2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින් - හදවත නැති මිනිසා ඔබ නෙත කඳුළැලි ගෙනාව...

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 178

සංසාර මල් නටුවෙ
කටු අතර ඉඩකඩක්
දැක ඇවිත් නතර වුණ

ආදරය හිරිකඩක් (මහින්ද ප්‍රසාද් මස්ඉඹුල)

මම ආසයි ඒ කවියට... ඒත් ඊටත් වඩා ආසයි මම සංසාර මල් නටුව උඩ පිපෙන ආදරය කියන සංසාර කුසුම ස්නේහයෙන් මුර කරන නටුව මත කටුවක් වෙලා නුඹ රැඳේ නම් ජීවිතයේ පාර දිග...

දැනෙන තැන ආදරය කොයිතරම් නම් සොඳුරුද හිතවත.... නොදැනෙන තැන ආදරය කොයිතරම් නම් රුදුරුද හිතවත... ඔබට ගයන්නට මට හිතෙනවා ඉතින් ආදරයේ සංසාර යාඥාවම සිත නිවන පිරිත් ස්වරයකින්.... එහෙත් කුමටද?

මම දන්නවා...

හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුළැලි ගෙනාව....

හදවතට හදවතක් මුණගැසෙන තැන මම දකින්නේ ප්‍රේමයේ චමත්කාරය... නොවැසි වැසි අවැසි තැන, ප්‍රේමයක් දැනෙන සඳ නවතින්න හිතුණා මට.. මම ආසයි ඇවිදින්න ඔය දුඹුරු පාට ඇස් අස්සෙන් වැක්කෙරෙන ආදරයේ පාරවල් දිගේ අනන්තයේ ක්ෂේම භූමියට... ළපලු නැලවෙන, මල්ද සුපිපෙන, ගස්ද දලුලන, සුළං දැවටෙන, අහස ගුගුරන, අකුණු පුපුරන, තරුත් ඇහැරෙන, සඳත් පැමිණෙන ඒ ක්ෂේම භූමියට මම හරි ආදරෙයි.... නුඹ දන්නවද දියවරක් කළතන්න පුළුවන්... මහා සාගරයක් කළඹන්න පුළුවන්.... එහෙත් උල්පතක් කළතන්න බැහැ.... නුඹ දන්නවාද උල්පතක් කළඹන්න බෑ... මගේ ආදරය උල්පතක්. රිදුම් පිරිමැද සුසුම් ස්වර මැද සුපෙම්බර ලෙස දිය බුබුළු දලුලන මගේ ආදරය උල්පතක්... සංසාරෙවත් නොසිඳෙන උල්පතක්.. එහෙත් ඒ ගැන කියා කුමකටද තවත් නම් මම.

මම දන්නවා

හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුළැලි ගෙනාව...

විශ්වාස කරන්න... මම ප්‍රාර්ථනා කළේ ජීවිතයට හුස්මක්... මගෙ හුස්මට තව හුස්මක්... එහෙත් නුඹ හිස්තැනක් දැක නතර වුණ හිරිකඩක්... ඉක්මනින් වියැලෙන... නොකියාම සිඳී යන හිරිකඩක්...

ඉතින් නොවැසි වැසි අවැසි මට
අවැසි වැසි නොවැසි සඳ...
නොඉල්ලමි කිසිවක්ම
ප්‍රේමයම හැරෙන්නට....!
එහෙත් ඒ වගක් කියනු කෙළෙසද මම.....

හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුළැලි ගෙනාව...

ආදරය කියන්නෙ එක දෙයක්
ප්‍රේමය කියන්නෙ තව දෙයක්

ආදරය දී, කිසිවක්ම ඉතිරි කර නොගෙන හදවත සන්තක සියලු වත්කම්ද සමඟින් නුඹේ ජීවිතයට සොඳුරුතම පෙරවදනක් ලියනු පිණිස නුඹෙන් මම ලදිමි ප්‍රේමයක්!

ඔව් නුඹෙන් මම ලදිමි ප්‍රේමයක් !
කාට කියන්නද ඔබටම හැර

අකුරෙන් අකුර... හදවතේ රිදෙන රිදවුණු තැන් ගැන

ඉතින් නවතින්න
නැවතිලා අහන්න
ඉන් පස්සෙ සමුගන්න....

යළි කිසිදා හමුනොවෙන ලෙස ඉනික්බිති සමුගන්න

මම කියන්නෙ මම
නුඹ කියන්නෙ නුඹ.....

අපිට අපි වෙන්න පුළුවන් තැනදි අපි අපි වෙමු... එකට හුස්මක් ගන්න පුළුවන් හැම තැනකදීම අපි එකට හුස්මක් ගමු...

සිරුරෙන් නෙවෙයි ආත්මයෙන්ම අපි එකට හුස්මක් ගමු...

මට කෙඳිරි ගෑවෙනකම්... මගේ නිය තුඩු පවා හිරි වැටෙනකම්.... ඔය පිරිමි පපුවේ හිස හංඟාගෙන මම මෝක්ෂය ලබනකම්..... වාවාගන්න බැරි තැනකදී ඔය පපුව මම නොරිදෙන්න හපනකම් අපි එකට හුස්මක් ගමු... මරණීය රමණීය රමණයක දැහැන්ගත වී අපි ප්‍රේමණීය සුරතාන්තයක ඔහේ පාවෙමු....

ප්‍රේමයම විතරක් ඇති තැනක ඔහේ නවතිමු

ප්‍රියයාණෙනි.... ඉතින් ඔබම හැර තවත් නම් ඉසුරු කුමටද මට....... එහෙත් නුඹ......

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කළා නටුවෙන්....

ඔව් නුඹ නොකියාම මගේ ජීවිතයම මගෙන් උදුරාගෙන....

කවිකාර හිත තලාපෙලා රිදවා නුඹ මගේ ලෝකයම නුඹේ සිතුවිලි පවුරින් වටකරලා..... ඇණ ගහලා මට මාව මඟ හැරෙන රාමුවක නුඹ මාව සිරකාරියක් කරලා.... මම තාම හොයනවා මාවම...

ඇයි නුඹ නොදන්නෙ නුඹ කියන්නෙ නුඹ

මම කියන්නෙ මම

අපි ආදරය කරමු..... එතන ඉඳගෙන....

නොඉඳුල් තොල් පෙති අතරින්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුළැලි ගෙනාව...

මම ආසයි සිනාසෙන්න... කඳුළු පිසදා නුඹේ උණුසුම් උරහිසට වාරුවෙලා සිනාසෙන්න ආසයි මම... ජීවිතයේ ගිම් නිවන්න නුඹේ යස උරහිස මත වාරුවෙන්න ආසයි මම...

නුඹ මගේ ප්‍රථම ප්‍රේමයයි!

ප්‍රථම ප්‍රේමය යනු හදවතට දැනෙන ප්‍රේමයයි

සියක් දහසක් රිදුම් මැද ඉඳින් නුඹ මගේ ප්‍රථම ප්‍රේමයයි...

සියලු ආධ්‍යාත්මික වත්කම් ඉඳින් නුඹ නමින් දෝර ගලා ගිය මගේ ප්‍රේමයේ උල්පත තුළ දැවටී වෙළී තිබූ හැටියක්

නුඹ නොදුටුවත්

නුඹ හැඳින නොගත්තත්....

ඒ මගේ ප්‍රථම ප්‍රේමයයි!
නුඹ මගේ ප්‍රථම ප්‍රේමයයි!

එහෙත් නුඹ ට පවසනු කුමකටද මම ඒ වගක්

හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුළැලි ගෙනාව...

අවසන මට ඔබෙන් අසන්නට ඉතුරු වුණේම මෙන්න මෙච්චරයි

කෝ මගේ පියාපත්.... කෝ මට මගේ ලෝකයට ආයෙමත් ඉගිල්ලෙන්න පියාපත්.... ලේ ගලන තුරු කොනිති ගසමින් පාරන ලද මගේ ආත්මයේ පියාපත් ආයෙමත් දෙන්න මට නුඹේ ලෝකය පියමං කර මගේ ලෝකයට නැවත ඉගිල්ලෙන්න....

මට ඕනෑ මම වෙන්න...

වේදනා මහ පවුර අස තවත් හඬනු කුමකටද මම....

නුඹට නොදැනෙන කඳුළක සීතලත් අරගෙන ඉතින් යන්නම යන්න අවසරයි මට

එක්ටැම් ගෙයි සිරගත කර
සමනලියක අනාථ
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව

අපිට අපි මඟහැරුණු
අපිට අපි අහිමි වුණු
අපිට අපි හමුනොවුණු
ප්‍රේමයේ නවාතැනින් ඉතින් අපි වෙන්ව යමු...
නුඹට කියන්නට තවත් කිසිවක්ම ඉතිරි වී නොහේ මා ළඟ

මේ හැරෙන්නට

හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුළැලි ගෙනාව....

(පද සංයෝජනය :  මහාචාර්ය සුනිල් ආරියරත්න
ස්වර සංයෝජනය :  ආචාර්ය රෝහණ වීරසිංහ
ගැයුම :  නන්දා මාලිනී)

I සංජු