රංගන ශිල්පිනියක ලෙස දශක ගණනාවක් පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගැනීම යනු පහසු කාර්යයක් නොවේ. එයට දක්ෂතාවය සේම ඊට මුසුවූ කැපවීමක්ද තිබිය යුතුය. වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව ආදී ලෙස එම කලා මාධ්‍යයන් ත්‍රිත්වයේම දස්කම් පෑ ඇය විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තාය. එමෙන්ම හඬ කැවීමේ ශිල්පිනියක ලෙසද ඈ ක්ෂේත්‍රයට එක්වූවාය. ඇය අප කවුරුත් ආදරය කරන කුසුම් රේණු නම් වන්නීය.
"මම රාජගිරිය ප්‍රදේශයේ. අම්මා තාත්තා දෙන්නාම රැකියාවන්හි යෙදුණා. ලංකාවේ ප්‍රථම මෝටර් රථ අංක තහඩු පින්තාරු කිරීමේ යෙදුන කාන්තාව තමයි අම්මා. ඇය යසි ලියනගේ. තාත්තා එඩ්වින් ලියනගේ. මට අයියලා තුන්දෙනයි, නංගියි, මල්ලියි. එයාලා කවුරුත් කලාවට සම්බන්ධ වුණේ නැහැ. මම විතරයි කලා ක්ෂේත්‍රයට ආවේ. මම ඉගෙන ගත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ. අධ්‍යාපන කටයුතුත් හොඳින් කළා. හැබැයි මම හරිම දඟ ළමයෙක්. නොයෙකුත් දඟකාරකම් කළ දැරිවියන් අතරේ මම ඉදිරියෙන්ම හිටියා. නමුත් අධ්‍යාපන කටයුතුත් හරියටම කළ නිසා ගුරුවරියන් හරිම ආදරෙයි. මම පෙරදිග තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකාවක්. ජනාධිපති බාලදක්ෂිකාවක්. ශිෂ්‍යනායිකාවක්. විවිධ සමිති සමාගම්වල විවිධ තනතුරු දැරුවා. ඉතාම සුන්දර පාසල් කාලයක් මට තිබුණා. අද මතක් කරද්දීත් හරිම සතුටයි."
පාසල තුළ ඉතා දක්ෂ දීප්තිමත් දැරියක වූ කුසුම් සෑමවිටම කෙළිදෙලෙන් ගත කළාය. පාසලේදී කළ විවිධ දඟ වැඩ නිසා දඬුවම් විඳින්නටද සිදුවූ බව ඇය සිහිපත් කරයි.
"වැස්සට අපි හරි කැමැතියිනේ. එදා වැස්ස දවසක්. මමයි මගේ යෙහෙළියන් ටිකයි ගේට්ටුව ළඟට වෙලා එන ළමයින්ට විවිධ දේ කරනවා. අපි සපත්තු ගලවගෙන යාළුවෝ ටික එකතුවෙලා වැසි වතුර ගලාගෙන යන වැහිවතුරට පනිනවා. එක කණ්ඩායමක් කුඩ ඉහළන් එන අයගේ කුඩ හකුළනවා. දඟ වැඩ. මේක දැකපු කවුරු හරි විදුහල්පතිතුමියට කියලා තිබුණා. අපිව කාර්යාලයට අරන් ගියා. මම ශිෂ්‍ය නායිකාවන්නේ. මගේ බැජ් එක ගැලෙව්වා. හරිම ලැජ්ජයි, බයයි. හැබැයි එදාම ආයේ මැඩම් මට එන්න කියලා බැජ් එක ගැහුවා. මට හරිම සතුටුයි. විදුහල්පතිනියම තමයි බැජ් එක ගැහුවේ. ඉතින් ඒක ගහගෙන එනගමන් මම අනිත් අයට කෑ ගගහා කියනවා, හේයි, කාගෙද මෙහෙම ප්‍රින්සිපල් දෙසැරයක් බැජ් එක ගැහුවේ. මගේ විතරයි. කොහොමද මගෙ වැඩ කියලා. ප්‍රින්සිපල් මැඩම් මේක ඔෆිස් එකේ ඉඳන් බලන් ඉඳලා. ඒත් මොකුත් කිව්වේ නැහැ. මොකද එයාලා අපිව තේරුම් අරන් තිබුණා. වයසේ දඟකාරකම හැරුණාම අපි නරක ළමයි නොවෙයි කියලා. ඇත්තටම ඒ විශ්වාසය නිසා තමයි අද අපිට ජීවිතය නිවැරදිව අවබෝධ කරගන්න හැකිවෙලා තිබෙන්නේ.
මේ ඉතාම මෑතකදී අපේ එක ගුරුතුමියක් අසනීප වෙලා ඉන්නවා. අප ඇය බලන්න ගියා. අපේ P.T. ටීචර්. ඇලෙක්ස් ද සිල්වා මහත්මිය. ඇය මගේ ජීවිතේ වීරවරියක්. ඇයට හරිම සතුටුයි අපිව දැක්කම. මිස්ව බලාගන්න හිටිය හෙද සොයුරිය ඇහුවා මෙයාලා ඒ කාලේ හරි නෝටි නේද කියලා. එතකොට මිස් ඔළුව වනලා කිව්වා නෝටි නෑ, දඟයි කියලා. අපේ ආදරණීය ගුරුවරුන් අපිව හොඳින්ම තේරුම් අරන් තිබුණා. එනිසා අදටත් එයාලා අපේ ලෝකයේ වීරයන්."
ඇය පාසල් අතීතය සිහි කරන්නේ ආදරයෙන්ය. පාසලේදී නිවැරදිව ගොඩනැගුණ දරුවා අනාගතය ක්‍රමවත්ව සකසා ගන්නා බවයි අප සෑම පිළිගන්නා සත්‍යය.
"පාසල් යනවා, උදේම ගිහින් බෑන්ඩ් ප්‍රුක්ටිස්, ගයිඩින්, ආයේ හවස පාසල නිමාවෙලත් ක්‍රීඩා පුහුණුවීම් නැත්නම් සංගීත පුහුණුවීම. හොඳටම හවස්වෙලා ගෙදර එන්නේ. අපේ ජීවිතයේ වැඩි කාලයක් පාසලේ. ඒ වගේම ඉරිදාට දහම් පාසලේ. මට මතකයි ගුවන් විදුලි සංස්ථාවේ දහම් පාසල් ගීතය පටිගත කරද්දී මාත් ගායනා කළා.
"සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන්
සැනහෙන අප සිරි ලක් දරුවෝ..."
අදටත් ඉතා හොඳින් මතකයි මට. අපේ නායක හාමුදුරුවෝ දෙවුන්දර ධර්මාරාම හාමුදුරුවෝ. උන්වහන්සේත් අපේ ජීවිත හදාගන්න ලොකු අත්වැලක් වුණා. උන්වහන්සේ ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා."
පාසලෙන් සමුගත් ඇය ගුරු වෘත්තියට එක්වූවාය. එමෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ලිපිකාරිණියක් ලෙස සේවයට පසුකලෙක එක්වූවාය. ඒ අතරතුර ඇයට රංගනයට අවස්ථාවක් ලැබුණේ ඇගේ ඥාති මාමා කෙනෙකුගේ සහ මවගේ මැදිහත්වීම නිසාය.
"දෛවයෝගය වැනි චිත්‍රපට සදහා රංගනයට එක්වූ සේනාධිර කුරුප්පු මගේ මාමා කෙනෙක්. මාමාටත් අපේ අම්මාටත් තමයි අවශ්‍ය වුණේ මාව නිළියක් කරන්න. මම කැමැති වුණේ නැහැ. මොකද මම ඒ වෙද්දී ක්‍රීඩාවට යොමුවෙලා ඊට වැඩි කැමැත්තකින් තමයි හිටියේ. ඇත්තටම කිව්වොත් බලෙන්ම වගේ තමයි මාව රංගනයට යොමු කළේ. ඒත් මගේ ස්වභාවය තමයි මම අකමැත්තෙන් හරි තැනකට යොමු කෙරෙව්වාට පසු ඒ තැන හොඳින් රැඳෙන එක. ඒ කියන්නේ ලැබුණ ඉලක්කයක් ඔස්සේ නිශ්චිත ගමනක් යන්න තමයි මම උත්සාහ කළේ. මට මුලින්ම ලැබුණෙත් ප්‍රධාන චරිතයක්. ඒ රංගනයට ලැබුණු ප්‍රතිචාර මාව අකමැත්තෙන් පිවිසුණ තැනක වුවත් රැඳෙන්නට කැමැත්තක් ඇති කරන්නට හේතු වුණා.
ටී.බී. ඉලංගරත්නයන්ගේ කෘතියක් ඇසුරෙන් කළ "සෛලාසනය" තමයි ඒ නාට්‍යය නිර්මාණය. ඊට පෙර මම ජීවන කඳුළු, සත්කුළ පව්ව වැනි චිත්‍රපටවල රඟපාලා තිබුණා. ඒ සියල්ල මාමා "සේනාධීර කුරුප්පු" ගේ වුවමනාවට. ඉන්පසු 80 දශකයේ මුල් වකවානුවේදී මම රංගන ශිල්පිනියක් ලෙස තරුණ සේවා නාට්‍ය සම්මාන උළෙලේ හොඳම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබනවා. "මන්දාරම් වැහි" නාට්‍යයට. 1983දී "දෙයියන්ගේ පුංචි අක්කරය" 1984දී අනුර චන්ද්‍රසිරිගේ "හිම කුණාටුව" වේදිකා නාට්‍යය වෙනුවෙන් හොඳම නිළිය ලෙස ඇගයීමට ලක්වෙනවා. ඒ සමඟම සයිමන් නවගත්තේගමයන්ගේ "පණ්ඩුකාභය" නාට්‍යයට මම එක්වුණා උන්මාද චිත්‍රා ලෙස. එහි දීඝගාමිණී ලෙස ශ්‍රියන්ත මෙන්ඩිස් රංගනයේ යෙදෙනවා. එම නාට්‍යයෙන් ඇගේ සැබෑ ජීවිතයටද ප්‍රේමණීය ආරාධනාවක් ලැබිණ. ඒ ආරාධනය පිළිගත් ඔවුන් 1986 ඔක්තෝබර් 25 වැනිදා විවාහ දිවියට ඇතුළත් විය. විවාහයෙන් අනතුරුව ඇය රංගනයෙන් ඉවත් වූ සෙයක් දක්නට ලැබිණ. එයට හේතු තිබුණි.
"ශ්‍රියන්ත ඒ වනවිට පළිඟු මැණිකේ නාට්‍යයේ රඟපාන කාලය. මම ශ්‍රියන්තට ආදරය ප්‍රකාශ කරලා සතියක් දෙකක් යද්දී තමයි එයාට පළිඟු මැණිකේ ලැබුණේ. ශ්‍රියන්ත ගුරුවරයෙක්. ඒ නිසාම මගෙන් සිහිනයක් තිබුණා. විවාහයෙන් පස්සේ මම කලින් ගුරුවරියක ලෙස කටයුතු කොට තිබූ නිසා යළිත් ඒ සඳහා යොමුවෙන්න, හවසට වේදිකා නාට්‍යයක් බලන්න යන්න, සැහැල්ලු සුන්දර ජීවිතයක් ගත කරන්න, ඇත්තටම අපේ සම්බන්ධය ඇතිවුණේම එහෙම බලාපොරොත්තුවක් එක්ක. ඒත් පළිඟු මැණිකේ විකාශය එක්ක ශ්‍රියන්ත මේ රටේ ජනප්‍රියම නළුවෙක් වුණා. අපේ සම්බන්ධය පටන් ගත් සැණින්ම වගේ ගෙදරට ආරංචි වුණා. මම "සූරසේන" එක්ක පාරේ කතා කර කර හිටියා කියලා. මේ සියල්ල එක්ක විවාහය සිදුවෙනවා. ඉන් වසරකින් පසු ලොකු දුව ලැබුණා. මම රංගනයෙන් ඈත්වෙලාම ගියා. ඒ වෙද්දී රූපලාවන්‍යාගාරයක් ආරම්භ කරලත් තිබුණා. සමහර වෙලාවට රංගන ශිල්පිනියක් නොමැති වුණාම එහෙම මම චරිත කරනවා. ඔහොම යද්දී ශ්‍රියන්ත මගෙන් ඉල්ලීමක් කළා එයාගේ නාට්‍යයක රංගනයට එන්න කියලා. ඒත් ඉතින් මම කිව්වා ආයේ රඟපාන්න පටන් ගත්තොත් මම දිගටම රඟපානවා කියලා. මම රූපලාවන්‍යාගාරයත් වහලා තමයි ආයේ රඟපාන්න පටන් ගත්තේ. චූටි දුවත් ලැබිලා ඒ වෙද්දී.
1999 වසරේදී මට එකවර ආරාධනා ගොඩාක් ආවා. මම කේ.බී. හේරත් මහතාගේ "දෙවැනි මහින්ද" වේදිකා නාට්‍යයට එක්වෙනවා. එයින් 1999 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ මා හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා. ඒ සමගම "නෝනාවරුනි - මහත්වරුනි" සහ "දාමිණී" ටෙලිනාට්‍යවලට එක් වුණා. වසර 04ක් පමණ එක දිගට මම රැකියාවට යනවා වගේ මේ නාට්‍ය දෙකේ රෑගත කිරීම්වලට සහභාගි වුණා. බබා අරන් මහගෙදර ගිහින් තියලා මම රඟපාන්න යනවා."
ශ්‍රියන්ත - කුසුම් යුවළට දියණියන් දෙදෙනෙකි. නිපුණි ප්‍රේක්ෂා වැඩිමල් දියණිය වන අතර දෙවැනි දියණිය තාරුකී අමායා ය.
"නිපුණි මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙස ඉන්දියාවේ බැංගලෝර් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගෙන දැන් ලංකාවට ඇවිත් මනාලියන්ගේ ඇඳුම් නිර්මාණය කිරීමේ කටයුතු ඉතා හොඳින් කරගෙන යනවා. දෙවැනියා තාරුකී හඬකැවීම් ශිල්පිනියක් ලෙස හොඳින් තම කටයුතු කරගෙන යනවා. ඒ වගේම ඇය සුබ සහ යස, රාස්ස පරාස්ස ආදී නාට්‍යවලත් රඟපෑවා. හරිම දක්ෂයි එයා. ලොකු දුවත් ටෙලිනාට්‍යයක "කුවේණී" ලෙස රඟපෑවා. නමුත් තවම එය විකාශය වුණෙත් නැහැ. ඇය ඉතා හොඳින් රඟපෑවා. දෙන්නටම ගීත ගායනා කරන්න පුළුවන්. ඒ වගේම මගේ ආදරණීය මිණිපිරිය ග්‍රුබියෙලා. ඇයත් අපේ ජීවිත සතුටින් පුරවනවා. ඒ වගේම දැන් මේ වර්තමානය වනවිට මම ඉතා කැමැත්තෙන් මසකට එක් දිනක් ධර්මානුකූල පැවැත්ම තහවුරු කරමින් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා හා භාවනා ක්‍රම සමඟ ගත කරන්නට යොමුවෙලා ඉන්නවා."
සංජානා, භේරුණ්ඩ පක්ෂියා, සොඳුරු දඩබිම, මහරජ ගැමුණු, ඝරසර්ප, අබා, ජුලියට්ගේ භූමිකාව, ධර්ම යුද්ධය චිත්‍රපටවල රංගනයට එක්වූ ඇයගේ සිනමා රංගනයද අවස්ථා කිහිපයකදීම ඇගයීමට ලක්වුණි. ඉදිරියේදී ජයන්ත චන්ද්‍රසිරිගේ "මිදුණු විශ්වය" තුළින්ද අපට ඇයගේ රංගනය දැකිය හැකිය. රංගන ශිල්පිණියක ලෙස කිසිදු රාමුවකට සිර නොවී විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක සිත්වල ආදරයෙන් රැඳුණු රංගන ශිල්පිනී කුසුම් රේණු ඔබට සොඳුරු නිර්මාණ තුළින් තව චිරාත් කාලයක් රසික සිත් පිනවන්නට හැකිවේවායි හදසර අප ප්‍රාර්ථනා කරන්නෙමු.
I මොනිකා සේරසිංහ