඒත් නුඹ පය පාමුල රැඳුණු මට මල් හලමින් නුඹ දෙන සුවඳක්..... මගේ හදවතේ කාන්තාරය මත පිපුණු එකම එක කුසුම නුඹ..... ජීවිතයම සුවඳ ගන්වන කුසුම නුඹ.... ඉතින් නුඹ මගේ. මගේම නොවුණු අයිතියක් තුළ නුඹ මගේ...... ඉතින් මගේ වුණත් මගේම නොවුණම සිපගන්න තහනම් හදවතින් මිසක් ජීවිතයෙන්.... සිපගන්න හිතුණත් නිය තුඩු අගින් හිස පිරිමදිමින් ඔය නළලත මට
එනමුදු සිප ගන්නට තහනම්......
නුඹ වරෙක මට මහා දියවරක්.... ආත්මීය සරතැස නිවාලන ජීවිතය ඉල්ලන සිහිලත්වයේ නවාතැන නුඹයි..... මගේ ගිම් නුඹ නිවන හැටි..... ජීවිතයේ දැවුණු හැම අස්සක් මුල්ලකටම සිහිල ඉසිමින්...... ඒත් නුඹ මගේ වුණත් මගේම නොවුණු නිසා.
දිය දෝතක් බොන්නට තහනම්.....
මගේ ජීවිතයේ නමක් නැති තැනක නැවතිලා නුඹ මට ජීවිතය කියා දෙන හැටි. ජීවිතයේ අක්ෂර මාලාවම මට කියාදුන් මගේ ජීවනයේ ඇඳුරිඳු නුඹ... එතරම්ම සුපෙම්බර වී ජීවිතය කියා දෙන්නෙ කොහොමද නුඹ...
අඳුරෙහි යන මගේ ගමන් මඟ වෙනස් කරමින් යා යුතු මග මට කියාදුන් ජීවිතයේ පහන් තරුව නුඹ.... ඔව් සුපෙම්බර වී ජීවිතය කියා දුන් මගේ සිකුරු තාරුකාව නුඹ.. මට පුළුවන් නුඹ ඈතක හිඳ දල්වාලූ එළියෙන් මං ලකුණු හොයාගෙන ජීවිතයේ මේ රුදු දුර ගමන ඇවිදින්න.
ඒත් නුඹ මගේ වුණත් මගේම නොවුණු නිසා...
පහන් තාරුකාවක් සේ
ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙළෙසින්
ප්‍රේමයේ නමින් හදවතේ පහන් දල්වන්න ආසයි මම... නුඹේ ආත්මීය සෙනහස මත පහන් දල්වාගෙන දෑත නළලතට අරන් නුඹ දෙපා නමස්කාරකව සිපගන්න ආසයි මම....
දෙවියන් වෙනුවෙන් ගයන සහන් ගීතිකාවක් වගෙයි නුඹේ ප්‍රේමණීය සංධ්වනිය මට ... මොනතරම් සොඳුරු ගීතිකාවක්ද නුඹ මට ජීවිතයට සොඳුරු පෙරවදනක් එක් කරන....
මේ අහන්න
නමක් නැති බැඳීම් හරි ලස්සනයි.... සියලු චමත්කාරයන් නමක් නැති බැඳීමක් ඇතුළේ ලස්සනට මුහුවෙලා... චමත්කාරය නිමැවෙන්නේ සියලු සෞන්දර්යන්ගේ හරය එක් වූ තැන... නුඹේ සිනහව, නුඹේ කටහඬ, නුඹේ ඇස් අග දිලෙන හැඟුම්බර බැල්ම, නුඹේ ඉසියුම් ඉවසිලිවන්ත ආදරය මේ සියල්ල තුළ මම විඳින්නෙත් ඒ චමත්කාරය.
ඉතින් ජීවිතයම ලස්සන වන්දනාවක්
නුඹ හිඳීනම් පෙනෙන නොපෙනෙන දුරකින් හැමදාම
ඒත් ජීවිතයේ අනේක ගිම් නිවන ඒ සොඳුරු ගීතිකාවේ සොඳුරු වදන් මම කොහොම මුමුණන්නද
නුඹ මගේ වුණත් මගේම නොවුණු නිසා
සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුනණු කෙළෙසින්........
(පද : සමන් අතාවුදහෙට්ටි
නාද සංයෝජනය: කළණි පෙරේරා
ගායනය : අමරසිරි පීරිස්)
I සංජු