සිංහල නාට්‍ය කලාව තුළ හමුවන රංගවේදිනියන් අතර තම රංගනය උදෙසා ගිනස් වාර්තාවකටද හිමිකම් කියන ඇය මෙරට නාට්‍ය කලාවේ මහා යුග පුරුෂයෙකු වූ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මහා දෘෂ්‍ය කාව්‍ය වූ 'සිංහබාහු' හි වසර 30ටත් වඩා සුප්පා දේවිය වූ මාලනී ලිලියන් ද සිල්වා නොඑසේ නම් අද කවුරුත් දන්නා පරිදි මාලනී රණසිංහ නම් වන්නීය. උපන් බිමෙන් බැහැරව තම ආදරණීය දියණිය සමඟ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ඇය පසුගියදා මව්බිමට පැමිණි මොහොතේ හදසර සමඟ ඇගේ කතාව කියන්නට එක් වූවාය.
"මගේ ආදරණීය දියණිය කාංචනමාලා රණසිංහගේ ඒකපුද්ගල ගීත ප්‍රසංගය 'සඳ පහන් රැය' වෙනුවෙන් තමයි මෙවර මා ලංකාවට ආවේ. කාංචනා දුව ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරියක් ලෙස සේවය කරනවා. ඇය කලාවට හරිම සමීපයි. දැන් ඇගේ දරුවන් ලොකුයි. ඒ නිසාම ඇගේ කලා හැකියාවන්ගෙන් යම් නිර්මාණවලට එක්වෙන්න ඇයට දැන් ඉඩ ලැබෙනවා. මගේ පුතා රොෂාන්ත ජාලිය රණසිංහ. නෙදර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ සංගමයේ මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කරනවා. ඔහුත් විවාහකයි. චරනි මගේ ලේලිය. ගිහාන් බෑණනුවන්."
කවියට, ගීතයට, රැඟුමට එක සේ ප්‍රිය කළ ද මාලනී රණසිංහ උසස් අධ්‍යාපනය ලැබුවේ ජීව විද්‍යා අංශයෙනි. විද්‍යා අංශ ගුරුවරියක ලෙසද ඇය දිගු කාලයක් පුරා සේවය කළාය. මහනුවර කටුකැලේ ප්‍රදේශයේ උපන් ඇය පුෂ්පදාන බාලිකාව සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් සිප් සතර උගත්තාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය හිමිකර ගත්තාය. ඒ නාට්‍ය රංගනය ද සිදු කරන අතරමය.
"මේ ලෝකෙ හොඳම අම්මයි තාත්තයි මට හිටියේ කියලා කියන්න පුළුවන්. මගේ අම්මා කහඳවල ආරච්චිලාගේ දෝන කැරොලයන් කහඳවල. ගුරුවරියක ලෙසත් විදුහල්පතිනියක ලෙසත් සේවය කළා. තාත්ත මිත්‍රසේන ද සිල්වා. ඔහු ව්‍යාපාරිකයෙක්. මට අයියා කෙනෙකු සහ නංගි සහ මල්ලි කෙනෙකු හිටියා. ඊට පෙර උපාලි සහ රාණි නමින් වැඩිමල් සොයුරියක හා සොයුරෙකු සිටියත් ඔවුන් ඉතා අඩු ආයුෂ විඳ මෙලොවින් සමුගෙන තිබුණා. මට නම් ඔවුන් ගැන මතකයක් නැහැ. ඉස්සර අම්මා තමයි කියන්නෙ රාණි අක්කගෙ වාසනාව නිසා තාත්තාට ව්‍යාපාර සාර්ථක කර ගන්නට වාසනාව උදා වුණා කියලා. අයියා වර්ණන්. නංගි ජයන්ති. මල්ලි නිහාල්. ඉතා සුන්දර ආදරණීය ළමා කාලයක් මට තිබුණා. ඉස්සර අයියයි මායි නිතරම රණ්ඩු වෙනවා. නමුත් කාලයත් සමඟ ඒවා නැති වුණා. මල්ලි කුඩා වයසෙදි අම්මා හොඳටම අසනීප වුණා. මේ නිසාම මල්ලි හැදුණේ අපේ මහප්පලාගෙ ගෙදර. ඔහු නැවත අපේ නිවසට ආවේ වයස අවුරුදු හතේදි. එයා එහෙම ආව මුල්ම දවසේ මට හොඳටම මතකයි. පුංචි සරමකුත් කමිසයකුත් ඇඳන් ඉස්කෝප්පුවේ එහා මෙහා ඇවිදිමින් සිටියා. මට දැනුණා ඔහුට පාළුයි කියලා. මට මල්ලි ගැන හරිම දුකයි. මම එයාව ඔඩොක්කුවේ වාඩි කරගෙන කතා කර කර හිටියා. අද වගේ මතකයි ඔහු තාත්තාගේ අවසාන කාලේ ධර්මරාජයේ ඉගෙන ගනිමින් සිටියේ. නමුත් තාත්තා අපව හැරදා ගිය දා සිට ව්‍යාපාර බලාගත්තේ ඔහු. දක්ෂ ශූර ව්‍යාපාරිකයෙකු ලෙස තාත්තගේ 'සිරිපුර' ව්‍යාපාරය ඇතුළු සියල්ල ඉතා සාර්ථකව කරගෙන ගියා. මගේ නංගි ජයන්ති විවාහ වුණේ ප්‍රවීණ රංගවේදී ආචාර්ය ජයලත් මනෝරත්න සමඟ."
ප්‍රේක්ෂකයන් ඉදිරියේ බිය සැකෙන් තොරව මුලින්ම ඉදිරිපත් කිරීමක් වෙනුවෙන් තමන් යොමු කළේ සිය ආදරණීය මෑණියන් බව මාලනී පවසයි.
"ඉතාම කුඩා වයසෙදි අම්මාගේ පාසලට මම ගියා. පාසල් රැස්වීමකදි තමයි 'යමුනා යමුනා සෝබන ගංඟා' ගීතයට නැටුමක් කළේ. අම්මා මගේ හැකියාවන් හොඳින් තේරුම්ගෙන තිබුණා. මාත් අයියාත් දෙදෙනාවම වරෙක මහනුවර බෞද්ධ සමිතිය මගින් සංවිධානය කළ කවි තරගයකට ඉදිරිපත් කළා මට මතකයි. අයියාට ලැබුණේ රාහුල කුමරුගේ කවි පෙළක්. මට ලැබුණේ බිම්බා දේවියගේ වැළපිල්ලයි. අම්මා අපිව පාන්දරින්ම ඇහැරවලා කවි පාඩම් කරවනවා. අන්තිමේ අප දෙදෙනාම ඉතා හොඳින් ගායනය ඉදිරිපත් කළා. කවුද පළමුවැනියා කියා තෝරන්න අපහසු නිසා යළිත් අපිට ගායනා කරන්න කිව්වා. එතැනදිත් දක්ෂතම කවුදැයි සෙවීම අපහසු වුණා. අවසානයේදි අයියාත් මාත් දෙදෙනාම ප්‍රථම ස්ථානයට ජයග්‍රහණය කළා. මගේ කටහඬ ප්‍රියයි කියන දේ මට තේරුණේ හතර පන්තියේ ඉගෙන ගත් කාලයේ. පාසලේ පන්තිවලට අදාළ නව ගොඩනැගිල්ලක් ඉදිකෙරෙන නිසා 4, 5, 6 පන්ති වෙනත් ගොඩනැගිල්ලකට රැගෙන ගියා. පන්ති වෙන්වුණේ බාග බිත්තිවලින්. ඉතින් සිංහල පාඩම වෙලාවෙදි අපිට කවි ගායනා කරන්න වෙනවනෙ. ගොඩක් වෙලාවට ගුරුතුමිය මට තමයි ඒ කාර්යය පවරන්නෙ. මම නැගිටලා මට පුරුදු විදිහට උස් හඬින් ගායනා කරනවා. මුළු ශාලාවේම මගේ හඬ රැව් දෙනවා. අනිත් පන්තිවල සිසුන් සහ ගුරුවරුන් දෙදෙනා හැරි හැරි බලනවා. එවිට තමයි මට මගේ ගායනය ගැන හැඟීමක් ඇතිවුණේ. ඒ කාලයේදි මාව හැඳින්වුණේ 'හයියෙන් කවි කියන මාලනී' නමින්. මේ සියලු දෙයෙහි පදනම සැකසුවේ මගේ ආදරණීය දෙමව්පියන්."
ඉගෙනීමට ද උපන් හපනියක වූ මාලනී කවි, ගීත ගායනා කරනවා සේම ක්‍රීඩාවට ද දක්ෂතා දැක්වුවා. ඇය පාසලේ නෙට්බෝල් කණ්ඩායමේ සාමාජිකාවක් වූවා සේම වර්ණලාභී නෙට්බෝල් ක්‍රීඩාවක ද වූවාය.
"මම පුංචි කාලෙදි කිව්වේ කවදා හරි රුක්මණී දේවි කෙනෙක් වෙනවා කියලා. මම ඇගේ ගීතවලට හරිම කැමතියි. ඒ කාලේ මම ගොඩක් ගායනා කළෙත් රුක්මණීගේ ගීත. 1960 වසරෙදි තමයි උසස් පෙළට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටියේ. කොළඹ විශ්වවිද්‍යාලයට යා හැකි වුවත් මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ජීව විද්‍යා උපාධිය තෝරාගත්තා. 1961 වසරෙදි විශ්ව විද්‍යාලයට මා ඇතුළු වුණා. ඉතා සුහද සුන්දර පිළිගැනීමක් වුණා. ජ්‍යෙෂ්ඨයන් අපිට කළ හැකි දේවල් විමසද්දි මගේ යාළුවෝ තමයි කිව්වෙ මට ගායනා කරන්න පුළුවන් කියලා. ජ්‍යෙෂ්ඨයන් මට කිව්වා ගීතයක් ගායනා කරන්න කියලා. මම රුක්මණී දේවිගේ ගීයක් ගායනා කළා. ඒ ගායනය මගේ සමස්ත ජීවිතයම වෙනස් කළා. මොකද මේ වෙද්දි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහබාහු පටන් අරන් තිබුණා. එදා ගිල්ඩා ඔබේසේකර ශාලාවේදී මා රුක්මණී දේවියගේ ගීතය ගැයූ දාට පසුවදා සරච්චන්ද්‍රයන් වෙත මා කැඳවාගෙන යාමට විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් පැමිණියා. ඔවුන් මට ඔවුන්ව හඳුන්වා දුන්නේ සිංහල නාට්‍ය සංගමයේ සභාපති හා ලේකම් වශයෙන්. ඒ දෙදෙනාගෙන් එක් අයෙක් තමයි ටෙරන්ස් රණසිංහ. පසු කලෙක සිංහබාහු නාට්‍යයේ පොතේගුරු ලෙස පන්දහස් වාරයක්, දශක තුනකටත් වැඩි කාලයක් 'දැන් - නරඹන සොඳින - සුප්පා දේවි මනකල්' යනුවෙන් මාව වේදිකාවට හඳුන්වා දුන්නේ ඔහු. ඒ විතරක් නොවෙයි සසර පුරා පතා ආ ලෙස මේ භවයේදී මගේ සංසාර සහකරු වූයෙත් ඔහු. ටෙරී.. දරුවන් නිසා හෝ මොන යම් හේතුවක් නිසා හෝ මා නාට්‍යයෙන් ඉවත් වන්නට හදන සෑම විටකම එය වළක්වමින් මගේ ගැටලුවට විසඳුම් සොයා දෙමින් මා දිරිමත් කළේ ඔහු. වසර 31ක් පුරා එක්ව අප කළ රංගනය ගිනස් වාර්තාවකට හේතු වුණා. 2002 වසරෙදි Most durable Actor – Actress due ලෙස නම් කරමින් අප දෙදෙනාට සම්මාන පුද කෙරුණා. ටෙරී ගුරුවරයෙකු ලෙස සේවය කළා වගේම 1971 සිට ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්තව සේවය කළා. මමත් නිළි භුමිකාවට පමණක් සීමා වුණේ නැහැ. විශ්වවිද්‍යාලයට කැඳවන තුරුත් මා ගුරුවරියක ලෙස වතුරකුඹුර මහා විද්‍යාලයේ වැඩ කළා. 1961 දි විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉන් උපාධිය ලබා පිටවූ පසුවත් මා වෘත්තිය ජීවිතය ආරම්භ කළේ ගුරුවරියක ලෙසයි. මගේ පළමු පත්වීම ලැබුණේ මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයට. නමුත් එතරම් දුර බැහැරක මාව යවන්න දෙමව්පියන්, විශේෂයෙන්ම තාත්තා කැමැති වුණේ නැහැ. පසුව අවට පාසල්වල පුරප්පාඩු ගැන සොයා බලා ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයට මගේ පත්වීම සකසා ගන්න හැකි වුණා. නිවසේ සිට කෝච්චියෙන් තමයි පාසල් ගියේ. මේ කාලයේ ටෙරීටත් ගුරු පත්වීමක් ලැබී තිබුණා මල්දෙණිය මහා විද්‍යාලයේ. පසුව එයා පිළිමතලාව මහා විද්‍යාලයට මාරුවීමක් ලබාගත්තා. මව්පිය නෑදෑ ආසිරි මැද 1966 අගෝස්තු මාසේ 28 වැනිදා අපි විවාහ වුණා. අපේ කැදැල්ල එළිය කරන්න 1967 රොෂාන්ත පුතාත් 1974 දි කාංචනමාලා දූත් එක් වුණා. කොතරම් කාර්යබහුල මව්පියන් වුණත් අප ඔවුන් දෙදෙනාට ජීවිතයේ හරි මඟ කියා දුන්නා."
ලොවට වැඩ ඇති දරු දෙපළක් දායාද කිරීමෙන් ලද සතුට ඇගේ පොත්වල කාන්තිය තවත් වැඩි කරන වග මට පෙනේ. මාලනී රණසිංහ සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලින් බැහැරව රංගනයෙන් එක්වී ඇත්තේ පසුගියදා අපෙන් සමුගත් ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත්ගේ සුදු කරල් සහ මායා දේවි නාට්‍ය ද්විත්වයේ පමණි. 1986 වසරේදි රාජ්‍ය නාට්‍ය උළෙලේදි හොඳම සහාය නිළිය ලෙස ඇය සම්මානයට පාත්‍ර වූයේ මායා දේවි නාට්‍යයේ රංගනය වෙනුවෙනි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු, මනමේ, වෙස්සන්තර නාට්‍ය සේම 'ඈනුමක් ලැබුවා' ගුවන්විදුලි ගීත නාටකයේ සුභා තෙරණිය වූයේද මාලනියයි. පසු කලෙක සිනමාවටද එක්වූ මාලනී අයෝමා, හිමගිර, යක්ෂාවේෂය චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ අතර හිරු දරුවෝ, ඉරට හඬන මල්, අඹ යාළුවෝ, සෙක්කු ගෙදර, මවකගේ ගීතය, තරු පබා, වෙස් තට්ටුව ආදී ටෙලිනාට්‍යවලද රඟපෑවාය.
"ටෙරී මට කිව්ව දෙයක් සැබෑවටම 2008 වසරේදී සිදු වුණා. මට මතක විදිහට අසනීපවෙලා රෝහල් ගතවෙලා ඉඳලා ආව තෙවැනි වතාවේ මේ කතාව ඔහු කිව්වේ. "අනේ මාලනී කවදා හරි මට ඉස්සෙල්ල යන්න දෙන්න කරුණාකරලා." කී ලෙසම ඔහු අපෙන් සදහටම සමුගෙන ගියා. ඔහු නැති ලෝකයේ මහා පාළුවකින් තනිකමකින් මා වෙළෙද්දී අපේ දූ කාංචනා මාව එයාලා ළඟට රැගෙන ගියා. අද මම විප්‍රවාසයේ අතීත මතකයන් සමඟ ජීවත් වෙනවා. දශක ගණනක් කලා ලොවේ හිතවතුන්, මාධ්‍ය හිතවතුන්, ආදර ප්‍රේක්ෂකයන් මා හට දක්වන ආදරයට මා හැමදාම ගෞරව කරනවා. ආදරය කරනවා."
රංගවේදිනියක ලෙස අපමණ කිත් යසස් ලැබූ මාලනී රණසිංහ කලා ශිල්පිනියනි, හදසර අප ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ ඔබට ඇති සැබෑ ආදරයෙනි.
I මොනිකා සේරසිංහ
සේයරූ- අන්තර්ජාලෙන්