2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමේ...

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 144

ආදරය තේරුම් ගන්න උත්සාහ කරන්න එපා
ආදරය කරන්න...

ඕෂෝට විතරක් නෙවෙයි ලෝකේ කාටවත් ආදරය සහ ප්‍රේමය නිර්වචනය කරන්න බැහැ... අනන්තයකින් අංශුමාත්‍රයක් හැර කාටවත් ආදරය සහ ප්‍රේමය නිර්වචනය කරන්න බැහැ... දැනෙන තැන දැනෙන, විඳින තැන විඳින, නවතින තැන නවතින ආදරය කියන්නේම සංසාරයක්.

ප්‍රේමය කියන්නෙම හුස්මක්...

ඔහේ පාවෙන ජීවිතය එක තැනක නතර කරලා, කියා දුන් හැටි තාම මතකයි; හෙමින් හෙමින් මම නුඹට ජීවිතය...

ආදරය කොච්චරද අහන්න එපා රත්තරන්... ආදරය කියන්නේ ආදරය... සිහින් දිගු ඇගිලි තුඩු අග්ගිස්සෙන් මම නුඹේ හිස පිරිමදින මොහොතක මගේ ලොකු ඇස් දෙකෙන් ඔය ඇස් එක්ක මම කතා කළේ එහෙම... 

වචන නැතුව දිගහැරිච්ච දිගු සල්ලාප කොච්චර තිබුණද ඒ ආදර කතන්දරේ. නුඹට ඇත්තටම තේරුණේ නෑ ජීවිතය කියන මහ වනාන්තරයේ කටු නොඇනී ඇවිදින්න.. කටු අකුල්වල ඇවිදිද්දි යටි පතුල් සීරිච්ච තුවාල හැම එකකම විස අංශුමාත්‍රයක් හරි ඉතුරුවෙලා තියෙනවද බල බලා, තියෙනවද හොය හොයා ඒ තුවාල මත ආදරයෙන් ප්‍රේමය උරච්චි කර තවරා සුවපත් කළේ මමයි. නුඹ බිහිකර ලේ කිරි කර පෙවූ නිසා ඇය නුඹේ අම්මා වෙද්දී ජීවිතයට ජීවිතයක් දී නුඹ නමින් ලේ කිරට නොහැරවුණ වෙනස පමණක් තබා නුඹ සැනසූ (අම්මා) මම... නුඹ නැලවූ අම්මා මම... ආදරයේත් ප්‍රේමයේත් නැලවිලි ගීයෙන් මා තුරුලේ නුඹ සනසාලූ නුඹේ ප්‍රේමය මම... නුඹට මතක නම් ඔව් ඒ මම...

ඒ දවස්වල මගේ ඉහත්තාවේ වැතිරී ඉද්දි මම පපුවට තුරුලු වෙද්දි නුඹ ගැයූ හැටි මට මතකයි

රැලකින් තනි වී වන මැද සරනා 
කැකුළු තුරුණු යාමේ 
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේ
මට ඔබගේ ප්‍රේමේ..

නුඹට මතක නම් එදා නුඹේ ජීවිතයම මලින් සැරසුවේ මගේ ආදරය... මලක් කියන්නේ මලක් විතරක්ම නෙවෙයි... ජීවිතය ගැන හුඟාක් දේවල් මලක් කියලා දෙන හැටි අරුමයි... සුවඳ, ලස්සන හැමදේම උගන්වලා නියත දහමට අවසඟව යන්න බැරි ජීවනයේ යථාර්ථයත් පිපෙන මලක් අපිට කියලා දෙනවා... නුඹේ ජීවිතය සැරසූ මලක් මලක් ගාණේ නුඹට ඒ විදිහට ජීවිතය ඉගැන්වූ ඇදුරුතුමියත් මම...

නුඹට මතක නම් ඒ මම...

අනේක ගිම් නිවන්න, වාරුවෙන්න නුඹ උරහිසක් හොය හොයා හිටපු දුර්ග යටගියාවකදි නුඹව මට හමුවුණේ... අදටත් මගේ උරහිස් මත රුඳුණු නුඹේ දෑසින් ගිලිහුණු අතීත කඳුළක සීතල මට දැනි දැනී දැනෙන මොහොතක් එනවා... ඒ නුඹ නැතුව නුඹ එක්ක අදටත් අහසේ තරු හොයන කළුවරක... එහෙම නැත්නම් කුණාටු අරන් එන්න හදන හිතුවක්කාර වැස්සක් දිහා බලාගෙන ඉන්න මොහොතක... අඩ සඳ ඇවිදින් අහසට චිත්‍ර අඳින රාත්‍රියක... එහෙමත්ම නැත්නම්..

දළු, කොළ, මහ ගස් කම්පනය කරමින් සුළං හමා එන මහ රූක.. ඒ අතීත සීතල කඳුළක මතකය එක්ක නුඹ ආයෙමත් ආයෙමත් ආයෙමත් එනවා මගේ හද ද්වාරය ඇරගෙන ඉස්සර උන්නු තැනටම...

හබල සිඳී ගොස් පෙරළුණු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී
ගොඩගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ...
නුඹට මතක නම් මම 

මට කවදාවත් ඕනෑ වුණේ නෑ දිදාලයකට රිංගවපු රළු අවර්ණ හුයකින් නුඹේ ජීවිතය ගෙත්තම් කරන්න.. මම හැමදාම හෙව්වෙ දිලිසෙන ලස්සන හුයක්... දිලිසුණත් නොකැඩෙන වර්ණවත් හුයක්... මම ආසම අහස් නිල් පාට, ළා කොළ පාට, දිලිසෙන කහ පාට, නිහඬ සුදු පාට, මුහුදු නිල් පාට නූල් අරගෙන නුඹේ ජීවන වස්ත්‍රය මත මම මවපු ගෙත්තම්..

ආදරයේ මල් ලියකම් නුඹේ ජීවිතය මත මම ගෙත්තම් කළේ මගේ ආත්මය කියන දිදාලයෙන්..

ප්‍රේමය නම් අ‍ෙසනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරන්න
ලෝභ සිතින් තොර පිදුව මනා වේ
පෙරළා බිඳකුත් ලබනට නොසිතා..
එහෙම නේද මම දුන්නේ ආදරය...

නුඹට මම මතක නම්.. එහෙම නේද මම දුන්නේ ආදරය...

නුඹේ ජීවිතය මත මේ ලෝකයේ තියෙන ලස්සනම මෝස්තර ගෙත්තම් කරද්දි දිදාලය ඇනී සීරී ලේ ගැලූ තැන් බොහෝමැයි මගේ ජීවිතයේ.. ඒත් මට රිදුණේ නෑ... රිදෙන්නේ කොහොමද මට. මම ජීවිතය දැක්කේ ඔය ඇස් දෙකෙන්... මම ජීවිතය වින්ඳේ ඔය හිනාවෙන්.. මට මාව මඟහැරී ගොස් තිබුණා.. මම හුස්ම ගත්තේ නුඹේ හදවත වෙනුවෙන්.. ඉතින් කොහොමද මට රිදෙන්නේ...

ආදරයෙන් මම නුඹව තුරුල් කර ගත්තේ හදවතින්ම විතරයි.. නුඹ නිදහසේ ඉගිල්ලුණා...

නුඹේ පියාපත් මත එකම එක පුංචි තටුවක් තරම්වත් ගලවන්න හිතුවේත් නෑ.. හිතුණෙත් නෑ මට.. නුඹට ඕනෑ දුරකට ඉගිල්ලෙන්න හැර මම බලාගෙන හිටියා... මඟක් වැරදුණොත් කියා දෙන්න සැදී පැහැදී හිටියා.. කවදාවත් මට වෙහෙසක් දැනුණේ නෑ... නුඹ වෙනුවෙන් බලාගෙන හිටපු ඇස් රිදුණේ නෑ.. ඒ තමයි ආදරය.. නුඹට මතක නම් ඒ මම...

පුර හඳ ඇවිත් දුල රන් තරු කැටුව අද
ආසයි දකින්නට ඒ හඳ නුඹ එක්ක
ළඟ පාතක නැතත් හිස සිඹ සනසන්න
අම්මා සේම පෙම් කළ වග දැනුණාද

අත අත නෑර ආ රුදු මග බෝ දුරය
ඒ මහ මතක මහ වැහි මැද මම තනිව
නෑසෙන නමුත් මා හද ගැහෙනා ස්වරය
මාගේ හුස්ම නුඹමයි හිමියනි සසර

ගිනියම් අරණ මුල් සිඳ සැනසෙන දාක
නුඹ දුර ගිහින් මා තනිකර තනි මඟක
කිලුටක් කොහිද දෙවියනි ප්‍රේමයෙ කවක
හිනැහෙනු මැනවි හිනැහෙන්නම් නුඹ එක්ක...

මතකද දවසක් දා මම එහෙම කවියක් ලීවා... ඒ කවියට ඇමිනුණු අකුරක් අකුරක් ගාණේ තිබුණේ මගේ නොසිඳි ආදරයේ උල්පතින් වැක්කෙරෙන ආදරයේ මාත්‍රාවන්...

තුඩ තුඩ තබමින්
නෙක නෙක පල වැල්
කවා පොවා සනහා
පෙරුම් පුරනවද මතු බුදු වෙන්නට
මට දී රැකවරණා...

නුඹට මතක නම් මම, මතකද ඒ හීන... කැඩුණු හූසල් බත් චුට්ටක් බෙරිවෙන්න උයද්දි නුඹ හරි ආසයි.. ඒ බත එක්ක රතු ලූනු දෙහි අමුමිරිස් එක් කරපු පොල් සම්බෝලයක්, සුවඳ කිරි හොද්දක්, රතු පාටින් පාට වෙච්ච බොරේට උයපු පොළොස් ඇඹුලක් හදන්නේ මම... ඒ තමයි අපි දෙන්නගේම ආසම කෑමවේල... රිදී පාට ලොකු තැටියකට උණු උණුවේ බත් බෙදලා මම පුංචි කුරුල්ලෙක්ගේ තුඩග තබන්න වගේ බත් ගුලි හදන්නේ නුඹට කවන්න... ළය ලෙය කිරට හැරවෙන සෙනෙහසකින් එහෙම අනපු බත් ගුලි නුඹේ බඩගින්න නිවද්දි එකම එක බත් ගුලියක්වත් නොකාපු මගෙත් බඩගිනි නිවිලා ගිහින්...

ජීවිතය කොයි තරම් අරුමයක්ද සුන්දරත්වයක්ද කියලා මට හිතුණේ ඒ දවස්වල...

කවා පොවා සනහා දෑස් දෙක නින්ද හොයන වෙලාවක නුඹේ නළලත් හිසත් මම පිරිමදිද්දි නුඹේ අඩ නුවන් අතරින්.. මාවත් තෙමාගෙන වැහි වහින හැටි.. ඒ වැස්සේ හිතුවක්කාර දඩබ්බරකම් එක්ක අපි තෙමෙන හැටි... හීන අතර පාවෙවී හීන හොයන වෙලාවක කිරිකැටි කිරි සුවඳ හීන අතරෙත් අපි ඇවිද්දා... ළය මඬල කිරෙන් බරවුණු දවසක සිඟිති මුවග ළය එරුණු කිරෙන් සනසද්දි ඒ ස්නේහයෙන්ම කිරි බිඳුවකට ආදරය දිය කර නුඹත් සනසන්න මට හිතුණා.. අනුරාග සිතුවිලි නොඇවිලුණු නාරාමිස ස්නේහයක් දළු ලෑව මොහොතක එහෙම ප්‍රාර්ථනා මතුවෙන්නේ ප්‍රේමය වෙනුවෙන් නෙවෙයි සෙනෙහස වෙනුවෙන්.. එහෙම දවසක මට හිතුණා දාරක ස්නේහය අම්මා කෙනෙක්ට දැනෙන්නේ දරු පැටියෙක් වෙනුවෙන් විතරමද කියලා... නැහැ ඒ කිරි සිහිනයේ කිරි බිඳුවක සෙනෙහස මත සතපන සිහිනෙක නුඹත් හිටියා.. 

ආදරය කියන මුතුහරට රුකවරණයේ දිස්නය වැදුණම ඒ මුතුහර ලස්සනට දිලිහෙනවා...
ජීවිතය මත ඒ දිස්නය පතිත වුණාම ජීවිතයත් දිලිසෙනවා...

ප්‍රේමයෙන් ඔබ්බට ආදරයත් ආදරයෙන් ඔබ්බට සෙනෙහසත් දන් දී මම පෙරුම් පිරුවේ මතු බුදු බව ප්‍රාර්ථනා කරන්නට නෙවෙයි... මව් සෙනෙහසින්ම වරෙක සෙනෙහස දන් දෙන හදවතක් ඇති පාද පරිචාරිකාවක් වෙන්න; මේ සංසාර ගමන් මඟ සරන දිගු සුවිසැරිය පුරාවට...

නුඹට මතක නම් ඒ මම 
ඒ තමයි මඟහැරුණු මගේ හීනය...

මගේ සෙනෙහස..

(පද සංයෝජනය - ප්‍රේමකීර්ති ද අල්විස්
නාද සංයෝජනය - රෝහණ වීරසිංහ
ගැයුම - අබේවර්ධන බාලසූරිය)