ආදරය, සෙනෙහස ජීවිතයට නොලැබෙන විට එය සොයා යන්නට මම තීරණය කළෙමි. මගේ සැමියා කිසිදු පැකිලීමකින් තොරව වෙනත් ගැහැනියක ඇසුරු කර යළි නිවසට පැමිණෙද්දී සිනහමුසු මුහුණින් යුතුව පිළිගන්නට තරම් අනුවණ සංයමයක් මට තිබුණේ නැත. රජ පවුලේ සාදාචාරය රකින රැජනක් වීමේ වුවමනාව මට නොවිණ. අපේ විවාහයේ පුද්ගලයන් තිදෙනෙක් සිටි බව BBC රූපවාහිනී සාකච්ඡාවේදී ප්‍රකාශ කළද මමද තුන්වැන්නෙකු ලෙසින් ඇතැම් විවාහයන්ට එක් වී ඇති බව සත්‍යයකි. කැමිලා මගේ විවාහය විනාශ කර දමන්නට පදනම දැමුවා නම්, ඇය සමාජය ඉදිරියේ දෙවැනි ගැහැනියකගේ චරිතය නිරූපණය කළා නම්, ඇතැම් මොහොතක මමද දෙවැනි ගැහැනියක් වීමි. මා වටා ඇති රාජකීය පරිසරය, පවුල් සංස්ථාව විසින් මගේ පැවැත්ම ඍණ අගයකට ලක් කරනු ලැබ ඇතිවිට, ජීවිතයෙන් සමුගන්නට සිතුණු සෑම මොහොතකම අතට හසුවන මුල්ම ආදරයෙන් සැනසෙන්නට මම උත්සාහ කළෙමි.
1985 වසරේදී ඇල්බට් මැනකී මගේ පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙසින් පත්වුණු විට හඳුනාගත නොහැකි හේතුවක් නිසා මෙතෙක් නොවුණු සුරක්ෂිත බවක් මට හැඟුණි. තමන්ගේ ආරක්ෂක නිලධාරියා සමඟ ප්‍රේමයෙන් වෙළීම රැජනකට තරම් නොවන්නට පුළුවන. එහෙත් රැජනක් යනු හැඟීම්, දැනීම් ඇති ගැහැනියකි. අවාසනාවකට ඇල්බට් සමඟ මා ඇතිකරගත් ප්‍රේමය නිසා ඔහුට බොහෝ දේ අහිමි විය. වසරකට පසු ඔහුගේ රැකියාව අහිමිවූවා පමණක් නොවේ, දෙවසරකට පසු සිදුවුණු අනතුරක් නිසා ජීවිතයෙන් සමුගන්නටද ඔහුට සිදු විය.
ඇල්බට්ගේ මරණය, සැලසුම් කරන ලද මිනීමැරුමක් බව ආරංචි වූ මොහොතේ මගේ හැසිරීම්, ක්‍රියාකාරකම් වෙනස් නොකරන්නේ නම් රජ පවුලේ ඇත්තෝ මා හට අත්කරන්නේද ඔහු වෙත ළඟා කර දුන් ඉරණම බව පසක් කරගන්නට මට අපහසු නොවිණ. දික්කසාදයෙන් පසුව දෙගුණ තෙගුණ වුණු මරණීය තර්ජනයේ සිතුවිල්ල මගේ සමීපතම පුද්ගලයන් කිහිප දෙනෙකු හමුවේ පවසා සිටියද, ඔවුන් මගේ භීතිය තේරුම් ගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත.
"මේ ලෝකේ ඉන්න පළවෙනි දික්කසාද ගෑනි ඔයා නෙමෙයි. මිනිහගේ පවුලෙන් තාඩන, පීඩන ලබපු පළවෙනි ගෑනිත් ඔයා නෙමෙයි. මිලියන ගාණක් ගෑනු ඔය කියන අසාධාරණයට ලක්වෙලා තියෙනවා. ඒ කිසිම ගෑනියෙක් මිනිහාගේ පවුලෙන් පළිගන්න උත්සාහ කරලා නැහැ. ඉතින් ඇයි ඔයා ඔයාගේ පාඩුවේ ඉන්නේ නැතුව රජ පවුලට රිද්දවන්න හදන්නේ. ඔයාම කියලා තියෙනවනේ එයාලට රිද්දවලා දිනන්න බැහැයි කියලා.." මගේ මිතුරිය ජමීමා පැවසුවාය. එය සත්‍යයකි. දික්කසාදයෙන් පසුව මා ශක්තිමත් ගැහැනියක් බවට පත්වූවා මිස දුර්වල වූයේ නැත. පවුම් මිලියන 17ක වන්දියක් ලැබූ නිසා මම ආර්ථික වශයෙන් ස්ථාවර බවට පත්ව සිටියෙමි. සන්නාම නියෝජිතයෙකු ලෙසින් කටයුතු කරන්නේ නම් තවත් මිලියන ගණනක් මා හට ලබාදීමට රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් සූදානමින් පසු විය. එහෙත්..
රජ පවුලෙන් පළිගන්නට ඔවුන් අපහාසයට ලක් කරන්නට සිහින මවන මා වැනිම තවත් පුද්ගලයෙකු සිටින බව මම දැන සිටියෙමි. ඒ මොහොමඩ් අල්ෆයෙද්ය. එහෙත් අප දෙදෙනාගේ එක්වීමේ දුක්බර ප්‍රතිඵලය වූයේ ඩෝඩිය.
ඩෝඩිගේත් මගේත් ප්‍රේම කතාව ගැන ලෝකයා කතා කරද්දී ඔහුගේ අනාගත විවාහය කැඩී ගියේ මගේ මැදිහත්වීම නිසා බව වැඩි දෙනෙක් දැන සිටියේ නැත. සියල්ල සූදානම්ව තිබියදී කිසිදු පැකිලීමකින් තොරව තම විවාහය අවලංගු කර දමන්නට ඩෝඩි පෙළඹුණේ මා ඔහුගේ ප්‍රේමවන්තිය බවට පත් වූ නිසාය. පුවත්පත් සාකච්ඡාවක් කැඳවා තමා ඩෝඩිට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කෙලී ෆිෂර් හඬමින් පවසන අයුරු රූපවාහිනියෙන් දකින මගේ සිතට නැගුණේ එක් සිතුවිල්ලක් පමණි. එනම් මා හෙළූ කඳුළු ගංඟාව සමඟ සම කරද්දී ඇය හෙළා ඇත්තේ බිඳු කිහිපයක් පමණක් බවයි.
අවාසනයේදී මම ජීවිතයට අලුත් වෙනසක් ලබාදීමට තීරණය කළෙමි. ඒ වෙනස ගැන දිගු කලෙක සිට සැලසුම් කළෙමි. එහෙත් එය ක්‍රියාත්මක කරන්නට සුදුසු පුද්ගලයා හමුවූයේ දින කිහිපයකට පෙරදීය.
හමුවුණු පළමු දිනයේදීම ඩෝඩි අල්ෆයෙද් යනු ස්වාධීන, නිදහස් මිනිසෙකු නොවන බව වටහා ගැනීමට මට හැකි විය. ඔහු ජීවත් වූයේ පියාගේ මුදල්වලිනි. මිල අධික තෑගිබෝග මා වෙනුවෙන් මිලදී ගනිද්දී ඔහු ඒවාට වියදම් කළේ පියාගේ මුදල්ය. මා වෙනුවෙන් වතුර බෝතලයක්වත් මිලදී ගැනීමට සත කිහිපයක්වත් ඔහු සතුව නොතිබෙන්නට ඇත. ඔහු කදිම රූකඩයකි. මගේ සැලැස්මේ සහකරුවෙකු වීමේ සුදුසුකම ඔහු සතුව ඇති බව වටහාගත් විට එය හැකි ඉක්මනින් දියත් කරන්නට සිතුවෙමි.
1997 අගෝස්තු 30 වැනිදා මේ රාත්‍රිය සුන්දර එකකි. හෝටලයේම රාත්‍රිය ගත නොකර තට්ටු නිවාසයට යා යුතුයැයි ඩෝඩ් තීරණය කළේ මගේ සැලැස්ම ගැන කිසිදු විශ්වාසයක් නොතිබුණු නිසා විය යුතුය.
"ඔයාට බැහැ ලෝකෙන් හැංගිලා ජීවත් වෙන්න." ඔහු කීවේය.
මධ්‍යම රාත්‍රිය ආසන්න වූ එක් මොහොතක හෝටල් කාමරයේ කෙළවර ඇති රහස් දොරටුවකින් ස්කොට් කූපර් ඇතුළු විය. ඒ මොහොතේ මා හැරෙන්නට වෙනත් කිසිවෙකු කාමරයේ නොසිටි නිසා මම ඔහු වෙත ගියෙමි. අනතුරුව මම මා ඉදිරියේ කැඩපත දෙස බලා සිටින්නට වීමි.
කැඩපතින් පිළිබිඹු වන මගේ රූපය මා සමඟ සිනහ විය. මගේ සිනහවක් නොමැති විටෙක කැඩපතේ රූපය මා සමඟ සිනහ වන්නේ කෙසේදැයි වටහාගත නොහැකිය. අනතුරුව රූපය තමන්ගේ දකුණු අත මා වෙත දිගු කරද්දී මගේ දෑත නිසලව තිබුණි. නැත! මා ඉදිරියේ තිබුණේ කැඩපතක් නොවේ.
මා ඉදිරියේ සිටියේ තවත් ගැහැනියකි.
අද රාත්‍රිය වනාහි රහස් සැලසුම් ක්‍රියාත්මක වන රැයක් වනු ඇතැයි මට සිතුණි.
මංජුල සේනාරත්න ලියූ D ග්‍රන්ථයෙන්