තෝරාගැනීම් තමයි ජීවිතයට අපූර්වත්වයක් එකතු කරන්නෙ. ඔහු අපූරු තෝරා ගැනීමක් සිදුකරපු කෙනෙක්. ඔහු නමින් අනුරුද්ධ මාලිංග. අනුරුද්ධගෙ තෝරාගැනීම වාද්‍ය භාණ්ඩයක්. සාමාන්‍යයෙන් අපි නිතර නොදකින සැක්සෆෝනය කියන අපූරු වාද්‍ය භාණ්ඩය වයන්න තෝරගෙන.
මේ කාලේ නම් ඔහුගෙ වැයුම් වැඩිපුර ඇහෙන්නෙ මෙතෙර නෙවෙයි එතෙර. අනුරුද්ධ මේ දවස්වල ජීවත් වෙන්නෙ මැදපෙරදිග. අනුරුද්ධ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝටල් සේවකයෙක්. Intercontinental Fujairah Resort කියන හෝටලයේ ශරීර යෝග්‍යතා උපදේශකයෙක් (Fitness Instructor) විදිහට ඔහු සේවය කරනවා.
ඊට අමතරව ඒ හෝටලයෙම ''බුචරි බෝයිස්'' කියන සංගීත කණ්ඩාමේ වාදකයෙක් විදිහටත් අනුරුද්ධ කටයුතු කරනවා. ඇත්තටම වැලිකතරේ අනුරුද්ධගෙ සැක්සෆෝනයෙන් මවන හඬ රටා හරිම කන්කළුයි. සමහරක් වෙලාවට ඔහු ඒ වැයුම් මුහුණු පොතටත් එකතු කරනවා. අපි ඔහුව දැනගත්තේ මුහුණු පොතෙන්.
ඇත්තටම මෙතෙර වගේම එතෙරත් ගොඩක් දෙනෙක් අනුරුද්ධගෙ සංගීතයට මන බඳිනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලාංකිකයන්ගේ ප්‍රසංගවලත් අනුරුද්ධ වයනවා. ඒ නිසාම ගොඩක් දෙනෙක් ඔහු ගැන දන්නවා. DJ සංගීතයත් එක්ක මුසුකරලා සැක්සෆෝනයෙන් හඬ රටා මවන්නත් ඔහුට අපූරු හැකියාවක් තිබෙනවා.
අනික් විශේෂත්වය තමයි සැක්සෆෝන් වර්ග අතරින් Tenor Saxophone කියන වර්ගය තමා අනුරුද්ධ වාදනය කරන්නෙ. ඇත්තටම මේ සැක්සෆෝනය වාදනය කිරීම ටිකක් විතර අමාරු වැඩක්. ලංකාවෙත් මේ වැඩේට වෘත්තීය මට්ටමේ අය ඉන්නෙත් කිහිපදෙනයි ඉන්නෙ. අනුරුද්ධ කියන විදිහට මේ වෙනකොට අපි අතර නැති අනුරුද්ධගෙ සහෝදරයා නිසාම තමා ඔහු සැක්සෆෝනයට ආදරය කරන්න පටන් අරගෙන තියෙන්නේ.
මේ අපූරු තරුණයාට තියෙන්නේ ටිකක් විශ්මයන්ගෙන් පිරුණු ජීවිත අන්දරයක්. ඒ කාලේ ඉඳන්ම අනුරුද්ධගෙ පවුල සංගීතයට බොහොම ළැදියි. අනුරුද්ධ දකුණේ මාතර පළාතෙ. ඔහුගෙ තාත්තලා බාප්පලා මාමලා හොඳ වාදකයෝ. පොඩි කාලේ ගෙදර නිතර පැදුරු සාජ්ජ වගේ දේවල් තිබුණා. ඒ නිසාම යන්තම් අවුරුදු හතක් විතර වෙද්දී තබ්ලා වාදනයේ ප්‍රවීණයෙක් වුණ අනුරුද්ධගෙ බාප්පගෙ මට්ටමටම පුංචි අනුරුද්ධ තබ්ලාව වයන්න පටන් ගත්තා. නිතර කන වැකුණු සංගීතයේ නිසාම ඕනෑම භාණ්ඩයක් වයන්න ඉගෙන ගන්න ඔහුට වැඩි කාලයක් ගත වුණේ නැහැ.
අනුරුද්ධ පාසල් ගියෙ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට. පාසල් කාලයෙත් සංගීතය පිළිබඳ පුදුම ඇල්මක් අනුරුද්ධට තිබුණා. පාසලේ බටහිර තූර්ය වාදක කණ්ඩායමට ඇතුළුවීම තමයි ඔහුට තිබුණු හීනය. ඒ නිසාම නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න තිබුණු ඉරිදා දවස්වලත්, පාසල් තූර්ය වාදක කණ්ඩායම පුහුණු වෙනවා බලන්න පුංචි අනුරුද්ධ ගියා. හැබැයි එහෙම ලේසියෙන් පාසල් තූර්යවාදක කණ්ඩායමට ඇතුළත් වෙන්න අවස්ථාවක් ලැබුණෙ නම් නැහැ.
දවසක් බෑන්ඩ් එක ප්‍රුක්ටිස් වෙනවා බලන්න ගියපු අනුරුද්ධට හරි අපූරු වැඩක් වෙනවා. ''රන් මලක්'' ලෙස ගීතය තමයි තූර්යවාදක කණ්ඩායම පුහුණු වුණේ. ඒත් කනිෂ්ඨ වාදකයන්ට ගීතයේ ඩ්‍රම් සෝලෝ එක නිවැරදිව වයන්න බැහැ. සෑහෙන වතාවක් පුහුණු වුණ පිරිස පොඩි විවේකයක් ගත්තා. මේ ඇසිල්ලේ සයිඩ් ඩ්‍රම් එක අතට ගත්තු අනුරුද්ධ හැමෝටම අපහසු වුණ කොටස අපූරුවට වාදනය කළා. පාසලේ ජ්‍යෙෂ්ඨයන් පවා මේ ගැන මවිත වුණා. ඔවුන් සංගීත ගුරුතුමියටත් කතාකරලා අනුරුද්ධව එකතු ගත්තා තූර්ය වාදක කණ්ඩායමට.
ඉතාම කෙටි කාලයක් යද්දී තූර්යවාදන කණ්ඩායමේ සියලුම වාද්‍ය භාණ්ඩ වයන්න ඔහුට පුළුවන් වුණා. තවත් දවසක් තූර්ය වාදක කණ්ඩායමේ නායකයාට කරන්න ලැබෙන ''මෙස් ග්‍රිල් එක'' අනුරුද්ධ ඉතාම දක්ෂ විදිහට කරනවා අහම්බෙන් දැකපු සංගීත ගුරුතුමිය අපූරු තීරණයක් ගත්තා. අවසාන ජ්‍යෙෂ්ඨ වාදකයා ඉන්දැද්දිම අනුරුද්ධට මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ බටහිර තූර්යවාදක කණ්ඩායමේ නායකත්වය ලැබුණා. මේක ටිකක් ලොකු අභියෝගයක් වුණත්, ඔහු ඒ කටයුත්ත ජයගත්තේ පාසලටත් ජයග්‍රහණ කිහිපයක්ම අත්කරලා දීලා.
මේ දක්ෂතා එක්ක පාසල් තූර්යවාදන තරගාවලියකදී අනුරුද්ධ දකින හමුදා නිලධාරීන් ඔහුට ආරාධනා කරනවා හමුදාව එක්ක එකතු වෙන්න. යුද හමුදාවෙන් සහ නාවික හමුදාවෙන් ඔහුට ආරාධනා ලැබෙනවා. නිල ඇඳුමට තිබ්බ ආසාව නිසාම ඔහු නවතින්නේ නාවික හමුදාවේ.
තමන්ගේ කණ්ඩායමේ හොඳම වාදකයා බවට පත්වෙන්නත් අනුරුද්ධ නාවික හමුදාවේ දී හැකි වෙනවා. තූර්ය වාදක කණ්ඩායමේ වෙනස්ම නිලයක් ''Drum major and and Tenor saxophone'' කියලා ඔහු වෙනුවෙන්ම හැදෙන්නෙත් ඒ නිසා. හැබැයි නාවික හමුදාවෙදි දක්ෂතාවය වැඩිනිසාම ජ්‍යෙෂ්ඨයන්ගෙන් දැඩි පීඩනයක් අනුරුද්ධට එල්ල වුණා.
අවසානයේ නාවික හමුදාවට සමුදීලා විදෙස් ගතවෙන්න අනුරුද්ධ තීරණය කරන්නේ ඒ නිසාමයි. අබුඩාබි හිල්ටන් හෝටලයේ, හෝටල් සේවකයෙක් විදියට රුකියාවට ගියත් සිය ආත්මීය සංගීත භාණ්ඩය සැක්සෆෝනයට ඔහු සමුදුන්නෙ නෑ. හෝටලයේම වාදකයෙක් විදිහට ඔහු කටයුතු කරනවා. සාමාන්‍යයෙන් ලෝකයේ සැක්සෆෝන් වාදකයන් විරලයි. ඒ අතරින් දක්ෂයෝ තවත් විරලයි. ඒ නිසාම අනුරුද්ධට කොහේ ගියත් ආදරය ගෞරවය හිමිවෙනවා. තානාපති කාර්යාලය වැඩ කටයුතුවලදී පවා ඔහුගේ වැයුම් ඉදිරිපත් වෙනවා. ප්‍රකට කලාකරුවන් වෙනුවෙන් වයන්නත් ඒ අවස්ථාවල සිදු වෙනවා.
මේ අතර කාලයේ ලංකාවට ආවම ලංකාවේ සංගීත කණ්ඩායම් එක්ක වයන්නන් අනුරුද්ධ ආසා කළා. පහුගිය වසංගත සමයේදී ලංකාවේ සංගීතය කරන්න බලාපොරොත්තුවෙන් තමයි අනුරුද්ධ ලංකාවට ඇවිල්ලා හිටියෙ. ලංකාවේ ජනප්‍රිය The Numbers කියන සංගීත කණ්ඩායමත් එක්ක අනුරුද්ධ වැඩ කරමින් හිටියෙ. ඒත් වසංගතයත් එක්ක රට තුළ ඇති වෙච්ච ප්‍රශ්න නිසා අවසානයේදී නැවතත් අනුරුද්ධ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටම පියාසර කරනවා.
The Butchery Boys එක්ක අනුරුද්ධ එකතු වෙන්නෙ මේ කාලේ. මේ සංගීත කණ්ඩායම ටිකක් සුවිශේෂියි. රටවල් කීපයකම සාමාජිකයන් මේ සංගීත කණ්ඩායමේ ඉන්නවා. අනුරුද්ධ සේවය කරන දැවැන්ත හෝටල් දාමයේ එකම සංගීත කණ්ඩායම තමා The Butchery Boys. මේ හැමෝම හෝටල් සේවය එක්ක සංගීතය කරන අය. නම වගේම මේ අයගෙ හැඩ වැඩක් ටිකක් විතර වෙනස්.
අපේ දක්ෂ සැක්සෆෝන් වාදකයාගේ හීනය සැක්සෆෝනයෙන් ජාත්‍යන්තරය ජයගන්න එක. ලංකාවේ ඇතුළේ වයන්නත් ඔහු බොහොම කැමතියි. මේ දවස්වලත් ලංකාවේ වැඩවලට ඔහු සම්බන්ධ වෙමින් ඉන්නේ. ඇත්තටම, අපේ රටට එපිටින් හිටියත් ඔහු අපි සතු සම්පතක්.
I නිසල්