2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

ලෝකයක් දිනන්නට මහමෙරක් අවැසි නැත

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 03:59 200

මම චතුරිකා සඳමාලි. මගෙ පවුලට ශක්තියක් වීමේ අදහසින් ස්වයං රැකියාවක් ලෙස බනානා චිප්ස් නිෂ්පාදනය කරනවා. කිසිම රසකාරකයක් අඩංගු කර නොමැත. ගන්නෝරුව ආහාර පර් යේෂණ ඒකකය මගින් තත්ත්ව සහතිකය ද ලබාගෙන ඇත. විශ්වාසයෙන් මිලදී ගත හැක.

අවශ්‍ය අය අමතන්න.

0761790574/ 0779530571

තරුණ ගැහැනු ළමයෙක් පළ කර තිබූ මේ දැන්වීම මගේ ඇස ගැටුණේ මුහුණුපොතේ සැරිසරද්දි.. ඒ දැන්වීම තමන්ගේ මුහුණුපොතේ ගිණුම තුළ අන් අය සමඟ බෙදාගන්න තරම් මගේ ආදරණීය ගුරුවරයෙක් කාරුණික වී තිබුණා. ඒ කාරුණිකත්වය ප්‍රසංශනීයව අගයමින් මට ඇය ගැන ලියන්න හිතුණා.. ඒ පුංචි දැන්වීම ඇත්තටම එක ක්ෂණයකින් මගේ හිත අරගෙන ගියේ Miss India කියන චිත්‍රපටය අද්දරට.. මිස් ඉන්ඩියා චිත්‍රපටයේ කතා සාරාංශය තුළ දිගහැරෙන්නේ ඉන්දියාවේ ඉඳන් ඇමෙරිකාවට ගිහින් හුඟාක් අභියෝග මධ්‍යයේ තමන්ගේම පුංචි ව්‍යාපාරයක් පටන් අරගෙන තේ නිෂ්පාදන සන්නාමයක් ඔස්සේ ජීවිතයම ජයගත් සුන්දර සොඳුරු පෞරුෂත්වයක් හිමි යුවතියකගේ කතාවක්...

ජීවිතය අල්ලගන්න කිසිම දෙයක් නැති තැනකදිත් ජීවිතය අංශමාත්‍රයකින් හරි අල්ලගන්න හේතුවක් හොයාගෙන, ජීවිතයට ආදරය කරන්න කියා දෙන්න කෙනෙක් නැතිනම් ජීවිතයට තනියම ආදරය කරන්න ඉගෙන ගන්න මිනිස්සුන්ට මම හරි ආදරෙයි. ජීවිතය තේරුම් ගන්න පුළුවන් නිවැරදිම විදිහ ජීවත්වීම කියලා මම විශ්වාස කරනවා. ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් හොඳම විදිහ ජීවිතය විඳීම සහ අත්දැකීම් තුළින් ලබාගන්න අවබෝධය කියලා මම විශ්වාස කරනවා. ජීවිතය හමුවෙන සහ හමුනොවන තැන්වලදිත් ජීවිතය අත්නොහැර ජීවත් වෙන මිනිස්සුන්ට අවසානයේදි ජීවිතය සොඳුරු ක්ෂේම භූමි කරා රුගෙන යන්නට හැකි බව මම විශ්වාස කරනවා. 

චතුරිකා කියන්නෙත් ජීවිතය ධෛර්යෙන් සහ උත්සාහයෙන් අල්ලගෙන ජීවත්වීමට ධෛර්ය සම්පන්න අර්ථකථනයක් එක්කරන යුවතියක් කියලයි මට හිතෙන්නේ. ඇත්තටම අගය කළ යුතු වෙන්නේ ඇගේ ඒ උත්සාහයයි. අරමුණක් ඇතුව ඇය යන්නට හදන ගමනේ සමාරම්භයයි.

සරසවි උපාධිය අරගන්න බහුතර ශිෂ්‍ය ප්‍රජාවකගේ අරමුණ වෙන්නෙ රැකියාවක්. පුංචි දවස්වල ඉඳන්ම හුඟාක් දරුවන්ගෙන් ලොකු වුණාම කවුද වෙන්නෙ කියලා අහන ප්‍රශ්නයට පුංචි දරුවන් දෙන්න පුරුදු වී තියෙන උත්තරය වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරයෙක් වගේ උත්තර. ලොකු වුණාම ව්‍යවසායකයෙක්, කලාවේදියෙක්, ලේඛකයෙක් වෙන හීන දකින දරුවන් හරි අල්පයි. ඒ ඔවුන්ගේ ලෝකය එවැනි භූමිකාවන් ගැන දන්නෙම නැති හින්දා සහ එවන් භූමිකාවන් ගැන ධනාත්මක ආකල්පයන් සමාජය විසින් නිර්මාණය කර හෝ සන්නිවේදනය කර නොමැති නිසා එහෙම හීන දකින්න පසුබිමක් බහුතරයක් මව්පියන් හෝ ගුරුවර ගුරුවරියන් උදාකර දී නැති නිසා.. තවත් කෙනෙක් යටතේ රැකියාවක් කරන හීන ඇරෙන්න තම හැකියාවන් ඔස්සේ යන ගමනක් ගැන, නව නිර්මාණශීලී ව්‍යවසායකයෙක් වෙන ගමනක් සහ හීනයක් දරුවන්ගේ හිත්වල නිර්මාණය කරන්න තරම් ශ්‍රී ලාංකික අධ්‍යාපන සාක්ෂරතාව පොහොසත් නොවන නිසා..

රටක් සංවර්ධනය කරා යන ගමනේ ප්‍රගමනය උදෙසා නව නිර්මාණශීලී ව්‍යවසායකයන් බිහිවීම සහ දේශීය ආර්ථිකයක් ගොඩනැංවීම අත්‍යවශ්‍යම කාරණයක්. දිගු ගමනක සමාරම්භය හරි පුංචි තැනක් වෙන්න පුළුවන්. නවලෝක සමූහ ව්‍යාපාරය, දාස සමූහ ව්‍යාපාරය වැනි ශ්‍රී ලාංකික ව්‍යාපාර ගණනාවක් ඒ සඳහා අතීතයේ සපයා දුන් සංනිදර්ශන බොහෝමයි. අධ්‍යාපන කඩඉම්, උපාධිය, උපාධියට රැකියාව, නැත්නම් රැකියාවක් වෙනුවෙන් අරගලය මත යැපෙන තරුණ පරපුරකට බැරි ඇයි තමන්ගේ ආත්ම ශක්තිය සහ නිර්මාණශීලී චින්තනය තුළින් නවමු මාවතකට ප්‍රවේශ වෙන්න... චතුරිකා සඳමාලි ඔබ ඇගයුමක් වන්නේ එන්න එවන් පසුබිමකයි.. ඔබට ආශිර්වාදාත්මක සුබ පැතුමක් එක් කරන්නේත් එවන් පසුබිමකයි.