2023 මාර්තු 05 වන ඉරිදා

ඇගයුමෙන් ඇගයුමට ගිය ලාංකික ඔස්ට්‍රේලියානුවා

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 26

අමුතු චරිත අපිට මුණගැසෙන්නේ හරිම අහම්බෙන්. පහුගිය දවසක මුහුණු පොතේ සැරිසරද්දී, අපි ඔහුව දැක්කා. ඔහු ඕස්ට්‍රේලියානු ගායකයෙක්. පුදුමයකට ඔහුට තිබුණේ ශ්‍රී ලාංකික සම්භවයක්. ලංකාවේ කවුරුත් වැඩිමනක් කතාකරලා නොතිබුණත්, ඔහු ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය චරිතයක්. ඉතින් අපි හිතුවා මේ අපූරු අමුතු චරිතය පිළිබඳව තොරතුරු ටිකක් ඔබ හා බෙදාගන්න. ඔහු නමින් ඇන්ඩෲ ද සිල්වා.

ඇත්තටම ඔහු සතුව තියෙනවා ඔබ දැනගත යුතු වටිනා කතාවක්. සරලව කිව්වොත් ඇන්ඩෲ කොන්රඩ් ද සිල්වා කියන්නෙ, R''B සහ රොක් ශෛලීන්වල ගී ගයන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ගායකයෙක්. ශ්‍රී ලාංකික මවුපිය යුවළකට දාව තමා ඔහු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී 1974 වසරේ ජන්ම ලාභය ලබල තියෙන්නෙ.

ඇන්ඩෲ පුංචි කාලේ ඉඳලම සංගීතය සම්බන්ධ හැකියාවන් ප්‍රදර්ශනය කරලා තිබෙනවා. ගායනය, වාදනය වගේම ගීත රචනා කිරීමටත් ඇන්ඩෲ තුළ හැකියාවක් තිබුණා. ජනප්‍රිය ධාරාවට එන්න කලින්. ඇන්ඩෲ පබ්, සමාජ ශාලා වගේ තැන්වල ගී ගැයූ බව කියැවෙනවා. ඇත්ත එදා ඉඳන්ම ඔහු තුළ තිබිලා තියෙන්නේ සංගීතය. සංගීතයේ සහ කලාව ඇසුරේ හැරෙන්න වෙනත් රුකියාවක් ඇන්ඩෲ කළ බව හොයාගන්න නෑ.

1990 දශකයේ ඔස්ට්‍රේලියානු ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණ CDB සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක් විදිහට ඇන්ඩෲ කටයුතු කරපු බව සඳහන් වෙනවා. අන්තර්ජාල තොරතුරු වාර්තාවලට අනුව CDB සංගීත කණ්ඩායම අනූව දශකයේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තෙ අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක්.

සංගීත කණ්ඩායමේ පෙරමුණේ මිනිසා බවට පත්වෙලා ඉඳලා තියෙන්නේ ඇන්ඩෲ. ගායනය වාදනය රංගනය ගීත රචනය ඇතුළු ගොඩක් දේවල් මේ කාලේ ඔහු කරමින් ඉඳලා තියෙනවා. 1996 දී ඇන්ඩෲ ඇතුළු CDB සංගීත කණ්ඩායම වැඩිම අලෙවි වූ තනි ගීතය සඳහා ''ARIA සම්මානය'' පවා දිනාගෙන. ඔවුන්ගේ ගීත අදටත් 90 දශකයේ තරුණ වියේ හිටපු ඕස්ට්‍රේලියානුවන්ට මතක බව කියැවෙනවා.

කොහොම නමුත් 1997 ආසන්න කාලයේ ඇන්ඩෲ ද සිල්වාට කණ්ඩායම් සංගීතයට ආයුබෝවන් කියන්න සිද්ධ වුණා. මේ වෙනකොට ඇන්ඩෲ පිළිකාවකට එරෙහිව සටන් කරමින් හිටියේ. ප්‍රතිකාර ලබාගැනීම වෙනුවෙනුයි ඔහු සංගීතයට තාවකාලිකව සමුදුන්නෙ. සංගීතයට හදබැඳි, ඔහු සටන්කාමී මිනිසෙක් බව, මේ තොරතුරු සොයා බලද්දී අපට වැටහුණා.

ඇන්ඩෲ සිල්වා නැවතත් කරළියට ආවේ 2012 දී. ඒ වෙනකොට ඔහු තනිව නැගී සිටිමින් හිටියේ ගායකයෙක් විදිහට. 2012 Australia’s Got Talent වේදිකාව ඔහු ආක්‍රමණය කළා. ඇත්තටම ඔහුගේ නැවත පැමිණීමට බොහෝ දෙනෙක් කැමැති වුණා. ඒ වගේම Australia’s Got Talent වේදිකාවේ ඔහු ගයපු ගී ඕස්ට්‍රේලියානුවන්ගෙ හදවත් දැඩිව ස්පර්ශ කළා. ඒ නිසාමයි අවසන් අටදෙනා අතරට ඇන්ඩෲ ද සිල්වා තේරුණේ.

පිළිකාවෙන් පසු තනිව නැගී සිට ඒකල ශිල්පියෙකු ලෙස ඉදිරියට පැමිණෙමින් සිටි ඇන්ඩෲ අවසානයේ විශාල ජයග්‍රහණයක් අබියසට පැමිණි සිටියා. සිය කැපවීමෙන් සහ හැකියාවේ අග්‍රඵලය ලොවට ප්‍රදර්ශනය කරමින් Australia’s Got Talent 2012 අවසන් මහා තරගයේදී ඔහු ජය ලැබුවා. ඒ ටස්මේනියානු කන්ට්‍රි රොක් සංගීත කණ්ඩායම වන ද වුල්ෆ් බ්‍රදර්ස් දෙවැනි තැනට ඇද දමමින්.

ඔහුගේ මේ ජයග්‍රහණය පිළිබඳ ලංකාවේ මාධ්‍ය පවා එකල වාර්තා කළා. ඔස්ට්‍රේලියන් ගොට් ටැලන්ට් පස්වෙනි අදියරේ ජයග්‍රහණය සමඟින් ඩොලර් 250,000ක් මුදලකට ඇන්ඩෲ හිමිකම් කිව්වා. මේ වෙනකොටත් ඔහු දෙදරු පියෙක්. ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා අනුව ජයග්‍රහණයෙන් අතිශයින් සතුටට පත් වූ ඇන්ඩෲ ත්‍යාග මුදල, ඔහුගේ සංගීත දිවිය යළි නගා සිටුවීමට සහ සිය පවුලට ණය බරින් නිදහස් වීමට උපකාර වනු ඇතැයි කියා තිබුණා.

''මේ ජයග්‍රහණය මට මගේ කතාව බෙදා ගැනීමට, මගේ සංගීතය බෙදා ගැනීමට අවස්ථාවක් ලබා දී ඇත.''

ජීවිතේ සටන්කාමී ගමනකට පසු තමන්ගේ කතාව ලොවට කියන්නට අවස්ථාවක් ලැබුණු බව ඇන්ඩෲ කිව්වා. ඇත්තටම මවිතය දනවන සුළු ඇන්ඩෲගේ කතාව එතනින් අවසන් වුණේ නෑ. අදටත් ඕස්ට්‍රේලියානු වේදිකාවේ ඔහු ගයමින් වයමින් රඟ දක්වනවා.

මේ අතර ඇන්ඩෲ 2013දී වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වූ බියුටි පැජන්ට් එකක විනිසුරුවරයෙක් විදිහටත් සම්බන්ධ වෙලා තිබෙනවා. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙක් ලෙසින් ඔහු ඕස්ට්‍රේලියාවේදී ලබපු ජයග්‍රහණය මේ ආරාධනයට හේතු වුණු බව කියැවෙනවා. ඇන්ඩෲ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානයට හේතු වුණු බවත් කියන්න ඕනෑ. ඒ නිසාම 2014දී ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංගමය විසින් සෙරන්ඩිබ් සම්මාන උළෙලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන විශිෂ්ටතා සම්මානයක් ඇන්ඩෲ ද සිල්වාට නම් විශිෂ්ඨයාට පිරිනමලා තිබෙනවා.

අද වෙනකොට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මේ අපූරු සංගීතඥයා ලොව සුපතල ගායක කණ්ඩායම් සහ ගායක ගායිකාවන් සමඟම එක්ව වැඩකරලා තියෙනවා. Mariah Carey, Boyz II Men, සහ Shaggy කියන්නෙ ඒ අතරින් අපට අසන්නට ලැබෙන නම් කීපයක්.

2016 වසරේදී Boom Crash Opera කියන ඕස්ට්‍රේලියාවෙ අතිශය ජනප්‍රිය ගායක කණ්ඩායමක ප්‍රධාන ගායකයා බවට පත්වෙන්න ඇන්ඩෲට ඇරයුමක් ලැබුණා. Dale Ryder නම් ප්‍රකට ශිල්පියාගේ හිස්තැන පුරවන්නත් ඇන්ඩෲට බාරවුණා. 1985දී පමණ ආරම්භ වූ ඕස්ට්‍රේලියාවේ විප්ලවීය ගායක කණ්ඩායමක් වුණ Boom Crash Opera ඇත්තම ඇන්ඩෲ ද සිල්වාට අභියෝගයක් වුණේ නෑ.
අපි නොදන්න අපේ රටට නෑකම් ඇති මෙවන් විශිෂ්ටයින් ලොවපුරා විසිරී සිටිනවා. ඇන්ඩෲ වැනි මිනිසුන් පිළිබඳව ඉඳහිට හෝ අප ඔබ සමඟ තොරතුරු බෙදාගන්නෙ ඒ නිසා. ගව් දහස් ගණනක් දුර හිටියත් යම් මොහොතක ඔවුන් අපිව ආඩම්බරයට පත් කරනවා.

I නිසල්