2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

ඇත්තම නෙවෙයි ඒත් ඇත්තම තමයි! ඒ මොකක්ද ඒ...

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 48

ඔන්න මචං තාක්ෂණික ලෝකෙ මේ කාලේ හැමෝම අතර අතිශය ජනප්‍රිය සීන් එකක් ගැන තමා අද Y Trend එක අරගෙන ආවේ. Virtual reality (වර්චුවල් රියැලිටි) එහෙම කිව්වාම මේ කාලේ නොදන්න කෙනෙන් නෑ. VR තාක්ෂණය පිළිබඳ අත්දැකීමක් ලබලා තිබ්බත් ලබලා නැතිවුණත් ගොඩක් දෙනෙක් මේ සීන්කෝන් එක ගැන දන්නවා.

මේ සීන් එක ගැන කතා කරද්දී අමාරුම වැඩේ තමයි VR තාක්ෂණය කියලා කියන්නේ මොකක්ද කියන එක සුදාලට සරලව පැහැදිලි කිරීම. ඒක අපි මෙහෙම කියන්නම්, ඔයා දැන් ඉන්න තැන ඔයාගේ යථාර්ථය. ඉතින් ඔයාට ඇහෙන පෙනෙන දැනෙන සංවේදනයන් ගොඩක් තියෙනවා. නමුත් ඒ ඔයාගේ යථාර්ථය කෘත්‍රිමව වෙනස් කරලා වෙනත්ම දේවල් ඇහෙන්න දැනෙන්න සලස්වන්න පුළුවන් නම් කොහොමද? අන්න එහෙම සුදාලා වෙනම ලෝකයකට අරගෙන යන එක තමා මේ සීන් එකේදී වෙන්නේ.

මේ වෙනකොටත් VR අත්දැකීමක් ලබපු කෙනෙක්ට මේ වගේ පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒත් මචෝ VR අත්දැකීමක් නොලබපු කෙනෙක්ට මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් වෙන්නෙත් නෑ. මොකද ඒක දැනෙන දෙයක්. ඒ කොහොම වුණත් මේ සීන් එක තමයි අනාගත ලෝකේ ලොකුම trend එක.

ඒ නිසා ඔයාටත් මේ තාක්ෂණය අත්දකින්න ලැබෙන දවස වැඩි ඈතක නෑ. කොහොම වුණත් විද්‍යාඥයන් කියන විදිහට VR තාක්ෂණයට තියෙන අර්ථ නිරූපණ දවසින් දවස වෙනස් වෙනවා. මොකද මචෝ මේ හරහා කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. ඒ නිසා ඇත්තටම මේ සීන් එකට හරි පැහැදිලි කිරීමක් අපි ළඟ නෑ වස්තු.

සුදාලට කියන්න අද කතාව වෙනදාට වඩා සංකීරණයි. ඒත් වස්තු මේක අපිට මඟහැරලා යන්න බෑ. මොකද? මේක කතා නූතන තාක්ෂණික ලෝකයේ අද වෙනකොට තියන ලොකු Y Trend එකක් මේ සීන් එකේ ඉතිහාස කතාව පරිගණක තාක්ෂණය එක්ක වගේම රූපවාහිනිය ගුවන්විදුලිය වගේ මාධ්‍ය හා තාක්ෂණයන් එක්කත් එකට බැඳිලා තියෙන්නෙ.

චූටි කතාවක් කියන්නම්. මිනිස්සු ලස්සන චිත්‍රයක් පින්තූරයක් දකින්න කැමති. ඒ මොකද දන්නවද? ඒ මොහොතේ අපේ වටේ තිබෙන යථාර්ථයට අයිති නොවන දෙයක් ඒ පින්තූරය, චිත්‍රය ඇතුළෙ තියෙනවා. ඡායාරූප, ගුවන්විදුලිය, රූපවාහිනිය හරහා ගමන් කරන්නේ මේ ආසාවේ වැඩිදියුණු වීම තමා. සුදාලාගෙ අතේ mobile එකක් තියෙනවා. ඒ හරහාත් ඔයාට අයිති නොවන වෙනම ලෝකයට ගමන් කරන්න සුදාට පුළුවන්. Virtual reality කියන්නෙ මේ සීන් එකේ Ultra pro max අවස්ථාව මචෝ.
මේක පට්ට Y Trend එකක් වෙලා තියෙන්නේ VR තාක්ෂණයේ Entertainment එක්ක සම්බන්ධ වුණාම. 3D තාක්ෂණයක එක්ක හිමීට ඉස්සරහට ආපු Filming, Gaming වගේ industries ඔක්කොම VR තාක්ෂණය එක්ක පිමි කිහිපයක් පැනලා ඉවරයි පැංචෝ. VR Headset කියන්නේ මේ සීන් එකේ ලොකු කොටසක්. දැන් ඕනෑම කෙල්ලෙකුගෙයි කොල්ලෙකුගෙයි හීනයක් තමයි VR Headset එකක් මිලදී ගන්න එක.

ඔයාගේ Mobile එකයි VR Headset එකකුයි භාවිත කරලා දැන් ඔයාට වෙනම ලෝකෙකට යන්න පුළුවන්. එතැනදි ඇහෙන සද්ද පේන රූප ඔක්කොම ඔයාගේ මොළය රවට්ටනවා. චිත්‍රපටයක් බලලා ගන්න අත්දැකීම වගේ නෙවෙයි. කන්දකින් වැටෙනවා නම් ඔයාට ඒක එහෙම පිටින්ම දැනෙනවා. වාහනය යන එක වුණත් දැනෙනවා. ඉතින් මචෝ මේ සීන් එකෙන් මිනිස් මොළය එහෙම් පිටින්ම රවට්ටන්න පුළුවන්.

මොබයිල් එක භාවිත නොකරන තිරය සහ සංවේදක සහිත සහිතව නිර්මාණය කරපු VR Box ති‍ෙයනවා. ඒවා නම් ටිකක් ගණන්. ලක්ෂ ගණන්වලින් නම් කෝටි ගණන් දක්වා VR Box දැන් වෙළෙඳ පොළේ තියෙනවා. මේ වෙනුවෙන්ම දැන් ෆිල්ම්, ගේම් හැම දෙයක්ම නිර්මාණය වෙනවා සුදෝ.

ඇත්තටම මේක ඇබ්බැහියක් වෙලා තියෙනවා සමහරුන්ට. VR තාක්ෂණය හරහා ගෙදර ඉඳගෙන චිත්‍රපට ශාලාවේ Films බලන්න පුළුවන්. ඕනනම් Film එක චරිතයක් වෙලා ජීවත් වෙන්න පුළුවන්. Game එක ඇතුළට ගිහිල්ල Game එක Play කරන්න පුළුවන්. ඒ වගේම මචෝ අපිට සාමාන්‍යයෙන් කරන්න බැරි දේවල් කරන්න, අපිට සාමාන්‍යයෙන් යන්න බැරි තැන්වලට යන්න VR තාක්ෂණය හරහා දැන් පුළුවන්.

සිරාවටම මෙහෙම කිව්වම සුදාලාට පිස්සුවක් වගේ දැනෙන්න පුළුවන්. ඒත් ඒක ඇත්ත. සීන්කෝන් එක තවත් දියුණු වෙනවා. ශරීරයට පවා දේවල් දැනෙන විදිහේ ඇඳුම් පැළඳුම් පවා මේ වනකොට නිර්මාණය වෙමින් තියනවා. හැබැයි ඉතින් හොඳ වගේම නරක දේවලුත් මේ සීන් එකට දැන් පොඩ්ඩ පොඩ්ඩ ඇතුළු වෙනවා. උදාහරණක් කිව්වොත් VR අසභ්‍ය වීඩියෝ පවා දැන් අන්තර්ජාලය සෑහෙන්න තියනවා.

Entertainment පැත්තේ මේ වගේ දේවල් තිබුණත්, තවත් ගොඩක් ක්ෂේත්‍රවලට VR තාක්ෂණය භාවිත කරනවා. ඇත්තටම වස්තු මෙහෙම කියන්නත් පුළුවන්. මානව පරිණාමයේ ඊළඟ අදියරට මේ තාක්ෂණය හරහා මිනිස්සු වේගෙන් ගමන් කරමින් ඉන්නවා. Health පැත්තෙන් උදාහරණයක් කිව්වොත් විවිධ මානසික රෝගයන්ට ප්‍රතිකාර ප්‍රතිකාරයක් විදිහට දැන් දැන් VR තාක්ෂණය භාවිත කරනවා. මොකද මෙච්චර කල් ලේසියෙන් කරන්න බැරි වෙච්ච මොළය රවට්ටන වැඩේ මේ සීන් එකෙන් ලේසියෙන්ම කරන්න පුළුවන්.

ඒ වගේම අධ්‍යාපනික පැත්තටත් මේ සීන් එක මේ වෙනකොට ලොකුවට භාවිත වෙනවා. සාමාන්‍යයෙන් තේරුම් කරන්න බැරි තත්වයන් පිළිබඳ තේරුම් කරන්න මේක හොඳම විසඳුමක්. ගුවන් යානා, හමුදා පුහුණුවීම් සඳහාත් VR තාක්ෂණය මේ වෙද්දී භාවිතාවට ගන්නවා මචෝ. ඒ වගේම කාලගුණික සහ විද්‍යා පරීක්ෂණ වගේ කටයුතු වලත් මේ තාක්ෂණය භාවිත කරනවා දැන් දැකගන්න පුළුවන්. තවත් එකී මෙකී නොකී ගොඩක් තැන්වල දැන් මේ තාක්ෂණය භාවිත වෙනවා මචෝ.

කොහොමවත් වස්තු අවසාන වශයෙන් කියන්න ඕනෑ දෙයක් තියෙනවා. මනුෂ්‍ය වර්ගයා මේ අභියෝග කරන්නේ තමන් වටේ ති‍ෙයන යථාර්ථයට. මේකේ වාසි වගේම අවාසිත් තියෙනවා. මේ නිසා ඇතිවන සෞඛ්‍යමය ගැටලු පිළිබඳ දැනටත් සාකච්ඡා වෙනවා. අනාගත පරම්පරාවලට මෙය ඔස්සේ සිද්ධ වන බලපෑම, දරුවන්ගේ මනසට සිදුවන බලපෑම පිළිබඳ තාම හරි තක්සේරුවක් නෑ. ඒ නිසා වස්තු ඔයත් මේ සීන් එකට අත තියෙනවා නම් හොඳ අවබෝධයෙන් අත තියන්න.

I නිසල්