සිරගෙයක් උද්‍යානයක් වීම කොතරම් අපූරු අත්දැකීමක්ද? ලොව පුරා විවිධ තැන්වලින් එවන් අත්දැකීම් පිළිබඳ තොරතුරු අපි අහලා තියනවා. කොහොම නමුත් ඔන්න දැන් අපේ රටේම සිර ගෙයක් අපූරු උද්‍යානයක්, ගිමන් නිවාලන නවාතැන්පොළක්, රස මසවුළු සපිරි අවනහලක් බවට පත්වෙනවා. මේ කතාව බෝගම්බර සිපිරි ගෙදර පිළිබඳ.
Prison Park Bogammbara නමින් එළි දකින මේ අපූරු ස්ථානය තියෙන්නෙ ඉතිහාසය පුරාවට අපි අසා තිබෙන බෝගම්බර සිපිරි ගෙදරම. 2013 වර්ෂයේදී වසර 138කට පසු බෝගම්බර සිරකරුවන් අභිනවයෙන් ඉදිකෙරුණු පල්ලේකැලේ පිහිටි එළිමහන් සහ අභ්‍යන්තර බන්ධනාගාර වෙත රැගෙන ගියා. මේ සොඳුරු නවාතැන ඉදිවීම ආරම්භ වුණේ එහෙම තමා.
මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයද ඇතිව මහනුවර නගරයේ සංස්කෘතික ආකර්ෂණයට හානියක් නොවන අයුරින් නිර්මාණය වුණු මේ අපූරු නවාතැන දෙස් විදෙස් සංචාරක ව්‍යාපාරයටද විශාල ශක්තියක්.
ඇත්තටම මේක ආරම්භයක් විතරයි. නිදහස් සිරකරුවන්ගේ කඳුළු රුධිරය ගලා ගියපු මේ භූමිය අනාගතයේ ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය ගොඩක් වැඩියෙන්ම දිනාගන්න ස්ථානයක් බවට පත්වේවි. ජාත්‍යන්තර තොරතුරු මධ්‍යස්ථානයක්, මහජන උද්‍යානයක් සහ උඩරටට අවේනික සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම සඳහා එළිමහන් වේදිකාවක් වගේ දෙවල් මෙහි නිර්මාණය වෙනවා.
මේ වනවිටත් ආපනශාලාව මහනුවර යන එන අය වෙනුවෙනුත් විවෘතයි. ඊට අමතරව උද්‍යානයේ දැනට විවෘත කරලා කියන කොටසේ විවිධ 'Events' ක්‍රියාත්මක වෙනවා සිකුරාදා දිනවල සහ සති අන්තයේදී. විශේෂයෙන්ම ක්‍රිකට් තරග තියෙන දවස්වලට පුළුල් තිරයක තරඟ ප්‍රදර්ශනය කෙරෙනවා. ඊට අමතරව මේ දවස්වල සැලසුම් වෙනවා සිකුරාදා දිනවල Food Track ගෙනැල්ලා උද්‍යානය තවත් රසවත් කරන්න.
ආපනශාලාව කටයුතු ආරම්භ වෙලා මාස කිහිපයක් පමණ වෙනවා කියලා තමයි කරපු විමසීමකදී ඔවුන් අපිට පැවසුවේ. දැනට උදේ 6යේ ඉඳන් රාත්‍රියේ 12 වෙනකම් ආපනශාලාව විවෘතයි. ඒ වගේම ඔක්තෝබර් මාසේ 28 සහ 29 දිනවල දැවැන්ත ආහාර සැණකෙළියක් බෝගම්බර සංස්කෘතික උද්‍යානයේ පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා.
අපිට මතකයි කාලයක් මහනුවර නගරයේ වැදගත්ම ඉඩකඩක සිරගෙයක් පිහිටා තිබීම කොතරම් යෝග්‍යයද යන්න බොහෝ පිරිසක් කතාබහට කළා. ඉතින් ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා. හෙට අනිද්දාට තවත් වෙනස් වෙයි. මීට පස්සේ මහනුවර යනවා නම් බෝගම්බර යන්න අමතක කරන්න එපා.
I නිසල්