2023 ජනවාරි 08 වන ඉරිදා

ලෝකෙ පුරා සරම උස්සන ගවුම උස්සන අමුතු මඟුල් කලාවක්!

2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00555

ඔන්න මචෝ අද අපි අරගෙන ආවේ ටිකක් අමුතු ජාතියේ Y Trend එකක්. මේ කතාව මේ දවස්වල වැඩිපුරම Trending යන Wedding Photo Shoots ගැන. අපේ සුදාලා ලොකු බබාලා වගේ පොඩ්ඩක් කල්පනා කරනවා නම්, මේ වගේ සීන් එකක් ලියපු එක ගැන අමනාප වෙන එකක් නෑ.

මේක පස්ස පැත්තට සම්බන්ධ කතාවක්. ඔන්න අපිට කෝචොක් කරන්න එපා. මේ Y Trend එක අපිට ගලපන්න හිතුණෙ මනමාලයෝ මනමාලිගේ පස්ස පැත්ත මිරිකගන්න ෆොටෝ පිස්සුව දැක්කට පස්සේ. අද වෙද්දී මේක මොබයිල් ඡායාරූපකරණයේ සහ මංගල ඡායාරූපකරණයේ World Trend එකක් වෙලා තියෙන්නෙ.

හරි මුල ඉඳන්ම අපි හිමිහිට කතාවට එන්ටර් වෙමු. මංගල ඡායාරූපකරණය කියලා කියන්නෙ සෑහෙන්න පරණ concept ඒකක්. ඡායාරූපකරණය ආරම්භයේදී ම තමයි මේකත් ඇවිල්ලා තියෙන්නෙ. ඒ සීන්කෝන් එකේ දිග පළල ගළපන්න අද නම් වෙලාව මදි. කොහොම වුණත් එක්දාස් අටසීය ගණන්වල ඉඳලම මංගල ඡායාරූපකරණය සිද්ධවෙලා තියෙනවා කියලා කියන්න ඓතිහාසික සාක්ෂි ඕනතරම් තියෙනවා.

මේ මඤ්ඤං කතාවට මොනවා හරි වැදගත් දේකුත් එකතු කරන්න ඕන නිසා කියන්නම් 1829 ගත්ත මංගල ඡායාරූපයක් අදටත් ඉතුරුවෙලා තියෙනවා. එතකොට 1840 වික්ටෝරියා රුජනගෙයි ඇල්බට් කුමාරයගෙයි විවාහ මංගලෝත්සවයත් ඡායාරූප ගත කරලා තියෙනවා මචෝ. ඒක මේ සීන් එක නැගලා යන්න ඒ කාලේ හේතුවක් වුණාලු.

ඉතින් සුදාලාට පැහැදිලියිනේ මේක ඓතිහාසික සීන්කෝන් එකක්. වර්තමාන සීන් එක පැත්තට ආවාම අපේ සිරිලංකාවේ මංගල ඡායාරූප කලාවේ ප්‍රධානතම නිදර්ශකය වෙන්නේ ඉන්දියාව. ඔය පස්ස පැත්ත මිරිකන සීන් එකේ ඉඳලා Wedding photography වල ගොඩක් පිස්සු සීන් අපිට බෝ වෙන්නෙ ඉන්දියාවෙන්. බටහිර ආභාෂය නැතුවමත් නෙවෙයි.

මේ සීන් එක නම් වස්තුලා විශ්වාස කරන එකකුත් නැහැ. කොහොම හරි ඉන්දියාවේ Wedding photography industry එක රුපියල් බිලියන 800ක් විතර වෙනවයි කියලා තමා අන්තර්ජාල දත්ත කියන්නෙ. ඒ විතරක් නෙවෙයි වාර්ෂිකව 25෴ වර්ධනයකුත් මේ කර්මාන්තය ඇතුළෙ දක්නට ලැබෙනවලු. පස්සවල් මිරිකෙන්නෙ නැතුව තියෙයිද ඉතින්.

මංගල ඡායාරූපකරණය කොච්චර ඓතිහාසික, ජනප්‍රිය සීන්කෝන් එකක් වුණත්, දකුණු ආසියාවේ අපේ අයගේ වර්ණවත්, සංස්කෘතිකාංගවලින් පිරුණු ඥාති හිතමිත්‍රාදීන් පිරිවරා ගත්තු මංගල උත්සව නිසා තමා මේක නැගලා ගියේ. තවමත් බටහිර බොහෝ රටවල්වල අපේ රටවල්වල තරම්ම මංගල ඡායාරූපකරණයට ලොකු වටිනාකමක් දෙන්නෙ නෑ. ඒක ඒ අයගෙ විවාහ මංගල උත්සවවල එක්තරා කොටසක් විතරයි.

අපේ අය නම් වෙඩින් එක කියන්නෙම Photo album එකට. හිතාගෙන බැරි මුදලක් වියදම් කරලා දෙන්නා ඇඳ පළඳින්නේ හැම දෙයක්ම කරන්නේ සුපිරියටම Photos ටික ගහගන්න තමයි. අනෙක් සීන් එක සුදෝ Wedding එකට එන හැම කෙනාම Wedding album එකේ ඉන්න ඕන කියලා අදහසක් අපේ අයගේ ඔළුවේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි Wedding එක ඇතුළෙ සිද්ධ වෙන හැම බිබික්කමක්ම ඡායාරූප ගත වෙන්න ඕන කියලත් අපේ සුදාලා හිතනවා.

බටහිරෙන් ඡායාරූපකරණය සහ මංගල ඡායාරූපකරණය අපේ ආසියාකරයට ආවට, මංගල ඡායාරූපකරණය අලුත් Trend නිර්මාණය කරන්නේ ඉන්දියාව සහ අපි ඇතුළු ආසියාතික රටවල තමා. දැන් ඇමරිකාවේ බටහිර අයටත් අපිට තියෙන උණ හැදීගෙන එනවා. ඇත්තටම ඒ අයට මේ උණ බෝ වෙලා තියෙන්නෙ අපෙන්. අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ මචෝ, බටහිර ඉපදුණු පස්සේ අපිට බෝ වුණු Y Trend ගැන. හැබැයි මේ සීන් එක ඒකේ Opposite එකක්.

කොහොමහරි අපි දන්නවා කාලෙන් කාලෙට Wedding Photography වල එක එක රුළි ආවා, පෙරළි වුණා. සුදාලාට මතක ඇති ප්‍රී ෂූට් රුල්ල මෑතකාලීනව ලොකු වෙනසක් කළා මේ ක්ෂේත්‍ර යේ. Free Shoot එක නැත්නම් වෙඩින් එකක ගැම්මක් නෑ වගේ සීන් එකක් තිබුණේ. මතකද අපි ඒ කාලේ විස්තර ලිව්වා වස්තු, ඒත් මේ දවස්වල ඒ සීන් කෝන් එක පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙලා තියෙනවා. අලුත්ම සීන් කෝන් එක තමා පස්ස පැත්ත මිරිකන ෆොටෝ ගන්න එක.

මනමාලයා මනමාලිගෙ පස්ස මිරිකනවා. මනමාලි මනමාලයගෙ පස්ස මිරිකනවා. මේ පස්සවල්වල ප්‍රමාණය ගැන ෆේස්බුකියේ මේ දවස්වල Post කෝටියයි. ඒ අස්සේ මනමාලයන්ගේ සරම උස්සන්නත් සමහර මනමාලියෝ පටන් අරගෙන. මේ අතර මනමාලියන්ගෙ ගවුම් සාරි උස්සන මනමාලයෝ ඉන්නවා. මේක පට්ට මඤ්ඤං සීන් කෝන් එකක් මචෝ. මේ සීන්කෝන් දැක්කම ඔලුව කුරුවල් වෙලා යනවා සුදෝ.

අපිට මොකෝ උන්ට හොඳ නම් කියලා සමහරු මේවා බලන් හිටියට, තවත් අය මේවා ගැන පට්ට විවේචන කරනවා. ඔන්න ෆේස් බුකියෙ පොරක් ලියලා තිබුණ මෙන්න මෙහෙම කතාවක්.

''පස්ස මිරිකීම හා රෙද්ද උස්සා බැලීමේ ඡායාරූප  කලාව වර්තමානයේ සමහර ඡායාරූප ශිල්පීන් විසින් ගන්නා ලද ඡායාරූප හා වීඩියෝ දර්ශන මුහුණු පොතේ බහුලව දැකිය හැක. මා ඡායාරූප ශිල්පය හදාරණ සමයේදී ඡායාරූප ශිල්පියෙකු විසින් පිළිපැදිය යුතු විශේෂ ගුණාංගයන් රාශියක් අප වෙත කියා දී ඇත. ඡායාරූපයක් තුළින් අප සමාජයට දෙන පණිවිඩය, එහි කලාත්මක භාවය බලන්නාගේ සිත තුළ මැවෙන චිත්‍රය වැටහීමෙන් ඉතාමත් ශිෂ්ට සම්පන්නව අප කැමරාව මෙහෙයවිය යුතුය. එහෙත් අද කාලේ සිදුවන කිසිම හරයක් නැති මෙවැනි පුස් ඡායාරූප තුළින් මෙම ශිල්පයට නැඹුරු වන ආධුනිකයාගේ මනසටත් බලපානු ලබයි. නූල කැඩිච්ච සරුංගලයක් වගේ යන මේ ඡායාරූප කලාව නිසි මගට හැරවීම අප කාගේත් යුතු කමකි.''
අඩේ ඒකම මරු කියලා, අපි ඊළඟ එකට මාරු වෙද්දී ඔන්න පොරක් මේකම ශෙයා කරලා තිබුණා මෙන්න මෙහෙම ලියලා.

''පස්ස නෙමේ මොක මිරිකුවත් අපිට මොකද එයාලානේ මිරිකගන්නේ, හෑලි ලියන අය නෙමේනේ. ආස අය බලයි. ආස නැති අය බනී. අපි වගේ අය ඒකෙන් ආතල් ගනී...'' (මුල්ම වචනේ ලියලා තිබුණේ අකුරු දෙකේ වෙන වචනෙකින් ඈ....)
දැන් මචෝ මේ දෙගොල්ලන්ගෙන් කවුද හරි? අපිට නම් එච්චර අදළ නෑ. ෆේස්බුකියේ මේ වගේ සීන්කෝන් ගැන මෙහෙම ආතල් සාමාන්‍යයයි. ඔයාලටත් පුළුවන් කැමති මතයක් දරන්න. හැබැයි අනවසරයෙන් කවුරුහරි ඔයාලගේ පස්ස මිරිකන්න ආවොත් නම් අත හරින්න එපා. කන පුරවලා දෙකක් දෙන්න. පොලීසියේ ළමා හා කාන්තා අංශයේ පැමිණිල්ලකුත් දාන්න. හෝ හෝ පොඩ්ඩක් පිට පැන්න. ආයෙත් සීන් එකට එන්ටර් වෙමුකො. මචෝ මේ වෙනකොට ලංකාව වගේම ලෝකෙ පුරාම මේ Trend එක නැගලා යනවා. මතකද කාලයක් ගල් උඩ නැගලා කලිසම් පාත්කරලා පස්ස පෙන්නන Trend එකක් Hit වුණා. අන්න ඒ වගේ තමා මචෝ මේ සීන් එකත්.

ඔය රුළි කියලා කියන්නේ හැමදාම තියෙන දෙයක් නම් නෙවෙයි. ඕවා එනවා යනවා. කොහොම වුණත් මේ හැමදෙයක්ම Marketing කෑලි තමා. මතකනේ අපි කිව්වා මේක කොයි වගේ economy එකක් තියන industry එකක්ද කියලා. ඒ නිසා සීන් එක පවත්වාගෙන යන්න මේ වගේ මඤ්ඤං hit එයාලට ඕනෑ වෙනවා. මිනිස්සු සාමාන්‍යයෙන් මේ රහට හොරාට කැමතියිනේ මචෝ.

පොදුවේ ගත්තම නම් වස්තු,  මේ වෙද්දී මංගල ඡායාරූපකරණය අපේ සංස්කෘතිවලට අනුව නම් තරමක් අසැබි පැත්තට බරවෙනවා වගේ තමා පේන්න තියෙන්නෙ. ඒත් බටහිරට අනුව මේ දේවල් සාමන්‍යයි. ඒත් හැමදේකම ආචාරධාර්මික පැත්තකුත් තියෙනවා. සංස්කෘතියත් අමු අමුවේ අමතක කරලා දාන්න නම් බැහැ. ඒ වගේම ලෝකයක් විදිහට යාවත්කාලීන වෙන්නත් ඕනෑ. ආතල් තියෙන්නත් ඕනේ. හැමදේම සමබර  වුණොත් ඒ ඇති සුදෝ.

කොහොම වුණත් කොයි කවුරුත් අවසාන වශයෙන්  මතක තියාගන්න ඕනම දේ තමයි ඡායාරූපයක් කියලා කියන්නේ මතකයක්. අපි ඡායාරූප ගන්නෙ අපට ඉතිරි කරලා තියාගන්න. ඔයාට ඉතුරු කරන්න ඕන කොයි වගේ මතකයක්ද? ඒක තමයි ඔයාගේ ඡායාරූපය. එච්චරයි. සරලයි.

I නිසල්