උපේක්ෂා... ජීවිතේ කොහොමද?
ජීවිතේ ටිකක් මේ දවස්වල කාර්යබහුලත්වය වැඩි වේගෙන එනවා කියලා හිතෙනවා. දැන් දුවත් පළමු ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. එයා ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලබනවා. පසුගිය කාලේදී කොවිඩ් ඇතුළු විවිධ හේතුන් නිසා නිර්මාණවලට දායක වුණෙත් නැහැ. පිටපත් කිහිපයක්ම ගෙදර තිබුණත් ඒ නිර්මාණ පටන් ගත්තේ නැහැ. හැබැයි අද වෙද්දී ටෙලිනාට්‍ය තුනක රූගත කිරීම් වෙනවා. ඒ අතරින් ටෙලිනාට්‍ය දෙකක් විකාශනය වෙනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ "දිව්‍යාදරී" නාට්‍යයේ රඟපානවා. ඒක ප්‍රදීප් ධර්මදාසගේ අධ්‍යක්ෂණයක්. ඊට අමතරව ස්වර්ණවාහිනියේ විකාශනය වන "දෙකඩ කඩ" නාට්‍යයේත් රඟපානවා. ඒක මිහිර සිරිතිලක අයියගේ අධ්‍යක්ෂණයක්. ඊට අමතරව මම දායක වන සුපුන් රත්නායකගේ "මිනිත්තුවක් දෙන්න" ටෙලිනාට්‍යය තාම නාලිකාවක විකාශනය වෙන්නේ නැහැ.
ඒ වගේම නත්තල සහ අලුත් අවුරුද්දත් ළඟයි. ඒ නිසා වැඩසටහන් කිහිපයකටම නර්තනයෙන් දායක වෙනවා. මේ දවස්වල ඒවායේත් පුහුණුවීම් කටයුතු කරනවා.
මේ හැම වැඩකටයුත්තක්ම එක්ක දියණිය වෙනුවෙන් ලබාදෙන කාලය වෙන්කර ගන්නේ කොහොමද?
ඇත්තටම ඒක ලෙහෙසි නැහැ. දුව ඉන්නෙත් මාත් එක්කමයි. උදව්වට දුවගේ තාත්තාගේ ගෙදරත් දුවව තියන වෙලාවල් තිබෙනවා. ඉස්කෝලේ වෙලාවල්වල හැර මම රූගත කරන තැන්වල දුවව තියාගෙන ඉන්නවා. අනිත් දවස්වල දුවත් එක්කම කාලය ගතකරන්නයි මම වෙන්කරගෙන ඉන්නේ. "මට පොඩි නිවාඩුවක් ඕනේ" කියලා මම එයා නැතිව විවේකයක් ගන්නේ නම් නැහැ. මගේ ජීවිතේ මොන නොලැබීම් තිබුණත් මගේ දුව හරිම ඉවසිලිමත් හරිම හොඳ දරුවෙක්. රූගත කිරීම් තැන්වලදී අමතර සද්ද කරන්න බැහැ. දඟලන්න බැහැ. හැබැයි දුව ඒකට හරිම අනුගතයි. දුවට මාස හයේ ඉඳන් මම එයාව රූගත කිරීම් කරන තැන්වලට අරන් ගිහින් තියෙනවා. දුව තේරෙන කාලේ ඉඳන් රූගත කිරීම් කරන තැන්වලදී සිදුවෙන දේවල් බලන්න ආසයි. අධ්‍යක්ෂණය කරන විදිහ, කැමරා කරන විදිහ දිහා එයා ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ නිසා ඒ තැන්වලට යන්න දුව අකමැති වෙන්නේ නැහැ. එයා හැමෝ එක්ක හරි එකතුයි. හරිම උනන්දුවෙන් ඒ දේවල් දිහා බලාගෙන ඉන්නවා.
පබා නිසා ජනප්‍රිය වුණු, මිනිසුන්ගේ ආදරය දිනාගත්තු උපේක්ෂා දේශපාලනයට සම්බන්ධ වුණා... එයින් ජනප්‍රියත්වයේ හිටපු උපේක්ෂා අනන්තවත් ගැරහුම්, නින්දාවලට මුහුණ දුන්නා. ඒ කාලයට මුහුණ දුන්නේ කොහොමද?
ඇත්ත. දේශපාලනය කරද්දී ගැරහුම් වැඩියි. 2015 වසරෙන් පසුවයි මම දේශපාලනයට සම්බන්ධ වුණේ. මගේ ජීවිතයේ හොඳම කාලය මම දේශපාලනය වෙනුවෙන් වෙන්කළා. අද මට තිබෙන ලොකුම දුකත් ඒකමයි. වර්තමානයේදී රන්ජන් අයියා (රන්ජන් රාමනායක) මාලනී අක්කා (මාලිනී ෆොන්සේකා) ගීතා අක්කා (ගීතා කුමාරසිංහ) ඒ හැමෝම ඒ අයත් ස්වර්ණමය කාලයේදී කලාවෙමයි හිටියේ. හැබැයි මම මහේෂ් රත්සර මද්දුමආරච්චි ලියූ පබා ටෙලිනාට්‍යයේ පබා චරිතයෙන් ජනප්‍රිය වුණ ගමන්ම මගේ වටිනාම කාලයේදී දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ඒක මට ලොකු පාඩුවක් වුණා. ගැරහුම්වලදී එදත්, අදත් මම ඒවාට කන්දෙන කෙනෙක් නෙවෙයි. සමාජ මාධ්‍යයේ දාලා තිබෙන අදහස් මම එහෙම කියවන්නේ නැති තරම්. ඒවා කියවීම මට වැදගත් නැහැ. අඩුපාඩුවක් හදාගන්න කියන දේවල් මම අහනවා. හැබැයි මාව වට්ටන්න, මට අපහාස කරන දේවල් මම ගණන් ගන්නේ නැහැ. අපි හැමෝගේම අඩුපාඩු තියෙනවා. ඒවා හදාගන්න අවශ්‍යයි. හැබැයි ඔය වැඩකට නැති දේවල් ගැන මම වැඩිය හිතන්නේ නැහැ.
එදා දේශපාලනයට සම්බන්ධ වීම ගැන අද උපේක්ෂාට කලකිරීමක්, දුකක් තිබෙනවාද?
ඔව්. අනිවාර්යයෙන්ම... පක්ෂ දේශපාලනයට සම්බන්ධ වීම තුළින් මට ආදරය කරපු රසික රසිකාවියන් බෙදිලා ගියා. දේශපාලනය නිසා මට වෛර කරපු අය හිටියා. ඒක මම මට කරගත්තු ලොකු හානියක්. හැබැයි මාව හරියට තේරුම් ගත්තු ලොකු පිරිසක් හිටියා. කාටවත් හැමෝගෙම හිත් සනසන්න බැහැනේ.
පසුගිය කාලයේදී "පබා" නැවත විකාශනය වුණා... උපේක්ෂා ඒක නැරඹුවාද?
ඔව් බැලුවා. මගේ දෝණි ටෙලිනාට්‍ය පැත්තට එහෙම නැඹුරුවක් නැහැ. සමහර දවස්වලට මම බලද්දී එයා මාත් එක්ක බලනවා. සමහර වෙලාවට ඒ බලද්දී මම උනන්දුවෙලා එයාගෙන් මගේ රඟපෑම ගැන අහනවා. එයාගේ ප්‍රතිචාර හරි නිවැරදියි. ඒ දරුවන්ගේ මනස හරි පිරිසිදුයි. පසුගිය කාලයේදී පබා නැවත විකාශනය වුණාට පස්සේ ගොඩක් වැඩිහිටියන්ගෙන් ආයෙත් මට ගොඩාක් ප්‍රතිචාර ලැබුණා.
පුංචි කාලේ උපේක්ෂා ආසාවෙන් හිටියේ නිළියක් වෙන්නද?
නැහැ. මම එහෙම ලොකු අරමුණක් එක්ක ජීවත්වුණ ළමයෙක් නෙමෙයි. කලාව කියන දේට මම හරි ආසයි. මම ඉපදෙද්දී කුවේට්වල මගේ අම්මාට වාදක මඩුල්ලක් තිබුණ. පුංචි කාලේ ඉඳන් මම දැක්කේ ඒවායි. මටත් වඩා මගේ අම්මා කලාවට හරි ආසයි. මට අවුරුදු තුනේදී ඉඳන් මගේ අම්මා මාව නර්තන පන්තිවලට යොමු කළා. ඒ ආසාව පාසැලේදීත් තිබුණා. කලාවට මගේ හරි උනන්දුවක් තිබුණා. කලාවත් එක්ක තිබුණ ඒ බැඳීම මිසක් වෙන අරමුණක් තිබුණේ නැහැ.
උපේක්ෂාගේ ජීවිතේ හිමිවීම් වගේම අහිමිවීම්, කඩාවැටීම් තිබුණා. මේ දේවල් දරා ගත්තේ කොහොමද?
ජීවිතේ මොන දේ නැතිවුණත් අපිට ඉතිරිවෙන යම් දෙයක් අනිවාර්යයෙන්ම තිබෙනවා. මගේ ජීවිතේත්, කඩාවැටීම් තිබුණා. කලකිරීම් තිබුණා. ඒ මොන දේ තිබුණත් මට ඔළුව උස්සන්න හේතුවක් අනිවාර්යයෙන්ම තිබුණා. අපි ඒ හේතුන් දිහා වැඩිය බලන්නේ නැහැ. ඒවාට නැඹුරු වෙන්නේ නැහැ. ඒවාට වටිනාකමක් නොදී නැති දේ ගැනම දුක් වෙනවා. මම හැමවෙලේම උත්සාහ කළේ ඒ තියෙන දේ රුකගන්නයි. ඒවා හඳුනාගන්නයි. මගේ ගෙදර නරක අත්දැකීමක් ආයෙ මතක් කරන පින්තූරයක් වුණත් මම තියාගන්නේ නැහැ. මම කිතුණු භක්තිකයෙක්. තමන්ගේ මොන විශ්වාසය තිබ්බත් ඒ පැත්තටත් අපි නැඹුරු වෙන්න ඕනේ. අපි කරන පව්, පින් කවදාහරි අපිට පල දෙනවා.
විවේක වෙලාවලදී උපේක්ෂා.... දියණිය සමඟ මොනවද කරන්නේ?
ඒ වෙලාවට දෝණි කැමැති දේට මම ඉඩදීලා ඉන්නවා. වෙලාවකට අපි දෙන්නා එකතුවෙලා චිත්‍ර අඳිනවා. සෙල්ලම් කරනවා. දෝණි පොඩි පොඩි දේවල් අත්හදා බලන්න ආසයි. ඒ නිසා එයා කැමැති දේවල් එයා එක්ක එකතුවෙලා කරනවා.
තාමත් පබාට ආදරය කරන පිරිසක් උපේක්ෂාට ඉන්නවා?
ඔව්. අනිවාර්යයෙන්ම. මට ඒක දැනෙනවා. ඒ ආදරය මට දැනෙන තැන් තියෙනවා. ඒ ළෙංගතුකමක් තියෙන හැමෝටම ගොඩක් ස්තූතියි. කලාකාරියක් විදිහට වෙන ක්ෂේත්‍රවලට ගිහින් එක එක්කෙනාගේ හිත්වලට වෙන වෙන හැඟීම් දැනෙන්න යම් යම් දේවල් මගේ අතින් වුණා. ඒ දේවල්වලට සමාවෙන්න කියලත් මම ආදරණීය මිනිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.
I දිශානි ජයමාලි
සේයාරුව- සුමුදු හේවාපතිරණ