2023 අප්‍රේල් 02 වන ඉරිදා

බයිසිකලේ... හා... හා... බයිසිකලේ!

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 62

පැංචි පුංචෝ දන්නවද, මේ දවස්වල අලුත්ම Y Trend එක මොකක්ද කියලා. සමහරක් විට කොළඹ සහ ඒ අවට City වල Travel කරද්දි ඔයාව දැකලත් ඇති. "මංසරන විදුලි පාපැදි". අඩේ අප්පා මේ කියන්නෙ අපි Electric bicycles ගැම පුතා. දැන් අපේ පාරවල්වල මෙව්වා එක දෙක කැරකෙන්න පටන් අරගෙන. වස්තු, මේක පිස්සු කොර ආතල් සීන් එකක් හරිය.

උදේක හරි හවසක හරි Colombo City එකේ ඉඳලා කිරිබත්ගොඩ, මහරගම, නුගේගොඩ, දෙහිවල වගේ City වලට ඔයාලා travel කරනවා බාගෙන් ඔළුව දාලා බලන්න. අපේ පූතීලා පොඩ්ඩක් උනන්දුවෙන් පාරේ යන වාහන දිහා අනිවා ඩෙපා ඔයාලට Electric බයිසිකල් තුන හතරක්වත් දැකගන්න පුළුවන් වේවි. ආන්ඩවනේ සිරා කියන්නෙ මචා. බලපන්කො පොඩ්ඩක් ඔළුව දමා.

ඔය අපේ රටේ Electric bicycles පැදගෙන යන්නෙ මේ Trend එකේ Beginners ලා. රෙක්ස්පෙට් කොම්ලෝ කෙම්ලෝ ටිකට. ඔන්න මචෝ අපි කිව්වා කියලා මතක තියාගන්න, හරියටම තව අවුරුද්දක් යද්දි Electric bicycles සීයක් හමාරක් දවසකදි ඔයාලා පාරේ බලාගන්න පුළුවන් වෙයි. අඩේ රවුම් කරලා ඉරක් ගහලා ලියලා තියාගන්න, මෙව්වා අනාවැකි නෙවෙයි, Y Trend භාෂිත හරිය.

දැනට නම් මේක ලංකාවේ Fashionable සීන් කෝන් එකක්. ලාබෙට පහසුවට නෙමෙයි පොෂ් සීන් එකට තමා සමහරු eBikes පදින්නෙ. හැබැයි ඔය ආතල් එක තව චූටි දවසයි පැංචෝ. ඒකටත් හේතුවක් තියෙනවා වස්තු, Electric bicycles පිස්සුව කියන්නෙ ලංකාවෙ විතරක් නිර්මාණය වෙමින් තියෙන Trend එකක් නෙවෙයි. ලෝකෙ පුරා ගොඩක් රටවල් පහුගිය අවුරුදු 5ක 6ක කාලය ඇතුළේ මේ සීන් එකේ deeply ඉන්නවා.

ඒ නිසා ලංකාවේ සීන් එක පොඩ්ඩක් අමතක කරලා, අපි ලෝකෙ පැත්තට හැරෙමු සුදෝ. අපි හොයලා බලපු විදිහට මේ වෙනකොට මහජනතාවගෙන් ප්‍රතිශතයක් විදියට වැඩිපුරම Electric bicycles භාවිත කරන්නෙ යුරෝපයේ ඔස්ට්‍රියාවේ. 2021 දී ලක්ෂ 5කට කිට්ටු බයිසිකල් ප්‍රමාණයක් ඒ රටේ තිබිලා තියෙනවා. අඩේ අප්පා දැන් ඒ ගණන දෙතුන් ගුණයකින් වැඩිවෙලා ඇති හරිය. 

ඊළඟට නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනිය, නෝර්වේ වගේ රටවල් තමා මේ Trend එකට ඉස්සරහින් ඉන්නෙ. චීනය, ජපානය, කොරියාව වගේ රටවල් ආසියාවේ පැත්නෙන් ඉතින් සීන් එකට සෙට්වෙලා ඉන්නවා. මේ වෙද්දි ලෝකයේ අනිත් රටවල්වලත් සීන් එක වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ලොකු ලොකු සමාගම් ebikes  branding කිරීම තමා ඒකට හේතුව.

පසුගිය කාලයේ ස්විට්සර්ලන්තයෙ, ඔස්ට්‍රියාවේ මේ විදුලි පාපැදි නිසා අනතුරු එහෙමත් වෙලා තියෙනවා. ඉතින් ඒ රටවල දැන් නව නීති පවා හඳුන්වා දීලා. හැබැයි ඉතින් අනතුරු කිව්වට මචෝ, අපි වගේ කරකුට්ටං වැඩ මාරාන්තික ඒවා නම් නෙවෙයි. වේගය පාලනය කර ගන්න බැරුව වැටෙන තුවාල වෙන ඒවා හරිය. කොහොම වුණත් මචෝ මේක දැන් ලෝක මට්ටමේ ලොකු වෙළෙඳපොළක් තියෙන ව්‍යාපාරක් වෙලා ඉවරයි.

1990 දි විතර eBikes නිෂ්පාදනයේ මුල්ම ගෞරවය හිමිකර ගන්නෙ ස්විට්සර්ලන්තය. මයිකල් කූටර් කියන පුද්ගලයා පැටලයක තෙරපුමක් සහිත විදුලියෙන් ක්‍රියා කරන පාපැදියක් හදලා තියෙනවා ඒ කාලේ. පස්සේ 1993 දි Yamaha සමාගමත් මීට සමාන යන්ත්‍රයක් නිෂ්පාදනය කරලා. දැන් නම් ලෝකෙ පුරා විශාල සමාගම් ප්‍රමාණයක් Electric bicycle නිෂ්පාදනය කරනවා. මේ අය අතර පට්ට තරගයක් තියෙන්නෙ.

පසුගිය කාලයේ අපි දැක්කා මචෝ, ලංකාවේ පාපැදි නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ සමාගම් වගේම, විවිධ පුද්ගලයන් Electric bicycle නිෂ්පාදනය කරනවා. ඒ වගේම ලෝකෙ තියෙන ප්‍රධාන වෙළෙඳ නාමවලට අයිති බයිසිකල් ආනයනය කරලා විකුණනවා. ඇත්තටම බයිසිකල් සීන් කෝන් එකේ ඉන්න හැමෝම දැන් දන්නවා මේක තමා අලුත්ම Trend එක කියලා. Social Media පැත්තෙ කරක් ගැහුවාම අපේ බුකී සුදාලා, eBikes ගැන දාලා තියෙන වීඩියෝ පෝස්ට් එහෙම සෑහෙන්න බලාගන්න පුළුවන්.

ලංකාවේ මේ සීන් කෝන්  එක Trend වෙන්න බලපෑවේ, ඇත්තටම ලෝකය පුරා පැතිර යමින් තියෙන Electric bicycles Trend එක විතරක්ම නෙවෙයි. අපේ වස්තුලාට මතක ඇති පසුගිය කාලයේ ඇතිවුණු ඉන්ධන හිඟය සහ පෝලිමේ කේස් එක. ඔන්න ඒ කාලේ ෆුට් බයිසිකල්වලට පට්ට ඩිමාන්ඩ් එකක් ආවා. ඒ වගේම ඉන්ධන ඉතුරු කර ගන්න පාපැදියෙන් ගමන් යමු කියන concept එක රට පුරා ගොඩක් දෙනෙක් කතා කළා. Electric bicycles සීන් එකත් මේ Topic එකට ලින්ක් වුණා මචෝ.

දැන් මාස හතකට විතර ඉස්සෙල්ලා මචෝ මාර සීන් කෝන් එකක් වුණා ලංකාවේ. ඔයාලා දන්නවා, ඩොලර් ප්‍රශ්න නිසා තාමත් ලංකාවට සමහර දේවල් ආනයන කරන්න තහනම් කරලා තියෙන්නෙ. ඒත් පහුගිය Budget එකේදි විශේෂයෙන්ම මේ විදුලි යතුරුපැදි, විදුලි පාපැදි වගේ දේවල් ආනයනයට පනවලා තිබුණු තහනම බලපත්‍ර ගාස්තුවකට යටත්ව ඉවත් කළා. ඒ දවස්වල ඒ සීන් එක ලොකු නිවුස් එකක් බවටත් පත්වුණා මචෝ. ඒත් කාටවත් එච්චර Touch වුණේ නෑ. 

කොහොම වුණත් අද ලංකාවේ නිර්මාණය වෙලා තියෙන Electric bicycles Trend එකට diction එකත් හේතුවක් වුණා. මේ තහනම ඉවත් වීමත් එක්ක Battery ඇතුළු අනෙක් උපාංග ගෙනල්ලා දේශීය වශයෙන් Electric bicycles නිෂ්පාදනය කරන්න අපි සමහරු පෙළඹිලා ඉන්නවා. ලෝකෙ පුරා E Bicycles Technology එක වේගෙන් දියුණු වෙමින් පවතිනවා කියන එකත් මතක් කරන්න ඕන මචෝ. අපේ කට්ටියගේ පර්යේෂණ ගැනත් අහන්න ලැබෙනවා. සතුටුයි හරිය.

ඔන්න මචෝ ආයෙත් අපි අර අනාවැකිය මතක් කරනවා. 2024 වෙද්දි මුළු රටටම Electric bicycles පිස්සු හැදෙනවාමයි. ඇත්තටම දැන් යුරෝපයේ ලස්සන පාපැදි සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. Electric bicycles කියන්නෙ ඒකේ කොටසක්. සාමාන්‍ය පාපැදි භාවිතයත් ලෝකෙ වේගයෙන් ඉහළ යනවා. ඉන්ධන ඉතුරුවෙන, පරිසර හිතකාමී, රථවාහන තදබද මඟහරින මේ වැඩේ ඇත්තටම බොහොම අපූරුයි සුදෝ. මේ සීන් එක තව ඉස්සරහට නැගගෙන එනකොට eBikes Y Trend එක ගැන අයේම චැටක් දාමු. අදට ඇති.

I නිසල්