60 දශකයේ රිදී තිරය ස්වර්ණවත් කළ විශිෂ්ටයන්ගේ සම්මාන රාත්‍රිය.
"යම් කෙනෙකු ලැබූ අත්දැකීමක් පිළිබඳ, අනුභූතියක් පිළිබඳ, චලන, රේඛා, වර්ණ, ශබ්ද හෝ වචන මාර්ගයෙන් අනෙකකු තුළ දැනවීම කලාවේ කාර්යය" යැයි වරෙක ලෝ ප්‍රකට සාහිත්‍යවේදී ලියෝ ටෝල්ස්ටෝයි ප්‍රකාශ කළේය. එසේ බැලූ කල ඉහත සියලු කලා අංගයන්ගේ එකතුව තුළ බිහිවන සිනමාව එකී කලාවේ කාර්යභාරය සපුරන්නට කොතරම් දායක වේද යන්න පැහැදිලි වේ. එකී කාර්යය ඉටු කරන්නට සිනමාව අප රට තුළ ස්ථාපිත වූයේම වාණිජ ව්‍යාපාරයක් ලෙසය. අප රටේ සිනමා ව්‍යාපාරය ආරම්භ වූයේ බ්‍රිතාන්‍යය පාලනයට නතුව පැවති කාලයේය. විදේශික ව්‍යාපාරිකයන් ඇරඹූ සිනමා ප්‍රදර්ශන ව්‍යාපාරය ඉන්දියාවෙන් පසු ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් අතට පත් විය.
ලෝකයේ ප්‍රථම වරට චිත්‍රපට දර්ශනයක් පවත්වා ඇත්තේ 1895 මාර්තු මස 22 වැනිදාය. ප්‍රංශයේ 'ලියෝන්' හි විසූ ලුයි ලුමියර් සහ ඔගස්ටස් ලුමියර් දෙසොහොයුරන් සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් යොදාගෙන 'ලන්ච් අවර් ඇට් ලුමියර් ෆැක්ටරි' - (Lunch hour at Lumeir factory) නම් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ලෝක සිනමාවේ උපත ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට චිත්‍රපටයක් ප්‍රදර්ශනය කොට ඇත්තේ 1901 දී බ්‍රිතාන්‍යය පාලන කාලයේදීය. එසේම අප රට තුළ පළමු වතාවට මහජනතාවට චිත්‍රපට පෙන්වීම සඳහා කොරික් බයිස්කෝප් නමින් චිත්‍රපට සමාගමක් ආරම්භ කර ඇත්තේ ඒ.ඩබ්ලිව්. ඇන්ඩ්‍රි මහතාය. ඔහු 1910 දී මිය යන තුරුම කොළඹ මල්වත්තේ පැගෝඩා හෝටලය තිබූ ස්ථානයේ මෙම සිනමාහල පවත්වාගෙන ගිය බව 'චිත්‍රපට කලාව' නම් ග්‍රන්ථයේ සඳහන්ය. 1947 ජනවාරි 21 වැනි දින මෙරට ප්‍රථම සිංහ කතානාද චිත්‍රපටය ලෙස කඩවුණු පොරොන්දුව තිරගත විය.
එදා සිට අද දක්වාම මෙරට සිනමාව වෙනුවෙන් දායකත්වය දැක්වූ පිරිස අති මහත්ය. ඉතා දැඩි අභියෝග, දුෂ්කරතා මධ්‍යයේ අද වන තෙක් කලාවක් සේම කර්මාන්තයක් ලෙස ද සිනමාව නගා සිටුවීමට ඔවුන් දැක්වූ දායකත්වය අගය කළ යුතුමය. මෙහිදී '60 දශකයේ මුල් භාගයේදී මෙරට සිනමාවේ උන්නතිය උදෙසා ඇප කැප වූ ශිල්පීන් ඇගයීම වෙනුවෙන් වූ Silver Screen සම්මාන උළෙල පසුගිය 14 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි. එහිදී සිනමාව වෙනුවෙන් සියලු අංගයන්ගෙන් දායකත්වය දැක්වූවන් ඇගයීම සිදුවීම ද විශේෂත්වයකි.
60' දශකයේ මුල් භාගය ගත් විට සිංහල සිනමාව තුළ සුවිශේෂ සිදුවීම් රැසක් සනිටුහන් විය. චිත්‍රපටයක් සඳහා මුල්වරට ගුවන්විදුලි නාට්‍යයක් ඇසුරු කරගනු ලැබූයේ 1961 වසරේදීය. ඒ පී.කේ.ඩී. සෙනෙවිරත්න ලියූ 'කුරුලු බැද්ද' නාට්‍ය ඇසුරෙනි. ප්‍රථම ශ්‍රී ලාංකික වර්ණ චිත්‍රපටය වූ 'රන්මුතු දූව' තිරගත වූයේ ද '60 දශකයේදීය. විදේශීය සම්මාන උළෙලකදී සම්මානයට පාත්‍ර වූ ප්‍රථම සිංහල කතානාද වෘතාන්ත චිත්‍රපටය වූ 'ගම්පෙරළිය' නවදිල්ලි අන්තර්ජාතික සම්මාන උළෙලේ දී සම්මානිත වූයේ 1965 වසරේදීය. තවද වැඩිහිටියන්ට පමණක් සීමා වූ මෙරට ප්‍රථම සිංහල චිත්‍රපටය වූ 'සුබ සරණ සැප සිතේ' තිරගත වූයේ 1964 වසරේදීය. මේ ආදී බොහෝ සිදුවීම් එහිදී සඳහන් කළ හැකිය. මේ සියලු සුවිශේෂ අවස්ථා මෙරට සිනමාවේ සටහන් කරවීමට තම හැකියාවෙන්, නිර්මාණශීලීත්වයෙන්, ශ්‍රමයෙන්, ධනයෙන් කැප වූ බොහෝ ශිල්පීන් අද වනවිට ජීවතුන් අතර ද නැත. එසේම සුජීවත්ව සිටි කාලයේ ඔවුන් වෙත එම ඇගයීම ලැබුණේද නැද්ද යන්න පිළිබඳව නිශ්චිතවම සනාථ කිරීමට ද හැකියාවක් නැත. ඒ සියල්ල එසේ තිබියදී හැකි උපරිම අයුරින් එවන් ශිල්පීන් ඇගයීමට Silver Screen ගත් මේ උත්සාහය සැබැවින්ම අගනේය. එමෙන්ම පසුගියදා 'The Newspaper' චිත්‍රපටය තුළින් මෙරටට ජගත් සම්මාන රැගෙන ආ කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල රංගවේදීන් ඇගයීම වෙනුවෙන් වූ සම්මාන හා තිළිණ ප්‍රදානයක් එහිදී සිදුවීම ද විශේෂත්වයකි.
සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස සමාජ සේවය, ගැමි කොල්ලා, අසරණයා ආදී චිත්‍රපට ඔස්සේ සිනමාවට පිවිස පුංචි බබා, නාරිලතා ආදී චිත්‍රපටවල සහාය සංස්කරණ ශිල්පියා වූ ඔහු මුල්වරට 'ජීවන්ති' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර, අදට ද ජනප්‍රිය සත්වෙනි දවස, නොම්මර 17, නැව ගිලුණත් බෑන් චූන් ආදී චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළේය. කතාව, දෙබස් හා තිර රචනය, සංස්කරණය, සහාය අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය තුළින් ද සිංහල සිනමාවේ ප්‍රගතිය වෙනුවෙන් ඇප කැප වූ හේමසිරි සෙල්ලප්පෙරුම මහතා මෙවර Silver Screen සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර විය. 'මූදු පුත්තු' නාට්‍යයේ දියෝනිස්ගේ චරිතයෙන් රංගනයට අවතීවර්ණ වූ මෙරට සිටින ප්‍රතිභාපූර්ණ රංගධර සුමින්ද සිරිසේන ද මෙහිදී ඇගයුම් සම්මානයෙන් පිදුම් ලැබීය. අසල්වැසියෝ, කුමාරිහාමි, හිරුට මුවාවෙන්, චරිත තුනක්, නිසල විල, රම්‍ය සුරම්‍ය, හද විල සක්මන ආදී බොහෝ ටෙලිනාට්‍යවල ඔහුගේ රංගනය මෙරට සම්මාන උළෙලවලදී සේම රසික හද සන්තානයේ ද සම්මානිත විය. විජය ධර්ම ශ්‍රී ගේ 'දුහුළු මලක්' තුළින් සිනමාවට පිවිසි ඔහු සප්ත කන්‍යා, යකඩ පිහාටු, සමනල තටු, උත්පලවණ්ණා ආදී චිත්‍රපට රැසකට තම රංගන ප්‍රතිභාව මුසු කළේය.
මෙරට පුවත්පත් කලාවේ දැවැන්තයන් තිදෙනකු සඳහා ද සම්මාන ප්‍රදානය සිදු විය. දශක කිහිපයක් පුරා පත්‍ර කලාවේදියෙකු ලෙස අමරණීය මෙහෙවරක් ඉටු කරන ඒ.ඩී. රන්ජිත් කුමාර මහතා 1966 දී වෙර කෙටි චිත්‍රපටය ඔස්සේ සිංහල සිනමාවට එක් විය. නිම් වළල්ල චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වූ ඔහු යකඩයා, පෙම් රජ දහන, මධු සිහින, කෙළිමඬල, බිම්බා දේවි හෙවත් යශෝධරා ආදී සිනමා කෘති වෙනුවෙන් නාමාවලිය, තිර රචනය, නිෂ්පාදන සම්බන්ධීකාරක ආදී කටයුතු වෙනුවෙන් දායකත්වය ලබා දුන් අතර, ඔහු ද Silver Screen සම්මාන උළෙලේ දී ඇගයීමට ලක් විය. අර්නස්ට් වඩුගේ, සිරි කහවල යන ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදීන් වෙත ද තිර රචනය, දෙබස් හා කතාව වෙනුවෙන් සිංහල සිනමාවට දැක්වූ දායකත්වය අගයමින් සම්මාන ප්‍රදානය සිදු විය.
සිංහල සිනමාවේ මෙතෙක් බිහි වූ චිත්‍රපට රැසක්ම රසික හදවත්හි ලැගුම් ගන්වන්නට ඒ සඳහා එක්වූ ගීත ප්‍රබල බලපෑමක් සිදු කළේය. '60 දශකයේ මුල් භාගයේ එලෙස තම දායකත්වය සිනමාවට තම හඬින් පිරිනැමූ ශිල්පීන් කිහිප දෙනෙක් ද මෙහිදී සම්මානයෙන් පුදනු ලැබූහ. සරත් සන්දනායක, දේවානන්ද වෛද්‍යසේකර, අමිතා වැදිසිංහ සහ රූපා ඉන්දුමතී ඒ අතර වූහ.
ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තයේ කාන්තා සලකුණ වූ සුමිත්‍රා පීරිස් ද Silver Screen සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වූවාය. මෙරට ප්‍රථම සරසවිය සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපට සංස්කාරක ලෙස 'ගම්පෙරළිය' සිනමාපටය සංස්කරණය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ ඇය 'ගැහැනු ළමයි' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂිකාවක ලෙස සිය සිනමා ගමනේ සුවිශේෂ කඩඉමක් සනිටුහන් කළාය. ගඟ අද්දර, යහළු යෙහෙළි, ලොකු දුව, සාගර ජලය මදි හැඬුවා ඔබ හින්දා, දුවට මවක මිස ආදී චිත්‍රපට රැසක්ම අධ්‍යක්ෂණය කළ සුමිත්‍රාවෝ මෙරට සිනමාවේ තම නම රන් අකුරින් සටහන් කළහ. ඒ ජාතික මෙන්ම අන්තර්ජාතික සම්මාන රුසක් තම දෝතට දිනා ගනිමිනි. ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචකයෙකු ලෙස කලාවට අවතීර්ණ වූ තිස්ස ලියනසූරිය මහතා ද මෙරට සිනමාව වෙනුවෙන් අධ්‍යක්ෂණය, දෙබස් රචනය, සහාය අධ්‍යක්ෂණය, තිර රචනය යනාදී අංශ රැසකින් දායකත්වය දැක්වූ අතර, ඔහු ද මෙම සම්මාන උළෙලේ දී ඇගයීමට ලක් විය. 'සංදේශය' චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස සිනමාවට පිවිසි ඔහු 'රන්මුතු දූව' සඳහා ද සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස එක් විය. පුංචි බබා, සාරවිට, ගැටවරයෝ ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහුට ප්‍රවීණ රංගවේදිනී මාලනි ෆොන්සේකා සිනමාවට හඳුන්වාදීමේ ගෞරවය ද හිමි වේ. හතර දෙනාම සූරයෝ, ආදරේ හිතෙනවා දැක්කම, යකඩයා ආදී එදා සේම අද ද ප්‍රේක්ෂක මතකයේ රැඳි සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කළ නීල් රූපසිංහ මහතා ද මෙවර Silver Screen සම්මාන උළෙලේ දී සම්මානය පාත්‍ර විය. 1963 වසරේදී සිනමාවට එක්වූ කේ.ඩී. දයානන්ද මහතා ද සම්මානයෙන් පිදුම් ලැබූවන් අතර විය. 'රෝමියෝ ජුලියට්' හි කැමරා ශිල්පියා වූ ඔහු 'එයා දැන් ලොකු ළමයෙක්' ඇතුළු චිත්‍රපට 33ක් සඳහා කැමරා අධ්‍යක්ෂණයෙන් එක්වූ අතර, මෙරට ප්‍රචලිත ගීත රචකයන් දෙදෙනකු සිනමා අධ්‍යක්ෂවරුන් ලෙස සිනමාවට එක් කිරීමේ ගෞරවය ද හිමිකර සිටියි. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්න හා ධර්මසිරි ගමගේ වන අතර, අනුපමා හා යස ඉසුරු ඔස්සේ ඔවුහු එලෙස අධ්‍යක්ෂවරුන් ලෙස මෙරට සිනමාවට ප්‍රවිශ්ට වූහ.
තමන් රඟපෑ ප්‍රථම සිනමාපටයෙන්ම හොඳම නිළිය ලෙස සම්මානය දිනූ ශෝභනී අමරසිංහ ද මෙහිදී සම්මානයට පාත්‍ර වූවාය. ගැටවරයෝ, සාරවිට, හන්තානේ කතාව ආදී චිත්‍රපටවලට රංගනයෙන් එක්වූ ඇය විවාහයෙන් පසු සිනමාවෙන් සමුගත්තාය. නීටා ප්‍රනාන්දු ද '60 දශකයේ සිනමාවට පිවිසි නිළියන් අතර ජාතික සේම ජාත්‍යන්තර කීර්තියක් දිනූ කැපීපෙනෙන නිළියක් වූවාය. 'ළඳක මහිම', 'සතුටයි කඳුළයි' චිත්‍රපටවලින් සිනමාවට පිවිසි ඇය ළසදා, කේසර සිංහයෝ, රජගෙදර පරවියෝ, දුහුළු මලක්, පවුරු වළලු ආදී චිත්‍රපට රැසක් සඳහා තම රංගන දායකත්වය ලබා දුන් ඇය 'සූරියකාන්ත' හා 'පවුරු වළලු' චිත්‍රපට නිෂ්පාදනයෙන් ද සිංහල සිනමාවේ ප්‍රගමනයට දායක වූවාය. ඒ කැපවීම ද මෙම Silver Screen සම්මාන උළෙලේදී සම්මානයෙන් ඇගයීමට ලක් විය. '60 දශකයේ සිනමාවට පිවිසි කුසලතා පූර්ණ රංගවේදිනී සුවිනීතා වීරසිංහ ද මෙහිදී සම්මානිතවූවන් අතර වූවාය. රොබින් තම්පෝගේ 'සුහද දිවි පිදුම' හි නර්තන ජවනිකාවක් ද 'සුදු සඳේ කළු වලා' හි ප්‍රධාන චරිතයක් රඟපාමින් සිනමාවට පිවිසි ඇය සුදෝ සුදු, දෙලොවක් අතර, වැලි කතර, සිකුරු ලියා, හුලවාලි, යුගාන්තය, සතිපූජා ආදී චිත්‍රපට ඔස්සේ රසික සිත්වල ලැඟුම් ගත් සොඳුරු රංගන ශිල්පිනියකි. ප්‍රතිභාපූර්ණ රංගවේදී සිරිල් වික්‍රමගේ ද මෙම සම්මාන උළෙලේ දී ඇගයුමට ලක් විය. මූදු පුත්තු නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි සිරිල් වික්‍රමගේ 'හඳපාන' චිත්‍රපටයෙන් සිනමාවට එක්ව සත් සමුදුර, බිනර මලී, වෙස්ගත්තෝ, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සුද්දිලාගෙ කතාව, පාලම යට, සෙයිලම, මාරුතය, තුන්වැනි ඇහැ ආදී සිනමා නිර්මාණ සඳහා රංගනයෙන් එක්වූ ඔහු සම්මානනීය රංගවේදියෙකු සේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගේ භූමිකාව ද සැබෑ ලෝකයේදී නිරූපණය කරන්නට වරම් ලැබුවේය. ඒ 'සිහින ලොවක්' හා කරදිය වළල්ල චිත්‍රපටයන්ය. එමෙන්ම පළිඟු මැණිකේ, ඇල්ල ළඟ වලව්ව ආදී ටෙලිනාට්‍යයන්හි රඟපාමින් පුංචි තිරය ද ජය ගන්නට ඔහු සමත් විය.
'60 දශකයේදී ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගිය රංගවේදිනී අනුලා කරුණාතිලක ද මෙහිදී සම්මානයෙන් පුදනු ලැබුවාය. 1963 දී ධර්මසිරි වික්‍රමරත්නගේ 'රන්තෝඩු' නාට්‍යයේ රංගනය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය වූ ඇය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'ගම්පෙරළිය' ඔස්සේ සිනමාවට පිවිසියාය. 'පරසතු මල්', 'ගොළු හදවත' චිත්‍රපට සේම සුදත් දේවප්‍රියගේ 'අඹ යහළුවෝ' හි ඈ කළ රංගනය ද අදටත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියය. කෝරළේ මහත්තයා ලෙස අදට ද කා අතරත් මතකයේ රැඳී සිටින ප්‍රතිභාපූර්ණ නළුවෙකු, නායකයෙකු, ගුවන්විදුලි ශිල්පියෙකු වන විජේරත්න වරකාගොඩ ද Silver Screen සම්මාන උළෙලේ දී බුහුමනට ලක් විය. සුහද දිවි පිදුම චිත්‍රපටය වෙනුවෙන් ඔහු Silver Screen සම්මාන උළෙලේ දී බුහුමනට පාත්‍ර විය. සුහද දිවි පිදුම චිත්‍රපටයෙන් ඔහු සිනමාවට එක්වූ අතර, බිනර මලී, ගොළු හදවත, නිදානය, අරුණට පෙර, තුංමන් හන්දිය, ආරාධනා, රෝස වසන්තේ, සරෝජා ආදී චිත්‍රපට රැසකට රංගනයෙන් එක් විය.
1960 දී සුදු දුව චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා ලෙස සිනමාවට පිවිසි එස්.ඒ. අලගේෂන් දෙබස් හා තිර රචනයෙන් ද සිනමාවට දායකත්වය දැක්වූ අතර, මෑතක තිරගත වූ 'ආලෝකෝ උදපාදි' හි දමිළ දෙබස් රචකයා ද විය. මෙම සම්මාන උළෙලේ දී ඔහු ද ඇගයීමට පාත්‍ර විය. පරසතු මල් චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානිත වූ ධර්මසේන හේමපාල සීගිරි කාශ්‍යප, ගම්පෙරළිය, සිරිබෝ අයියා, ගඟ අද්දර, දෑස නිසා ඇතුළු චිත්‍රපට සියයකට කලා අධ්‍යක්ෂණයෙන් එක්විය. ඔහු ජනාධිපති සම්මාන 7කින්ද පිදුම් ලැබූ අතර, Silver Screen සම්මාන ලැබූවන් අතර ඔහු ද සිනමාවට කැප වූ විශිෂ්ටයෙකි. ජය අපටයි, රන්දෙණිගල සිංහයා, නොමියෙන මිනිසුන් වැනි සිනමා නිර්මාණවල තම දක්ෂතා දැක්වූ සුනිල් බමුණුආරච්චි ද මෙහිදී ගෞරව සම්මානය පාත්‍ර විය. එසේම 1964 දී 'අල්ලපු ගෙදර' චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලාංකික සිනමාවට එක්වූ ඇන්ටන් ග්‍රෙගරි ද පසුගියදා සම්මානිත වූ කලාකරුවන් අතර විය. පසු කලෙක ඔහු යළි පුපුණු මලක්, පාරමිතා ආදී චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා ද විය. ශබ්ද පරිපාලකවරයෙකු, සංස්කාරවරයෙකු ලෙස සිනමාවට දායක වූ පියසිරි නාගහවත්ත, චිත්‍රසේනයන්ගේ 'නළ දමයන්ති" සමඟින් රංගනයට එක්ව දස්කොන සහ, දීපශිකා ඇතුළු චිත්‍රපට සඳහා රංගනයෙන් එක්වූ කිත්සිරි පෙරේරා ද ආදී ප්‍රවීණයෝ ද මෙහිදී ඇගයීමට පාත්‍ර වූහ. 1963 වසරේ 'මංගලිකා' චිත්‍රපටයෙන් සිනමාවට එක්ව රුක්මණී දේවිගේ පටන් අද දක්වාම මෙරට සිනමා නිළියන් රැසකගේම වේෂ නිර්මාණ ශිල්පියෙකු ලෙස කටයුතු කරන සෑම් පෙරේරා ද Silver Screen සම්මාන උළෙලේ දී සම්මානයෙන් පිදුම් ලැබීය. තවද 'නිම් වළල්ල' චිත්‍රපටයේ සංස්කාරකවරයා ලෙස සිනමාවට අවතීර්ණ වූ ලාල් දිසානායක කැමරා ශිල්පියෙකු, නිෂ්පාදකයෙකු ලෙස ද සිනමාවේ ප්‍රගමනය වෙනුවෙන් දැක්වූ දායකත්වය උදෙසා ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.
ප්‍රභූන් සහ සිනමා තාරකාවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම Silver Screen සම්මාන උළෙල යුගයේ අවශ්‍යතාවයක් බව හැඟෙන්නේ සම්මාන හා තිළිණ ලැබූ සිනමාවේ එම ජ්‍යෙෂ්ඨයන්ගේ මුව මත රැඳි සතුටු සිනා නිසාමය. රංගවේදී සුමිත් බිබිලේ කලාකරුවාගේ සිහිනයක් සැබෑ කරමින් මෙම උළෙල පැවැත්වීමේදී ඔහුගේ දියණිය රංගන ශිල්පිනී සනෝජා බිබිලේ, සුනිල් ටී. ප්‍රනාන්දු, මෙවන් විශිෂ්ට කර්තව්‍යයක බර පැන ඉසිලූ තිරු මුරුගන් හා වසන්ත ජයවර්ධන Silver Screen සම්මාන උළෙල වෙනුවෙන් මාධ්‍ය සම්බන්ධීකරණය කළ උපුල් නිශාන්ත ඇතුළු සියලු දෙනාගේ කැපවීම කෘතවේදීව සිහි කරන්නේ එය සැබෑ ජාතික යුතුකමක් සේ සලකා අසීමිත කැපකිරීමකින් කළ කාර්යයක් බැවිනි. එසේම කීර්ති පැස්කුවල්, රොජර් සෙනෙවිරත්න, විශ්ව කොඩිකාර ඇතුළු කලා ශිල්පීන් රැසක් ද එම රාත්‍රිය වර්ණවත් කිරීමට තම ප්‍රාසාංගික දායකත්වය ලබා දුන්හ. අතීතයේ කැපකිරීම් මත වර්තමානයෙන් අනාගතයට අප පිවිසෙන බැවින් අතීතයට කෘතවේදී වන Silver Screen සම්මාන උළෙල ඉදිරියටත් නොකඩවා පවත්වන්නට හැකි වේවායි 'හදසර' අපි සුබ පැතුම් එක් කරමු.
I මොනිකා සේරසිංහ
සේයාරූ- උපුල් නිශාන්ත