2023 ජනවාරි 08 වන ඉරිදා

සඳ දියෙහි බැස උණුසුමක් සෙවූ මං අනේ සඳ බොඳ වී ගිහින්

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 103
රාත්‍රිය මනරම්.. ඔබ නැතුව ඔබ එක්ක ජීවිතය මම විඳින රාත්‍රිය මනරම්... නෙත් පියා නුඹේ වත මම මතකයට ගනිමි. මා මන පෙම් බඳින නුඹේ සිනාව මා හදවතේ සොඳුරු සිතුවමක් සේ සිත්තම් වෙයි.
 
ආදරේදැයි නොඅසාම මම නුඹට ආදරය කරන්නම්.. ආදරය යළි නොඉල්ලාම මම නුඹට ආදරය කරන්නම්.. මේ සඳත් ඔබ වැනිය... මේ රුයත් ඔබ වැනිය... අහස පොළොව අතර සියලු චමත්කාරයන් තුළ නුඹ හිඳියි... ඉතින් මම නුඹව දකිමි... ආදරයෙන් ඔබ්බට මම ඔබ දකිමි...
 
මම ඔබ විඳිමි.. මම ඔබ කියවමි... දුටු - නුදුටු නුඹේ රුව මම සිත්තම් කරමි... නුඹ යනු අනන්ත ගව් ගණනක් දුර අර සොඳුරු සඳ යැයි මම හඟිමි.
 
දියට බැස සඳ කැබලි එක්කොට
තනමි ඔබෙ රුව මං
සීතලේ සඳ කැබලි සොයනෙමි
තාම දිය මත මං
 
සීත සුළඟේ දැවටි සීතලේ මෘදු පහස මා ගත දැවටෙයි. නුඹේ පපුතුර හිස රඳවා ඒ සීතලට එරෙහි උණුසුමක් සොයන්නට ඔබ මා අස නැත. සඳ අහසට සොඳුරු සිත්තම් මවද්දී මම ඒ සඳ ඔබ යැයි සිතා සඳ දෙස බලා හිඳිමි. දෙනෙත් දල්වා බලා හිඳින්නට කෝ ඉතින් නුඹ මගේ ළඟ... හදවතට අංශුමාත්‍රයක්වත් දුරක නැති ඔබ මගේ ලෝකයට ගව් ගාණක් දුරක රුඳුණු අරුමය ඉතින් මම හුදෙකලාවම විඳගමි.
 
කැලතුණු දියවරේ පුර සඳෙහි සෙවණැල්ල බිඳී ගිය සඳ ඒ සඳ කැබලි එක්කොට මට ඔබේ රුව ඒ සඳ දියේ නිමවන්නට අවැසිය.
 
අවැසි වැසි නොවැසි
 
නොවැසි වැසි අවැසි... ජීවිතයේ ගිනියම ඒ සඳ සිහිලෙන් තෙමාලන්නට මට අවැසිය. ඒත් සීතලට ගැහෙන ඇඟිලි තුඩුවලින් මම තවමත් විසුරුණු සඳ සෙවණැල්ලේ අංශුමාත්‍ර සොයා වෙහෙසෙමි.
සංසාර මතක දියවරේ කිමිදෙමින් ඔය රුව මා නෙත ගැටුණු භව සක්මන පුරා ඉතින් මම නුඹ නැතුව නුඹ එක්ක ඔහේ ඇවිද යමි.
 
ඔබ මා සසල කරවන තරමක්!
ඔව් ඔබ මා සසල කරවන තරමක්!
 
නිසල දිය මත‍
පා වෙවී ඔබ
සසල කරවයි මගේ මන දොළ
දියට බැස සඳ ගනිමි දෝතට මං
අනේ සඳ බොඳවී නොයන්
සීතලයි බොඳවී නොයන්...
 
ඒ සසල සිතින් නුඹ දකින්නට ලොබ බැඳි සිතින් මම නිසල දිය මත සිත්තම් වූ ඔබේ රුව දෙස බලා හිඳිමි.. ඈත අහසේ සඳ මගේ දෝතට බොහෝ දුර නිසාදෝ සිතට අවැසි දිය ගැඹුරේ සිත්තම් වූ ඒ සඳ මගේ දෝතට ගන්නටයි... එහෙත් දිය මත ඇඳුණු ඒ සඳ මගේ දෝතට වඩමවාලන සඳ කැළතෙනා දියත් සමඟම ඒ සඳත් බොඳවී යාදෝයි මට සිතේ.
 
ප්‍රේමය යනු අයිතියක් නොවේ. අයිතිය රුඳුණු තැන ප්‍රේමය නොරුඳිය හැකි සේම ප්‍රේමය රුඳුණු තැන අයිතිය නොරුඳී යා හැකිය. හෘද සාක්ෂිය අස නුඹේ ප්‍රේමය මගේ හදවතට අවසඟව නොයන සඳ අයිතියේ රාමුව තුළ ඉතින් මම ඒ අනන්ත ප්‍රේමය සංසාරයේ එක මොහොතකවත් සිර නොකරමි.
 
මට අවැසි පෙම් කරන්නට පමණි.
මට අවැසි ප්‍රේමය විඳින්නට පමණි.
 
ඉතින් මේ සීතලේ මා උණුසුම් කරලනු පිණිස නුඹට සපැමිණෙන්නට හැකි නම්... සඳට කෙතරම් මා දුර වුවත් මම ඔබ ප්‍රේමණීය සිහිනයක දැවටී වෙළී රහසේම සිප ගනිමි.
නිබඳ මා දවන තනිකම නුඹට නොදැනේ. මම හැම රාත්‍රියකම අනන්ත අහසේ පුර සඳ සොයමි. 
 
ඒ අහස මගේ ජීවිතයයි.
ඒ පුර සඳ නුඹේ ප්‍රේමයයි.
අඩ සඳක් නොව පුර සඳක් මගේ පැතුමයි...
ප්‍රේමයේ නිර්වචන නැති පරිසමාප්තිය මගේ පැතුමයි...
ඉතින් නොඉල්ලමි කිසිවක්ම ප්‍රේමයම හැරෙන්නට
 
සඳ දියෙහි සිත්තම් කළ නුඹේ රුව සිපගනිමින් උණුසුමක් සෙවූ මට සීතලම තනිකමම හැරෙන්නට ලද උණුසුමක් නැති මොහොතක මම නුඹට රහසේම හැමදාම ඉකිගසමි.
 
මට කියන්න කෝ ඉතින් නුඹ...
නුඹට නොදැනුණි
මගේ තනිකම
කෝ කොහෙද නුඹ බිඳුණු පුර සඳ
සඳ දියෙහි බැස උණුසුමක් සෙවූ මං
අනේ සඳ බොඳ වී ගිහින්
සොළොස් සඳ කොහෙදෝ ගිහින්...
 
තවමත් තනිකම දරාගෙන සීතල දරාගෙන මම සිහිනයෙන් ඒ සඳ සොයමි...
 
මගේ සඳ ඔබ...
නෑ ළඟත් අද..
 
 
 
(පද සංයෝජනය/ Ninma Hendry
සංගීත සංයෝජනය/ අමිල දිල්හාන්
ගායනය/ සේනානායක වේරලියද්ද)
 
I සංජු