2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

මිලියන ගණන් හදවත්වලට ගයන සඳරු...

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:00 74

කවුරුහරි කරන දෙයක් අමුතුයි කියලා කියන්න පුළුවන් ඒ දිහා බලන් ඉන්න කෙනෙක්ට. අපි ලෝකය දිහා බලන් ඉන්නකොට එහෙම අමුතු වැඩකරන අමුතු චරිත අපිට සෑහෙන්න මුණගැහෙනවා. සැබැවින්ම ඔවුන් කරන කියන දේවල්වල තියෙන වෙනස්කම නිසා තමයි අපි ඒ අයව අමු‍තු චරිත විදිහට හඳුන්වන්නේ. අමුතු වැඩ අතරේ අපූර්වතම සෞන්දර්ය හොයාගෙන යන එක තමයි මේ විශේෂාංගයෙන් අපි කරන්න. මේ ඉන්නේ අපිට අමුතුයි කියලා හිතුණ චරිතයක්.

සඳරු සත්සර. ඇත්තටම ඔහු ගැන නොදන්න කෙනෙක් නෑ. එහෙම වෙන්න හේතුව ඔහු කරන මේ අමුතු අපූරු නිර්මාණශීලී කටයුත්ත. සඳරු සත්සර කියන්නෙ යූ ටියුබ් සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක්. ලංකාවේ වගේම ඉන්දියානු රසික පිරිසකුත් ඔහුට ඉන්නවා. එකට හේතුව ඔහු කරන මේ අමුතු වැඩේ.

සඳරු ලෝකයේ අතිශය ජනප්‍රිය ඉංග්‍රීසි ගීත දකුණු ඉන්දියානු ආභාෂය  සහිත භාෂා ඌරුවකින් ගායනා කරනවා. ඒ සඳහා සංගීතය නිර්මාණය කර ගන්නෙත් ඔහුමයි. සුපුරුදු බටහිර සංගීතය වෙනුවට පෙරදිග සංගීතය තමා සඳරු මේ වැඩේට භාවිත කරන්නේ. ඒ නිසා මේ ගීතවලින් වෙනස්ම රසයක් ජනිත වෙනවා. කොහොම වුණත් ඔහු මේ ගී ප්‍රතිනිර්මාණ හඳුන්වන්නේ Sri Lankan Versions විදිහට.

මෑතකාලීනව අවස්ථා කිහිපයකදීම සඳරු සත්සර ජාත්‍යන්තර අවධානය දිනාගන්න සමත් වුණා. පහුගිය දවසක සඳරු අපි හැමෝම අතර අතිශය ජනප්‍රිය Unstoppable ගීතය ඔහුගෙම ශෛලියකින් ගායනා කළා. ඇත්තටම මේ ගීතය මුලින්ම ගායනා කළේ ලෝක ප්‍රසිද්ධ ඔස්ට්‍රේලියානු ජාතික ගායිකාවක් වන සියා ෆර්ලර් ( Sia Kate Isobelle Furler ) විසින්. සියා කියන්නේ වර්තමාන බටහිර සංගීත ලෝකය දැවැන්ත තාරකාවියක්.

යූ ටියුබ් මාධ්‍යයට සඳරු මේ ගීතයේ මුදාහැරීමත් එක්කම ඒක Sia ගේ අවධානයට මේ නිර්මාණය වෙත යොමුවෙලා තිබුණා. ඇය කොච්චර සඳරුගෙ ගීතයට කැමති වෙලා තිබුණද කියනවා නම්, මිලියන 4.8 Followers ලා ඉන්න ඇගේ TikTok ගිණුම හරහා සඳරුගේ ගී ප්‍රති නිර්මාණයේ කොටසක් මුදාහැරලා තිබ්බා. ඇය ඊට ආදරය කරන බවත් කියලා තිබුණා.

ඒ Tiktok වීඩියෝව මිලියන 15 කට අධික ඇගේ රසිකයන් පිරිසක් නරඹලා තිබුණා. මෑතකාලීනව ඇගේ ටික්ටොක් ගිණුමේ මේ වීඩියෝ කොටස තමයි විශාලම අවධානයක් ලැබිලා තිබුණේ. ඒ ගී රසික රසිකාවියන් ඉතාමත් ධනාත්මක ප්‍රතිචාර තමයි සඳරුගේ නිර්මාණය පිළිබඳව පලකරලා තිබුණෙ. ඊට අමතරව Bharathi bgm කියමන ප්‍රකට ඉන්දියානු ටික්ටොක් ගිණුමේ පළකරලා සඳරුගේ ගීතයේ කොටසක් මිලියන 37 කට නැරඹුම් වාර සටහන් වෙලා තිබුණා.

ඇත්තටම මේ සඳරු සත්සර ජාත්‍යන්තර අවධානයට ලක්වුණු පළමු අවස්ථාව නෙවෙයි. මීට ඉහත අවස්ථා කිහිපයකදීම ඔහු මේ වගේ අවධානයක් දිනාගත්තා. මුලින්ම Love me like you do ගීතය හරහා තමා යූටියුබයේ සීමා මායිම් කඩාගෙන ඔහු ජාත්‍යන්තරයට රුගෙන ගියේ. ඊටපස්සේ Dance monkey ගීතයේ ප්‍රතිනිර්මාණයත් ජනප්‍රිය වුණා. සියල්ල සිද්ධ වුණේ වසරක් වගේ කෙටි කාලයක් ඇතුළත.

නමුත් කාලාන්තරයක් පුරාවට මේ තරුණයාගේ අභ්‍යන්තරය තිබුණ හැකියාව තමා මෙම පුපුරා ගියේ. අලුත් දේවල් කිරීමට ඔහු සතුවූ උවමනාවෙන් සහ වාසනාවේ සංකල්පයක් විදියට තමයි සඳරු සත්සර අපි කවුරුත් ආදරය කරන චරිතයක් බවට පත්වෙලා ඉන්නෙ. ඇත්තටම ඔහුගේ පෙනුම සහ විලාසිතාවත් අමුතු අපූර්වත්වයක් තමයි රසික හදවත් තුළ ඇති කරන්නෙ. ඇත්තටම සඳරු අනන්‍යතාවක් ගොඩනගා ගෙන තියෙනවා.

ඔහු කරපු Its my life ගීතයේ Sri Lankan version එක යූටියුබ් ඇතුළෙ විතරක් මිලියන 45ක් නැරඹුම් වාර වලට හිමිකම් කියනවා. ඇත්තම කිව්වොත් ඔහු මේ ගීතය හරහා ලෝකය හෙල්ලුවා කිව්වොත් හරි. මේ හරහා ශ්‍රී ලංකාවේ යූටියුබ් මාධ්‍ය තුළ පළමුවරට සීමා මායිම් බිඳගෙන වෙනත් රසික සමාජයක් කරා ඔහු සමත් වුණා.

සඳරු මේ කරන දේ එක්ක ගොඩක් ඉන්දියානුවන් ඔහු ඉන්දියානුවෙක් කියලා තවමත් හිතාගෙන ඉන්නවා. ඔහු ශ්‍රී ලාංකීකයෙක් කියලත් පිළිගන්නත් සමහරු අකමැති තරම්. කොහොම වුණත් සඳරු සත්සර කියලා කියන්නේ ඇත්තටම පෙරදිග සංගීතය පිළිබඳ හොඳ අවබෝධයකින් අධ්‍යයනයකින් යුතුව මේ අමුතු වැඩේට අත ගහපු කෙනෙක්. අපි එහෙම කියන්නේ ඔහු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සංගීත පීඨයේ විද්‍යාර්ථියෙක් නිසා.

සඳරු කළුතර පයාගල ප්‍රදේශයේ පදිංචි පොතුවිල නවෝද්‍යා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිසුවෙක්. තමන්ගේ සමාජ මාධ්‍ය අවකාශ හරහා සංගීතය තුළින් අපූරු වෙනස් යමක් කිරීමට ඔහු කලක පටන් උත්සාහ කරමින් සිටියා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමා පසුගිය වසරේදී ඔහුගෙ ජීවිතයේ මේ පෙරළිය සිද්ධවුණේ. ඇත්තටම ඒ සඳහා ඔහුගේ නිර්මාණශීලී චින්තනය හේතුවුණ බව විශ්වාසයෙන් සඳහන් කරන්න පුළුවන්.

අද වෙනකොට සඳරුගේ YouTube නාලිකාවේ subscribers ලා මිලයන 1.3ක් ඉන්නවා. මේක අතිශය දැවැන්ත අගයක්. වැදගත්ම දේ තමා ඔහු තවදුරටත් වර්ධනය වෙමින් සිටීම. මහා විශාල වෙළඳ වාණිජමය වටපිටාවක් නැතුව සඳරු සත්සර පැමිණි ගමන ඇත්තටම වික්‍රමාන්විතයි. ඔහු සතු කරගෙන ඇත්තේ සත්‍ය රසික ආදරය.

ශ්‍රී ලාංකිකයන් විතරක් නෙවෙයි ඉන්දීය උප මහද්වීපයට අයත් රටවල වගේම ඉන්දුනීසියා වගේ රටවලත් විශාල රසික සමාජයක් අපේ සඳරු සත්සර වටේ එකතු වෙලා ඉන්න එක. හෙට අනිද්දට ලෝකෙ දැවැන්ත සංගීත තරු අතරටම ගිහිල්ලා සඳරු ලොකු වැඩක් කරොත් අපි පුදුම වෙන්න නෑ. ඇත්තට ඔහුට ඒ හැකියාව උරුමයි. අනික් කාරණය ඔහු තමා පටන් ගත්ත ගමන්. මේ නිර්මාණශීලී අපූරු අමුතු තරුණයාට ලොකු ගමනක් තියෙනවා.

I නිසල්