2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසය...

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 53

ගුරු සිත නොරිදවා
වේලාව නොවරදවා
බැති පෙම් උපදවා
අකුරු උගනිව් කුමරු සොඳවා...

ආදරණීය ගුරුවරයෙක් කියන්නේ ජීවිතයට පාර කියන තරුවක්. ඒ තරු කොතෙකුත් ජීවිතයේ හමුවෙලා ඇති... කවදාවත් ජීවිතය කියන අහසින් බැස නොයන්නට තරම් මතකයේ රැඳුණු ඒ ගුරු තරු ගැන මතකය හරිම භක්ත්‍යාදරයෙන් අදටත් අපි සිහිපත් කරනවා කියලා කිව්වොත් ඒක ඇත්තක්...

පසුගිය 6 වැනිදා වෙන්වෙලා තිබුණේ ගුරුවරු වෙනුවෙන් ගුරු දිනය සමරන්න. සාම්ප්‍රදායික ගුරු ඇදහිල්ලෙන් ආදරණීය ප්‍රවේශයකට දැන් දැන් ගුරුවරුන් සහ ශිෂ්‍යයන් පැමිණෙමින් ඉන්නවා. ඇත්තටම එය සුබවාදී වගේම සෞන්දර්යාත්මක වේදිකාවක් වග මට හිතෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේම හුවමාරු වුණා දරුවන් සතුටු කරන්න ගුරුවරු විවිධ රංගනයන්හි යෙදෙනවා. ලෝක ළමා දිනයේදීත් හුඟාක් ජනප්‍රිය වගේම ඈත දුෂ්කර ගම්මානවල පාසල්හිත් ඒ සිසු සිත් පිනවීමේ ගුරු නැටුම් හා ගුරු ගැයුම් පැවැත්වුණා. ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර අතීතයේ පැවැති දුරස්ථභාවය, පරතරය වෙනුවට හරි සාමකාමී ආධ්‍යාත්මික සංහිඳියාවක් ඒ දෙපාර්ශ්වය අතර ඇති කරන්න පුළුවන් නම් ඇත්තටම ඒ බැඳීම හරි සෞන්දර්යාත්මකයි. දරුවන් වැඩිහිටියන් වෙතින් බලාපොරොත්තු වෙන්නේ ආදරය, රැකවරණය, මඟ පෙන්වීම වගේම ආරක්ෂාව. පුංචි පැටව් ගුරුවරියන්ගේ සාරි පොටේ දැවටෙමින් ඉල්ලන්නේ ගුරු භූමිකාවෙන් එහා ගිය සාර සිප් පිරිනැමීමට එහා ළෙන්ගතුකමක්.

වාසනාවට ඒ දරු සිත් තේරුම් ගත් ගුරුවරු අද හුඟාක් ඉන්නවා. කන්න නැතුව බඩගින්නෙ කලන්තෙ දාපු දරුවො පසුගිය කාලයේ ඕනෑ තරම් පාසල්වල හිටියා. අදටත් ඉන්නවා. අද ලංකාවේ දරුවන් මන්ද පෝෂණයෙන් පීඩා විඳිනවා. ආර්ථික සමාජීය අර්බුදයේ ගොදුරු බවට ඒ පැටව් මොන කරුමෙකට හරි පත්වෙලා... මේ කිසිදු අර්බුදයකට වග නොකියන්න ඕනෑ උන් එහි වගඋත්තරකරුවන් වෙලා... උන්ගේ අදේශපාලනික ලෝකය මත කඩතොළු සලකුණු කරන දේශපාලනික සාධක ඒ පුංචි හිත් රිදවපු අවාසනාවන්ත පසුබිමක ඇත්තටම මොහොතකට හරි ඒ සිත් සනසන්න ගුරු මව්වරු පියවරු දරපු ඒ ආදරණීය ප්‍රයත්න ඇත්තටම හරි ප්‍රසංශනීයයි.

ලෝකය එකම යායක් කියන්නේ සිහිනයක් මිස යථාර්ථයක් නෙවෙයි කවදාවත්... ඒ නිසා එකම එක ඇත්තක් අපි තේරුම් ගමු... සතුට ඇත්තේ යන මඟ දෙපස මිස ගමනේ කෙළවර නෙවෙයි....