මේ මිහිතලය මත සර්ව සම්පූර්ණ කිසිවක් සොයාගත නොහැකි තරම්. එහෙත් මානව වර්ගයාට ඉදිරියට යාමට එය බාධාවක් නෙවෙයි. එනිසාම විවිධ අඩුපාඩුකම් සහිත නොපසුබට වීර්යකින්, ලොව දිනන්නට සිතන මිනිසුන් මේ දිවිසැරියෙ අපට මුණගැහෙනවා.
අද අපි ඔබ ඉදිරියට රැගෙන එන චරිතයත් ඒ යථාර්ථය අපූරුවට පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක්. අපි ඔහුව දුටුවේ මුහුණුපොතේ. ඔහු ඡායාරූප ශිල්පියෙක්, සංස්කාරකවරයෙක්, ඒ වගේමයි ඔහු සිත්තරෙක්.
කොහොම නමුත් ඔහුගේ ලෝකය නිහඬයි. මුවින් වදනින් හරඹ කරන්නට, සවනින් ලොව හඳුනාගන්නට සොබාදහම ඔහුට වරම් දී නෑ. නමුත් ලෝකය ජයගන්නට මේ අපූරු මිනිසාට එය බාධාවක් වෙලත් නෑ. ඔහු නමින් චන්දිම ලක්ෂාන්. ඔහු තෙවැනි ඇසක් හිමි මිනිසෙක්.
අපි තොරතුරු සොයා බලපු විදිහට, චන්දිම බාල වියේදී නැඹුරුවෙලා සිටියේ සිත්තර කලාවට. සිත්තරෙකු වීමේ අදිටනින් වයස අවුරුදු අටක් දහයක් වෙනකොට චන්දිම ඇඳපු සිතුවම් දැකපු බොහෝ දෙනකු මවිත වුණා. ඒ නිසාම බාලේදීම තමන්ගේම කියා චිත්‍ර ප්‍රදර්ශන කිහිපයක් පවත්වන්නට චන්දිමට හැකිවෙලා තියෙනවා. ඒ අනුව 2008 සහ 2009 වර්ෂවලදී කුඩා චන්දිම සිය හැකියාවන් පළමුව කලඑළි දැක්වුවා.
සිතුවමින් ඡායාරූපයට පැමිණෙන චන්දිම, සිය සොයුරියගේ විවාහ මංගල උත්සවය ආලෝක සිතුවම් කිරීමේ වගකීම තමා වෙත පවරා ගන්නවා. අවසානයේ එය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වුණා. මාපිය දිරියෙන් ඡායාරූපකරණයට අත තියපු මේ අපූරු නිහඬ චරිතය විවාහ මංගල උත්සව ආවරණය කරලා ලැබුණු මුදල් එකතු කළා, තමන්ගේ ඡායාරූප ශිල්පය වඩ වඩාත් දියුණු කරන්න අවශ්‍ය උපකරණ ඔහු තනිව මිල දී ගත්තා.
ඇතැම් තැන්වලදී චන්දිමට බාධා ඇතිවුණු බවත් ඔහුගේ ජීවිත කතාව පිළිබඳ හොයලා බලද්දි අපිට දැනගන්න ලැබෙනවා. සිත්තර කලාවේ ඔහු දස්කම් දක්වද්දී අධ්‍යාපනය පිළිබඳ ඇතැම් තැනක ඔහුට එල්ල වූ අභියෝග එමටයි. පරිගණක තාක්ෂණවේදය පිළිබඳ වඩාත් වැඩි අවබෝධයක් ලබන්නට ඔහු තුළ පෙළඹවීමක් ඇතිවුණේ ඒ නිසාමයි. ඡායාරූප පරිගණක සංස්කරණ ප්‍රවීණයකු බවට පත්වන්නට අවසානයේ එයම ඔහුට ආශිර්වාදයක් වුණා.
චන්දිම ලක්ෂාන් මුවින් නිහඬ චරිතයක් වුණත් මනසින් නිහඬ චරිතයක් නෙවෙයි. ඔහුගේ මනස ලෝකය දකින විදිය වෙනස්. අද වෙනකොට චන්දිම සංකල්පීය ඡායාරූපකරණය කියන විෂය පථය ඇතුළේ අපේ රටේ දැවැන්තයෙක්. ජාත්‍යන්තරයේ නිතර අප දකින මේ ඡායාරූපකරණයට ලංකාවේ තියෙන පෙළඹවීම් නම් ටිකක් අඩුයි.
ඒකට හේතුවක් තියෙනවා. පරිකල්පනමය විෂය වන මේ විෂය පථය ඇතුළේ ඡායාරූප ශිල්පියෙක්ට සංස්කාරකවරයෙක්ට චරිතයක් බවට පත්වීම පහසු නෑ. එහෙම චරිතයක් විදිහට ගොඩනැගෙන්න නම් අද්විතීය හැකියාවක් වගේම සියුම් පරිකල්පන ශක්තියකුත් ඔහු තුළ තිබිය යුතුයි.
චන්දිමගෙ නිර්මාණ බලනකොට අපිට ඒක දැනෙනවා, ඔහුගේ පරිකල්පනය සියලු සීමා බිඳ දාමින් ඉදිරියට ගමන් කරනවා කියලා. කොහොම නමුත් ඔහු ඉන්නේ ආරම්භක අවධියෙ. ඒත් ඇරඹුම බොහොම සවිමත්.
සංකල්පීය ඡායාරූපකරණයේදී ඡායාරූපය ගන්නෙ චන්දිම, ඒ වගේම ඡායාරූපයට පෙනී ඉන්නෙත් ඔහුමයි. අවසානේදී ඒ ඡායාරූපය සංස්කරණය කරන කටයුත්තත් චන්දිම අතින්ම සිදු වෙනවා. එක්තරා විදිහකට චන්දිම මෙතනදී නිරූපණ ශිල්පියාගේ භූමිකාවත් අපූරුවට නිරූපණය කරලා තියෙනවා. ඒක අපිට ඔහුගේ ඡායාරූපවලින් දැකගන්න පුළුවන්.
කුඩා කල පටන් චන්දිමට තිබුණේ එකම හීනයක්. ඒ තමයි තමන් කරන දෙයින් ලංකාවේ පළමුවැනියා බවට පත්වීම. සංකල්පීය ඡායාරූපකරණය ගැන විෂය බැලුවම කෙනෙක්ට ඕනෑ නම් කියන්න පුළුවන්, “ඔව් චන්දිම තමයි පළමුවෙනියා" කියලා. ඇත්තටම ඔහුගේ නිර්මාණ එතරම් විශිෂ්ටයි. කොහොම නමුත් අපි පෙර සඳහන් කරපු විදිහට චන්දිමට තව දුර ගමනක් යන්න තියෙනවා.
ඔබ මේ ඡායාරූප ශිල්පියා සහ ඔය කතාව ගැන නොදැන සිටියත්, සමාජ මාධ්‍ය නිතර සැරිසරන්නෙක් නම් එක්වරක් හෝ ඔහුගේ ඡායාරූපයක් දැක ඇතිවාට සැක නෑ. ඇත්තටම ඔහුගේ සමහර ඡායාරූප සමාජ මාධ්‍ය ඇතුළේ අතිශය ජනප්‍රිය වුණා. බොහෝ දෙනා ඒවා බෙදාගෙන තිබුණා. ඇතැම් ඡායාරූපවලට ලැබුණු ජනප්‍රියත්වය නිසාම තමයි අපිට ඔහු ගැන දැන කියාගන්න අවකාශය සැලසුණේ.
මේ වෙනකොටත් මුහුණුපොතේ චන්දිම වටා හතළිස් දහසකට වැඩි පිරිසක් එකතුවෙලා ඉන්නවා. ඉන්ස්ටග්‍රූම් ගිණුමෙත් දාහත් දහසක විතර පිරිසක් ඔහුව අනුගමනය කරනවා. සමාජ මාධ්‍ය ඇතුළෙත් චන්දිම චරිතයක් ලෙස ගොඩනැගෙමින් ඉන්නෙ. මේ අපූරු නිහඬ මිනිසාගේ හැකියාව දැන් බොහෝ දෙනකු ලොවට හඬගා කියන්නට පටන් අරගෙන. අපේ උත්සාහයත් ඒ වෙනුවෙන්.
ඔහුගේ හීනෙ දවසක විදෙස් ගතවෙලා මේ විෂය ගැන තවදුරටත් ඉගෙන ගන්න එක. ඡායාරූපකරණය වගේම සංස්කරණය පිළිබඳවත් ඔහු සතු දැනුම තවත් වැඩිකර ගන්න චන්දිම ඉන්නේ බොහොම කැමැත්තෙන්.
ඉතින් අපි මේ අපූරු නිහඬ ආලෝක සිත්තරාට අවසානයේ සුබ පැතුම් පිරිනමනවා. සියල්ල සපිරි ජීවිත කොහේවත් නෑ. ඒ වගේමයි, ජීවිතවල හිස්තැන් පුරවමින් ඉදිරියට ගමන් කරන මිනිසුන් කිසිදාක පරාජය වෙන්නෙත් නැහැ.
I නිසල්