2017 මැයි 27 වන සෙනසුරාදා

ජම්බුවලට තෑන්ක්ස්

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

මේ දිනවල රූපගත කරන ටෙලිනාට්‍යයට සම්බන්ධ මේක්අප් අංශයේ මල්ලි කෙනෙක් ඒකෙ වැඩ කරන නවක නිළියන්ට පුදුම ළෙන්ගතුකමක් තියෙන්නෙ.

එයා දර්ශන තලයට එන්නෙ ගෙදරින් නිසා, මේ කෙලි පොඩිත්තියන්ට මොන මොනවා හරි හොරෙන් ගෙනැල්ලා දෙනවා. කෙල්ලොත් මෙයාට ආදරෙයි. 

මෙයා එහෙම නරක අදහසකින් නෙවෙයි මේවා කරන්නෙ. ඉතින් මේ හිත හොඳ කොල්ලා දවසක් මේ කෙල්ලො සෙට් එකට ගෙදර ගහෙන් ජම්බු බෑග් එකක් පිරෙන්නම ගෙනත් දීලා. ඒකත් එක්ක කන්න හොඳ ලුණු කුඩුත් හදාගෙන ඇවිත්. කෙල්ලන්ට දීලා මෙයා මේක්අප් රූම් එකේ වැඩ.

පැය දෙක තුනකට පස්සෙ ඒකෙ වැඩ කරන කෙල්ලො ටික සේරම මෙයාට ජම්බුවලට තෑන්ක්ස් කියලා යනවලු.
මෙයා ජම්බු ටික කෙල්ලන්ට කන්න දුන්නට, ඒගොල්ලො සෙට් එකේ හිටිය කොල්ලොත් එක්ක බෙදාගෙන කාලා.
කොල්ලො පස්සෙ දැනගෙන තියෙන්නෙ ගෙනාපු කෙනා කවුද කියලා.
ජම්බුවලට තෑන්ක්ස් කියලා කොල්ලො කියද්දි අර මල්ලිගෙ මූණ ජම්බු වගේ රතුවුණාලු.

 

ප්‍රවීණයන්ගෙ සින්දුවලට ගරුකරන්න

අපේ රටේ ගීත මංකොල්ලය ගැන අපි මේ තීරුවෙන් ඕනතරම් කතාබහට ලක් කරලා තියෙනවා. මේ වැරුද්ද වැඩියෙන්ම කරන්නෙ තරුණ පරපුර කියලනෙ ගොඩාක් අය හිතන්නෙ. අනුන්ගෙ සින්දු තමන්ගෙ කරගෙන ඒවා විකෘති කරන, මිනිස්සුන්ට සින්දු එපාකරවන ඇතැම් තරුණ පිරිස් ඉන්නවා තමයි.
ඒත් මේ කියන්න යන්නෙ ප්‍රවීණ ශිල්පිනියක් කළ වැඩක් ගැන.

පසුගියදා දැයෙන් සමුගත් විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මියගේ ජනප්‍රිය බොදු ගීතයක් මේ කියන ශිල්පිනිය පහුගිය වෙසක් උත්සවයක දී ගායනා කරලා තියෙනවා. විවියන් ද සිල්වා ප්‍රවීණ ශිල්පිනියගේ ගීතවල අයිතිය ඇය ඇගේ දරුවන්ට පවරලා තිබුණා. ඒත් මේ ශිල්පිනිය කාගෙන්වත් අවසර අරගෙනත් නැහැ කියලයි ආරංචිය.
මෙවැනි දේ කිරීමෙන් තරුණ පරපුරට ලබාදෙන වැරදි ආදර්ශය ගැන වගකිවයුතු පාර්ශ්වයන්ගේ අවධානය යොමුවේවා.

 

චන්නටත් වැඩක් වෙලාලු

ක්ලීටස්ගෙ අමතක වෙන කතා ගැන කලා ක්ෂේත්‍රයේ කතාබහ වෙද්දි, ඕක අහගෙන හිටපු තවත් ප්‍රවීණ කලා ශිල්පියෙක් අපූරු කතාවක් කියලා තියෙනවා.

ඔහු තමයි ප්‍රවීණ නර්තන ශිල්පී හා නර්තන අධ්‍යක්ෂ චන්න විජේවර්ධන. චන්නටත් දවසක් මේ වැඩක් වුණා කියලා ඔහුම යාළුවො කට්ටියකට කියලා.
චන්නගෙ නර්තන කණ්ඩායමට කොළඹ තරුපහේ හෝටලේක මංගල උත්සවයක නර්තනයෙන් දායක වෙන්න තිබුණලු.

උදෙන් ලක ලෑස්තිවෙලා ගිහින්, මේ කණ්ඩායම අර තරුපහේ මංගල උත්සවයට ගිහින් නර්තනය ඉදිරිපත් කළාලු.
ඔන්න විනාඩි පහක් ගියෙ නැහැල්ලු, චන්නට කෝල් එකක් ඇවිත්.
සර් කොයි හරියෙද ඉන්නෙ. අපි මේ හොටෙල් එකේ බලන් ඉන්නවා. කපල් එක ළඟ එනවා.
බැලින්නම් මේගොල්ලො ගිහින් නටලා තියෙන්නෙ වැරදි හෝටලේක පවත්වපු මංගල උත්සවයකට.

 

අනේ මගේ බඩ නැතිවෙලා

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කලක් රංගනයෙන් දායක වූ එක්තරා නිළියකට කාලෙක ඉඳලා ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි එයාගෙ ලොකු බඩ.

තෙල් කෑම, පැණිරස කෑම කොච්චර නොකා හිටියත් බඩනම් අඩුවෙන්නෙ නැහැ. මෙයා ඉතින් දන්න කියන හැමදෙනකුටම මේ ගැන කිය කිය දුක්වෙනවලු.

ඔහොම දවසක් ඉන්නකොට එයාට හොඳ ආරංචියක් ලැබෙනවා. තරබාරුකම, බඩ අඩුකරන හොඳ වෙදනෝනා කෙනෙක් ඉන්නවලු ගම්පහ පැත්තෙ.

එතනට ගිහින් මෙයා මාස දෙකක් විතර කසාය, පෙති, කුඩු වර්ග බීලා බඩ හොඳටම අඩුකරගත්තලු. 
දැන් එයාගෙ මහත්තයට හැමදාම උදේට අහන්න වෙන්නෙ මේ වගේ කතාවක්ලු.

මටනම් විශ්වාස කරන්නත් බැහැ මගේ බඩ අඩුවෙච්ච විදිහ. කෝ අනේ මගේ බඩ නැහැනෙ...
ඔයාට ඕනෙ නැතිවෙච්ච බඩ හොයාගන්න නම් පොලිස් බල්ලො ටිකක් දාලා හොයමු, සැමියා කිව්වලු.

 

මමනම් ඕවට නැහැ

පහුගිය සති කීපය පුරාම සිනමා ක්ෂේත්‍රය තුළ වැඩියෙන්ම බයිට් වෙච්ච නළුවෙක් හිටියනම්, ඇත්තම කියනවනම්, වෙනින් කවුරුත් නෙවෙයි, අපේ දයාබර ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්.

එයාට චැනල් මාරුවුණ හැටි පත්තරවල ගියාට පස්සෙ ඒවා මාධ්‍යයට කිව්වෙ කවුද හොයන්න ගිහින් ඔහු තවත් අමාරුවෙ වැටිලා.

ඒත් ක්ෂේත්‍රය තුළ ඔහුට තිබෙන ආදරය, ගෞරවය හා ළෙන්ගතුකම මේ කිසිදෙයකින් අඩුවෙලා නැහැ.
ඔන්න පහුගිය දවසක ඔහුගේ කිට්ටුම හිතවතුන් හිතවතියන් වන වීණා, ශ්‍රියානි, සනත් වගේම ඔහුගේ රසික රසිකාවියන් කීපදෙනෙක් සමඟ ක්ලීටස් රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගිවෙලා.
විනාඩි දෙක තුනක් යනවත් සමඟම කවුදෝ කෙනෙක් ක්ලීටස්ගෙන් ඇහුවලු අර පත්තරවල ගිය අමතක වීමකින් ඔහුට චැනල් මාරැවෙච්ච කතාව. 

මේ කතාව පටන් ගත්ත ගමන්ම සනත් එතනින් නැඟිටලා ගියාලු.
මොකද සනත් කොහෙද යන්නෙ? ක්ලීටස් ඇහුවලු.
මම ඔතන ඉඳලා ඔය කතා පත්තරවල ගියාම මමනෙ අහුවෙන්නෙ. ඒ නිසා මම පොඩ්ඩක් දුරින් ඉන්නම්,සනත් කිව්වලු.

 

කප් එකත් දෙන්න වෙයිද?

මේ දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වෙලා ඉන්න ජනප්‍රිය නිළිය කවුද කියලා කාටත් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

පුරවැසිකමක් සම්බන්ධ ප්‍රශ්නයක් උඩ තමයි ඇය ගැන වැඩියෙන්ම කතාවෙන්නෙ. ඒ සම්බන්ධව දැන් රටේ ඉහළම උසාවියේ නඩුවකුත් ගොනුවෙලා තියෙන්නෙ.

ඇය සහභාගී වූ රෑපවාහිනී රියැලිටි වැඩසටහනකින් පළමු ස්ථානය ලබාගත් ඇය පසුගියදා එහි කිරුළත් හිමිකරගත්තා.
දැන් සමහර අය අහනවලු අර නඩුවෙන් ඇය පරාජය වුණොත් මේ කප් එකත් ආපහු දෙන්න වෙයිද කියලා.
ඒත් මේවා අහන්නෙ විහිළුවට කියලා කවුරුත් දන්නවා.

Text – Mithra

 

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00