2017 මැයි 27 වන සෙනසුරාදා

පබිලිස්ගෙන් රස සලාද

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 199

ගස් තරු සලාදය

අවශ්‍ය දේවල්

කාමරංගා ග්‍රෑම් 700 යි
දෙළුම් ඇට මේස හැඳි 4 යි
පැණිරස සෝස් මේස හැඳි 1 යි
විනාකිරි සොස් මේස හැඳි 4 යි

සාදන ක්‍රමය

කාමරංකා සෝදා පෙති කපාගන්න.
කපාගත් කාමරංගා සලාද දීසියකට දමන්න.
පැණිරස මිරිස් සෝස් සහ විනාකිරි සෝස් දමා මිශ්‍ර කරන්න.
උඩින් දෙළුම් ඇට විසුරවන්න.

සාගර මාළු සලාදය

අවශ්‍ය දේවල්

කටු සහ සම ඉවත් කළ තෝරමාළු ග්‍රෑම් 500 යි
නිවිති කොළ තේ හැඳි ½ යි
ගම්මිරිස් කුඩු තේ හැඳි 1 යි
නාරං යුෂ තේ හැඳි 2 යි
සියඹලා සෝස් අඬුකෝප්ප 1 යි
අඹරාගත් අබ තේ හැඳි 1 යි
මිරිස් කුඩු තේ හැඳි ½ යි
දෙළුම් ඇට මේස හැඳි 1 යි
බටර් මේස හැඳි 1 යි
බ්ලෙන්ඩර් කරගත් සුදු ලූණු තේ හැඳි ½ යි
බ්ලෙන්ඩර් කරගත් ඉඟුරැ තේ හැඳි ¼ යි
ලුණු අවශ්‍ය තරමට

සාදන ක්‍රමය

ගම්මිරිස් කුඩු, ලුණු, නාරං, මිරිස් හොඳින් මිශ්‍ර කරගන්න.
මෙම මිශ්‍රනය මාළුවල දවටා ගන්න.
ඉන්පසුව මාළු හුමාලයෙන් තම්බාගන්න.
නිවිති කොළ සෝදා උණුවතුරට දමා නැවත ඇල්වතුරට දමා තෙත ඉවත් කරන්න.
බටර්, අබ, සුදු ලූණු, ඉඟුරු එකට මිශ්‍රකර නිවිති කොළවල ගාන්න.
එම කොළවලින් මාළු ඔතන්න.
සියඹලා සෝස්වලට මිරිස් කුඩු මිශ්‍රකරන්න.
මාළු දීසියක තබා එයට උඩින් සෝස් වත්කරන්න.
එයට උඩින් දෙළුම් ඇට ඉසගන්න.

මුහුදු මාංශ සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

දැල්ලෝ ග්‍රෑම් 200 යි
පොඩියට කපාගත් තලපත් මාළු ග්‍රෑම් 100 යි
තුඹ ගෙඩි 5 - 6 පමණ
බැදගත් වියළි මිරිස් කරල් 4 යි
අඹ සෝස් අඬුකෝප්ප ½ යි
කොළපාට මාළු මිරිස් කරල් 2 යි
ගම්මිරිස් තේ හැඳි ½ යි
අවශ්‍ය තරමට ලුණු

සාදන ක්‍රමය

මුලින්ම පොඩියට කපාගත් මාළු ලුණු එක්කර තම්බාගන්න.
දැල්ලෝ සෝදා කෑලි කපාගන්න.
දැල්ලන් තම්බා ලුණු, ගම්මිරිස් එක්කර ගන්න.
තුඹ සෝදා ගෙඩිය පිටින්ම තම්බාගන්න.
පසුව තුඹ ගෙඩි හතරට පලාගන්න.
මාළුමිරිස් කරල හතරට පලා ඇට ඉවත් කරගන්න.
ලුණු, ගම්මිරිස් ස්වල්ප වශයෙන් එක්කර ග්‍රිල් කරගන්න.
තක්කාලි හතරට කපා එයට ලුණු, ගම්මිරිස් එකතු කරන්න.
වීදුරු බඳුනකට මේ සියල්ල දමා මිශ්‍රකර අඹ සෝස් දමා පිළිගන්වන්න.

බක්මහ පළතුරු සලාදය

අවශ්‍ය දේවල්

වරකා මදුළු 12 යි
පිනිජම්බු ගෙඩි 10 යි
කජු පුහුලන් 2 යි
පැලමද ගෙඩි 2 යි
අඹ ගෙඩි 2 යි
මාදං ග්‍රෑම් 100 යි 
පැෂන් ෆෘෘට් සෝස් මේස හැඳි 2 යි

සාදන ක්‍රමය

මාදං හැර අනෙකුත් පළතුරු සියල්ල කොටු හැඩයට කපාගන්න.
කපාගත් පළතුරුවලට මාදං ටික එකතු කරන්න.
එයට පැෂන් ෆෘෘට් සෝස් එක්කර පිළිගන්වන්න.

ඔසුගෙඩි පිරවුම් සලාදය

අවශ්‍ය දේවල්

කරවිල ග්‍රෑම් 250 යි
කුඩාවට කපාගත් කැරට් ග්‍රෑම් 30 යි
කුඩාවට කපාගත් තක්කාලි ග්‍රෑම් 30 යි
කුඩාවට කපාගත් ලූණු ග්‍රෑම් 20 යි
ගම්මිරිස් කුඩු තේ හැඳි ½ යි
දෙහි යුෂ තේ හැඳි 2 යි
තම්බාගත් පරිප්පු ග්‍රෑම් 100 යි
ලුණු අවශ්‍ය තරමට

සාදන ක්‍රමය

වතුර භාජනයක් ළිප තබා එයට විනාකිරි ස්වල්පයක් දමා වතුර උතුරන විට කරවිල කරල පිටින්ම වතුර භාජනයට දමා ටික වෙලාවකින් නැවත ගන්න.
කරවිල කරල දෙපැත්ත පලා මැද මදය ඉවත් කර ශීතකරණයේ තබන්න.
තාච්චියක් ළිප තබා බටර් ස්වල්පයක් දමා ලූණු, කැරට් එක්කර එයට පරිප්පු, ලුණු ගම්මිරිස් දමා ළිපෙන් බාගන්න.
එම මිශ්‍රනයට තක්කාලි, දෙහි, ඉතිරි බටර්, ලුණු දමා හොඳින් මිශ්‍ර කරගන්න.
එය ශීතකරණයේ ඇති කරවිලවල පුරවා නැවත ශීතකරණයේ තබන්න.
පැයකට පමණ පසු නැවත ගෙන කැමති හැඩයට කපාගන්න.
එය දීසියකට අසුරා සිහින්ව දිගට කපාගෙන ගැඹුරු තෙලේ බැදගත් අලවලින් සරසා ගන්න.

වන්නි මීපැණි මස් සලාදය

අවශ්‍ය දේවල්

හරක් මස් කිලෝ 1 යි
මීපැණි අඬුකෝප්ප 1 යි
කෑලි මිරිස් මේස හැඳි 1 යි
කෑලි ගම්මිරිස් තේ හැඳි 2 යි
කොත්තමල්ලි බැදපු කුඩු මේස හැඳි 1 යි
ලුණු අවශ්‍ය තරමට

සාදන ක්‍රමය

හරක් මස් හොඳින් සෝදා පිට තෙතමනය ඉවත් වනතුරු රෙදි කැබැල්ලකින් වසා තබන්න.
මීපැණිවල අනෙකුත් සියල්ල කලවම් කරන්න.
මෙම මීපැණි මිශ්‍රනය මස් කැබැල්ලේ හොඳින් දවටන්න.
ඉන්පසු තැටියක තබා මස් කැබැල්ල වසා කිලෝග්‍රෑම් 2ක පමණ බරක් තබාගන්න.
මෙය දින 3ක් පමණ ශීතකරණයේ තබන්න.
පසුව දින හතක් පමණ ශීත කාමරයක මඳ පවනේ එල්ලා තබන්න.
ඉන්පසු සිහින්ව පෙති කපා දීසියකට දමා අන්නාසි පෙති දමා සකසා ගන්න.