ඔයාට මම ආදරෙයි කියලා කවදාවත් මට වචනවලින් කියන්න හිතුණෙ නෑ... ඇයි මම ඔයාට ආදරෙයි කියලා වචනවලින් කියන්නේ... මම ආදරෙයි කියලා ඔයාට දැනෙන්න ඕනෑ තැන් හුඟාක් ඔයාට හමුවුණා...
ආදරෙයි කියලා කියන්න පුළුවන් වචනවලින් විතරක්මද? මම ආසයි වචන නැතුව ඔයා එක්ක දිගම දිග සල්ලාප දිගේ ඔහේ ඇවිදින්න... කළු ඉංගිරියාවත් මම ආසම දුඹුරු පාටින් දිලිසෙන ඔයාගේ ඇස් දිහා බලාගෙන ඔහේ ඇවිදින්න ආසයි මම...
ඇරඹුමක් විතරක් තිබුණම ඇති ආදරයකට.. කවදාවත් මේ ලෝකයේ කිසිම දෙයක අවසානයක් ගැන, කෙළවරක් ගැන කියන්න පුළුවන්ද කාටවත්ම... මේ මොහොත හැර සියල්ල අවිනිශ්චිතයක්.. ඒ අවිනිශ්චිතය තුළ ඇයි අපි ඊළඟ මොහොත ගැන වද වෙන්නේ.. ඇයි ඊළඟ මොහොත දෙවුර දරන්නේ... ඒ වෙහෙසකර සියලු සමුදායන් පැත්තකින් තියලා මේ මොහොත තුළ ජීවිතය අනන්තය තෙක් හොයාගෙන හොයාගෙන හොයාගෙන යමු අපි...
ඒත් ඔයා ආදරෙයි කියලා කීවාට පස්සේ මට ආසයි ඔයාට හැම දවසකම ආදරෙයි කියලා කියන්න. මේ ලෝකයේ මම ආසම වචනය තමයි ආදරය.. හැම භාෂාවකම මම ආසම වචනය ආදරය.. හැම හදවතක් අස්සේම මම හොයන හැඟීමත් ආදරය..
ඒත් ඔබ මුණගැසෙන තුරු...
සිරවී තිබුණා හද පතුලේ
ඔබ වෙත පිදු සෙනෙහේ
අවදි කළා ඔබ නොසිතූ මොහොතක
මා සඟවා සිටි ආදරේ...
නොඇවිලී සිටි මම අවුලුවාලූ මගේ සඳ නුඹ... මම ආසයි ඒ සඳ කිරණට... කොයි තරම් නම් පිරිසිදුද... හරියට තණකොළ පලසක් මත ඉහිරිච්ච පිනි බිඳුවක් වගේ....
එක දවසක් හැන්දෑවක ඔයා මට ආදරෙයි කීවා.. මට මතකයි... හැබැයි එදා ඉඳන් අද මේ මොහොත වෙනකම් ඔයා මට කවදාවත් ආදරෙයි කියලා කීවේ නෑ...
ඒත් කල්පයක් සේ හැඟුණු දිගු කාලයකට පසු මගේ ජීවිතය මත ඇදහැලිච්ච ආදරයේ මහ වර්ෂාව ඔයා නේද? ඉතින් මම ආසයි ඒ වැස්සේ මට ඇති තරම් තෙමෙන්න... සීතලේ වෙව්ලන්න... හීගඩු පිපෙනකම් තෙමෙන්න... ඇවිලෙන අවුලන හැම ගින්නක්ම නිවෙනකම් තෙමෙන්න... මම ආසයි ඔයාගේ පපුතුර මත හිස හංඟාගෙන දුඹුරු පාටින් දිලිහෙන කළු ඉංගිරියාව අස්සෙන් හදවතට එබීගෙන ආදරයේ අකුරු කියවන්න... ඔයාගේ පපුව අස්සේ ළා දහඩිය සුවඳට මුහුවෙච්ච විලවුන් සුවඳ සුළං රැල්ලක දවටලා ඒ සුළඟේ ඔහේ නැලවෙන්න... මම ආසයි ඔයාගේ වැලමිටට ඉහළින් අත ටිකක් රිදෙන්නම අල්ලගෙන ඔයාගේ උණුහුම දැනෙන තරම් තුරුල් වී ඇවිදින්න...
ඔබේ සුවඳ ගෙන සුළං කැරැල්ලක
දැවටෙන්නට ආසයි
ඔබ අතිනත ගෙන ඔබට තුරුල් වී
ඇවිදින්නට ආසයි
මම ආසයි ඔයා මගේ කියලා හිතන්න.
නෑ මගේ කියලා නෙවෙයි මගේමයි කියලා හිතන්න...
මම අහලා තියෙනවා සංස්කෘත ශ්ලෝකයක කියනවා ශරීරයට ශරීරය හමුවුණු තැන නෙවෙයි හදවතට හදවත හමුවුණු තැන ලස්සනයි කියලා... ඉතින් හදවතට හදවත බැඳිච්ච තැන ඇයි මට මගේම වෙච්ච ආදරය වෙනුවෙන් අයිතියක මුද්‍රාවක්...
මගේ හිතට ඔයා මගේ නම් ලෝකයට ඔයා කවුරු වුණත්...
කවුරුන්ද ඔබ මගේ...
කවුරුන්ද මා ඔබේ
කියලා අහන ප්‍රශ්නය මට නෑ...
ඒ හින්දා මම කවදාවත්...
ඔබ අන්සතු යැයි කිසිම විටෙක මා නොසිතන්නට ආසයි.
ඒත් මම
කවදා යළි අප එක්වන්නේදැයි දැනගන්නට ආසයි..
ලෝකයම නෙත් වසන මොහොතක හරි ඔයා ඇසිල්ලකට සිතින්ද සිරුරින්ද මගේම වෙන්න මගේ ළඟට එන ඒ ආදරණීය මොහොතට මට හරි ආසයි...
මම ආසයි කල්පයකින් අසුරු සැණක් වගේ දැනෙන ඒ මොහොත ආයෙත් කවද්ද එන්නෙ කියලා ඔයාගෙන් අහන්න.
ඔබ අන්සතු යැයි කිසිම විටෙක මා
නොසිතන්නට ආසයි
කවදා යළි අප එක්වන්නේදැයි
දැනගන්නට ආසයි...
මම දන්නෙ නෑ තාමත් අපේ ආදර කතාව ලස්සන කතන්දරයක වචන දිගේ දිගහරින්න.. සංසාරේ ඔයයි මායි එකට ආව ගමනක අක් මුල් හොයාගෙන ඇරඹුම තෙක් ඒ ගමනේ දුර හොයන්න මම දන්නෙ නෑ. ඒත් මට දැනෙන එකම දේ මම මහ දුර ගමනක් ඔයා එක්ක ආ බව විතරමයි... ඔයා කවදා හරි මගේ ජීවිතයෙන් සමුගන්න දවසක් ඒවිද මම දන්නෙත් නෑ.. ඒත් මම හැමදාම ප්‍රාර්ථනා කරන එක දෙයක් තියෙනවා. මම මේ ලෝකයෙන් යනකම් ඔයා කවදාවත් මේ ලෝකයෙන් නික්මී නොයනු මැනව කියලා... ජීවිතයේ මට කවදාවත් දරාගන්න බැරි එකම සමුගැනීම එච්චරයි...
ඇරඹුම කෙලෙසද අවසන කොතැනද
නැත කිසිවෙකු දන්නේ
මා එක් තැනකය ඔබ තව තැනකය
කෙලෙසද හමුවන්නේ
ගතවන මොහොතක් පාසා හද තුළ
ආදරෙ ලියන්නේ
සෙනෙහස පමණකි හිතවත ඔබගෙන්
මා උදුරා ගන්නේ
හමුවෙන්න වරම් නැති දෙතැනක උන්නත් හැම මොහොතක් ගාණෙම නුඹ නමින් ලියන්නේ ආදරයයි.. හදවතේ පිපෙන හැම මලකම තියෙන්නෙ ඔයාගේ සුවඳ පාට.. ඒ මල දරාගෙන ඉන්න මල් නටුව කියන්නෙ ආත්මයෙන් ආත්මය ඔයා මට මුණගැසුණු සංසාර මතකයන්.. ඒ මල් නටුවට ඉතින් මම ඒ මලටත් වඩා ආදරෙයි... නුඹ නමින් ලියලන දළුලන ආදරේ හැම ළපල්ලක්ම සංසාර අනන්තයක දුර හා යා වෙච්ච සොඳුරු මතකයක්...
ජීවිතයේ කවදාවත්... මගේ හුස්ම මේ මිහිමඬල තුළ සරන අවසන් තත්ත්පරය තෙක් මම ඔයාගෙන් කවදාවත් කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ... ආදරය හැරෙන්න... ඔයාගේ ජීවිතයෙන් කිසිම දෙයක් මම උදුරාගන්නෙත් නෑ ආදරය හැරෙන්න...
ඉතින් තවත් ඉසුරු කුමකටද මට...
ජීවිතයම ආදරය තුළ භාවනාවක නිමග්න වූ කල...
''සසර සැරිසරන තෙක් ඔබ මගේ... ඔබ මගේ...''
(පද නිමැවුම: සනත් ගුණතිලක
ස්වර නිමැවුම: සුරේෂ් මාලියද්ද
ගැයුම: නිරෝෂා විරාජිනී)
I සංජු