මම උපතින් කතෝලික කෙනෙක්. පවුලේ වැඩිමහල් දරුවා විදිහට ඉපදුණු අපේ පවුලේ දරුවන් හයදෙනයි. අපි හයදෙනාම කතෝලික පසුබිමක හැදුණට අපේ දෙමව්පියන් අපිට සිංහල ලස්සන නම් දාලා තිබුණා. මගේ නම රංජනී මල්කාන්ති ලෙසින් නම් තියපු මගේ දෙමව්පියෝ 'කාමත්' කියන ශාන්තුවරයාගේ නමත් මගේ නමට එකතු කළා. අනිත් සහෝදර සහෝදරියන්ටත් ඒ වගේ කතෝලික නමක් නමේ අගට එකතු කළා. පවුලේ වැඩිමලා විදිහට මට බෞද්ධ මිනිසෙක්ව ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. ඔහු ඉතා ගුණ යහපත් මගේ ස්වාමියා වන මහාචාර්ය සනත් නන්දසිරියි. කාලයකට පසුව අපි විවාහ වුණා. ඒ විදිහට අපේ පවුලට බෞද්ධ චරිත කිහිපයක්ම එකතු වුණා. කතෝලික පවුලක ඉපදුණත් අදටත් අපි බෞද්ධ සිරිත් විරිත් හොඳට දන්න අයයි. ගරු කළ යුත්තාට ගරු කරන, සැලකිය යුත්තන්ට සලකන, සල්ලි මඩි ගහගෙන ඉන්නෙ නැතිව, නැති බැරි අයට උදව් කරන අයයි. නත්තල් ගස් හැදුවට, සාප්පු සවාරි ගියාට වැඩක් නැහැ. තියෙන විදිහට, පුළුවන් විදිහට අපි අනෙකාට උදව් කරන්න ඕනෙ. මම ජීවිතේ පුරාවටම අනෙක් මිනිසුන්ට උදව් කරන ගතිය නත්තල් සමයේ වැඩිපුර කරනවා. අපි කෝටිපතියො නෙමෙයි. මගේ ස්වාමියයි මමයි උපයන සහ උපයපු මුදලින් තමයි අපි ජීවත් වෙන්නෙ. නමුත් මේ නත්තල් සමයේ අපි අපි අපිට හැකි අයුරින් මිනිසුන්ට උදව් කරනවා. එයින් හිතට ලැබෙන සැනසීම වචනවලින් කියන්න තේරෙන්නෙ නැහැ.
පුංචි අම්මලාගේ ඇඟේ එල්ලීගෙනපල්ලි ගියා. තේරුම දන්නැති කාලෙත් ගීතිකා අහන්න හරි ආසයි - ඉන්ද්‍රාණි පෙරේරා
මගේ පුංචි කාලෙ ඉඳන් මම නත්තල සමරන්න හරිම ආසාවෙන් බලාගෙන ඉන්නෙ. මට තාම මතකයි මම පුංචිම කාලේ නත්තල දවසට අපේ ගෙදරට එන නෑදෑයන් එනතුරු බලාගෙන හිටියෙ හරිම ආසාවෙන්. මගේ නෑදෑයො ඔක්කොම පල්ලි ගිහින් ලස්සන ඇඳුම් ඇඳලා, ලස්සන බක්‍රම් සාය ඇඳලා තමයි අපේ ගෙදරට ආවේ. නත්තලට කෑම කනවටත් වැඩිය නත්තල දවසට උඩ පැන පැන ගෙදරට ආසාවෙන් එන නෑදෑයො එනකම් මම බලාගෙන හිටියෙ හරිම ආසාවෙන්. අපේ පුංචි අම්මලා ඔක්කොම පල්ලි යද්දි එයාලගෙ ඇඟේ එල්ලිලා පුංචි කාලෙ මාත් පල්ලි ගියා. ඒ කාලෙ මට සංගීතය ගැන දැනුමක් තිබුණෙ නැහැ. නත්තල දවසට පල්ලියේ වැයෙන ගීතිකා අහන්න මම හරි ආසයි. ඒවායේ තේරුම මම පුංචි කාලෙ දැනගෙන හිටියෙ නැතත් ඒ සංගීතයට මම හරිම කැමතියි.
සමහර අය අද හමුනොවුණත් නත්තල් එද්දි හරි ආසයි - තරින්දි ප්‍රනාන්දු
මම රෝමානු කතෝලික කෙනෙක්. පුංචි කාලේ ඉඳන් නත්තල අපේ හදවත්වල තිබුණු දෙයක්. පරම්පරාවෙන් පරම්පරාවට නත්තල අපේ හිත්වලට අපේ පවුලට ලැබිලා තියෙනවා. ඒ නිසා කතෝලික කෙනෙක් වීම මට ලොකු ආඩම්බරයක්. අවුරුද්දෙ මම ආසම මාසය දෙසැම්බර්. ඒ නත්තල සැමරීමට තියෙන ආසාව නිසාමයි. ඉස්සර අපේ අම්මා සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල ඉඳන් නත්තල සමරන්න එයාට පුළුවන් විදිහට බඩු එකතු කළා. කෑම බීම හැදුවා. තාත්තත් ඒවට අම්මට උදව් කළා. අපි ගව ලෙන් හැදුවා. නත්තල් ගස් හැදුවා. ඒවා හරි සුන්දර මතකයන්. සමහර ඥාති මිත්‍රයන් එකට මුණ නොගැසුණත් අදටත් අපි නත්තලට සූදානම් වෙනවා. නත්තල සමරනවා. නත්තල කියන්නෙ හරිම ආදරණීය සුන්දර මතකයක් එකතු වුණු දවසක්.
රතු පාට බෝ ගවුම අඳින්න ලැජ්ජයි කියලා නිර්මලා අක්කා හොඳටම ඇඬුවා
පුංචි කාලේ අපිට ලස්සන නත්තලක් හැම අවුරුද්දෙම තිබුණා. ඒ කාලෙ 'නත්තල් සීයා' ඇත්තටම අපිට තෑගි ගෙනත් දෙනවා කියලයි අපි හිතුවෙ. ඉතින් අවුරුදු දොළහක්, දහතුනක් යනකම්ම දෙසැම්බර් 24 වැනිදා රෑ දොළහට නත්තල් සීයා අපිට තෑගි ගෙනත් තියෙනවා කියලයි අපි හිතුවෙ. මමී හැම අවුරුද්දෙම දැන් ඔයාලා නිදාගන්න, රෑ දොළහට නත්තල් සීයා ඇවිත් තෑගි තියයි කියලා කියනකොට අපිත් ඉක්මනට ගිහින් නිදාගත්තා. මමී කිව්වා වගේම අපි හතරදෙනාගේම කොට්ටෙ යට තෑගි තිබුණා. නිර්මලා අක්කා රණ්ඩුවෙන නිසා හැමදාම අපි දෙන්නට එකම වගේ තෑගි ලැබුණා. මනෝජ් මල්ලිටයි සකුන්තලා අක්කටයි වෙන තෑගි ලැබුණා. මල්කාන්ති අක්කා අපිට වඩා ගොඩක් වැඩිමහල් නිසා එයාට නත්තල් සීයා තෑගි ගෙනත් දුන්නෙ නැහැ. මට තාම මතකයි එක අවුරුද්දක නත්තල් සීයා මටයි නිර්මලා අක්කටයි ලොකු චොක්ලට් පෙට්ටි දෙකක් තියලා තිබුණා. එක අවුරුද්දක ලස්සන බෝනික්කන් දෙන්නෙක් තෑගි කළා. රූ දොළහට රතිඤ්ඤා සද්දෙට නැඟිටලා මුලින්ම අපි කොට්ටෙ යට තිබුණු තෑගි බැලුවා.
ඒ කාලෙ හැම අවුරුද්දෙම රෑ දොළහෙ පූජාවට අපි පල්ලි ගියා. අපේ ගවුම් අපේ මමී මැහුවා. මට තාම මතකයි එක අවුරුද්දක මමී එයාගේ මහන මැෂිමෙන් මටයි නිර්මලා අක්කටයි ලස්සන රතු පාට ගවුම් දෙකක් මහලා දුන්නා. ඒ ගවුමේ පිටිපස්සෙ බෙල්ල ළඟ ඉඳන් ඉණ ගාවට වෙනකම් 'V' හැඩයට කපලා අන්තිමට රතු පාට ලොකු බෝ එකක් මහලා තිබුණා. ඒ ගවුම් අඳින්න ලැජ්ජයි කියලා එදා නිර්මලා අක්කා හොඳටම ඇඬුවා. හැබැයි මම නම් ආසාවෙන් ඒ ගවුම ඇඳලා පල්ලි ගියා.
අබේ මැරුණු දා ඉඳන් මම එහෙම නත්තල සමරන්නෙ නැහැ.
I දිශානි