2023 අප්‍රේල් 02 වන ඉරිදා

’’මේ ඉන්නෙ මමද?’’ කියලා මටම පුදුම හිතුණා - සූර්යා දයාරුවන්

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 141

 

සූර්යා දයාරුවන් කියන්නෙ නව පරපුරේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම තමයි ඔහු ඉතා දක්ෂ ගායකයෙක්. අද වෙද්දි තමන්ගේම ගීතවලින් රසිකයන් සතුටු කරවන සූර්යා මුලින්ම දැකගත හැකි වුණේ සිනමාවෙන්. ඉන්පසුව ඔහු පුංචි තිරයටත්, වේදිකාවටත් සම්බන්ධ වුණා.

''මම මුලින්ම සම්බන්ධ වුණේ ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කළ 'සමනළ සංධ්වනිය' චිත්‍රපටයටයි. මට තාම මතකයි මම මුලින්ම මගේ රංගනය දැකපු දවස. ඒක මට සප්‍රයිස් එකක්. කවදාවත් මම රංගන ශිල්පියෙක් වෙන්න හිතුවෙ නැහැ. මට ගායකයෙක් වෙන හීනයක් තිබුණා. ඒ නිසා ඒ ගායකයා මේ වගේ පුළුල් තිරයකින් දකින්න ලැබේවි කියලා කවදාවත් මම හිතුවෙ නැහැ. ඇත්තටම මේක මට වගේම මගේ අම්මා, තාත්තා, මගේ නෑදෑයෝ, යාළුවෝ හැමෝටම සප්‍රයිස් එකක් වුණා. මම පාසලේදිවත් කිසිම අවස්ථාවක රංගනයෙන් සම්බන්ධ වුණු කෙනෙක් නෙමෙයි. ඉතින් එදා මංගල දර්ශනයෙදි මට මාව පුළුල් තිරයෙන් දකිනකොට ''මේ ඉන්නෙ මමද?'' කියලා මටම පුදුම හිතුණා. මට මගේ ගැන පොඩි ආඩම්බරයක් දැනුණා. මම නොදන්න පැතිකඩක් ලස්සනට නිරූපණය කරලා ඒක නිර්මාණයක් විදිහට හැමෝම රසවිඳිද්දි මට සතුටක් දැනුණා. එදා මංගල දර්ශනය බලන්න මගේ අම්මා තාත්තා ඇවිත් හිටියා. චිත්‍රපටයේ මගේ කොටස යද්දි ඒ දෙන්නත් මගේ දිහා හැරිලා බැලුවා. එදා මංගල දර්ශනය බලන්න ප්‍රධාන ආරාධිත අමුත්තෙක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඔහුගේ බිරිඳත් ඇවිත් හිටියා. මගේ එහා පැත්තෙ එතුමා වාඩිවෙලා හිටියා. එදා චිත්‍රපටය බලන අතරතුරේදි එතුමා මගේ කනට කරලා ''පුතා මට මගේ පොඩි කාලේ මතක් වෙනවා'' කියලා කිව්වා. චිත්‍රපටය නැරඹීමෙන් පස්සෙ බොහෝ දෙනා මාව වටකරගෙන සුබ පැතුවා. ඡායාරූප ගත්තා. ඒක නම් මට සප්‍රයිස් එකක්.''

'දුරින් ඉන්න' ප්‍රතිචාර නියමයි

මුලදි අපි මතක් කළානෙ සූර්යා අද වෙද්දි අපූරු ගායකයෙක්. පාසලේදිත් ඒ ගායන හැකියාව තිබුණට ගායකයෙක් විදිහට සූර්යාව හැමෝම දැනගත්තෙ නළුවෙක් විදිහට කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණාට පස්සෙයි.

''මම පුංචි කාලෙ ඉඳන් ජාතික රූපවාහිනියේ ළමා වැඩසටහන්වලට සහභාගි වුණා. ඒවායේ ගීත ගායනා කළා. හැබැයි 'සමනළ සංධ්වනිය' කළාට පස්සෙ මුලින්ම මගේම ගීතයක් ලෙසින් කලඑළි දැක්කෙ 'දුරින් ඉන්න' නම් ගීතයයි. ඒක දුමින්ද අලහේන්ද කියන අයියා පද රචනා කළා. සංගීතවත් කළේ අශාන් ප්‍රනාන්දු. ඒ ගීතයේ රූප රචනාවට සජානා වනිගසූරිය සහ වීණා ජයකොඩි රංගනයෙන් දායක වුණා. ඇත්තටම වීණා ආන්ටි කියන්නෙ ප්‍රවීණ කලාකාරියක්. ඇය රූප රචනාවලට සම්බන්ධ වුණු කෙනෙක් නෙමෙයි. නමුත් මගේ ගීතයට වීණා ආන්ටි සම්බන්ධ වුණා. ඒක මට ලොකු සප්‍රයිස් එකක් වුණා. ඒක තමයි මම නළුවෙක් වුණාට පස්සෙ ගායනා කළ මුල්ම ගීතය. නළුවෙක් වෙන්න කලින් කරපු ගීත නිර්මාණවලට ලැබුණු ප්‍රතිචාරයි, නළුවෙක් වුණාට පස්සෙ 'දුරින් ඉන්න' ගීතයට ලැබුණු ප්‍රතිචාරයි වෙනස්. ඒ ගීතයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා.''

බස් එකේ යද්දි මේ ඒ පුතාද අහනවා කනටම ඇහුණා

කලාකරුවෙක්, කලාකාරියක් සුවිශේෂී කෙනෙක් වෙනවනෙ. ප්‍රසිද්ධ කලාකරුවන්ට වඩා ජනප්‍රිය කලාකරුවන්ට ලැබෙන ආදරය හරි සුවිශේෂීයි. 'සමනළ සංධ්වනිය' රඟපෑවට පස්සෙ සූර්යාටත් හරි ආදරණීය රසික ප්‍රතිචාර ලැබිලා තිබුණා.

''සමනළ සංධ්වනියේ රඟපෑවට පස්සෙ එකපාරටම ප්‍රේක්ෂක පිරිසක් මට එකතු වුණා. ඒකත් මට සප්‍රයිස් එකක්. මාව වටකර‍ගෙන සෙල්ෆි ගහන තැනට ඒවි කියලා මම හිතුවෙ නැහැ. 'සමනළ සංධ්වනිය' තිරගත වෙන කාලෙදි මම කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබුවා. ඒ වෙද්දි මම මහරගම කාමරයක නතරවෙලයි හිටියෙ. මම විශ්වවිද්‍යාලයට බස් එකේ ගියා. ඉතින් ඒ දවස්වල මම බස් එකේ යද්දි ''මෙයා අර චිත්‍රපටයෙ ඉන්න පුතා වගේමයි.. මේ එයා නේද?'' කියලා බස්වල කට්ටිය කතා වෙනවා මට අනන්තවත් ඇහිලා තිබුණා. සමහරුන්ට ඒ මමද කියලත් ෂුවර් නැහැ. සමහරු මාව හඳුනගෙන මම ළඟට ඇවිත් කතා කළා. ඡායාරූප ගත්තා. ඒ දවස්වල මම රුවුල ටිකක් වවලයි තිබුණෙ. හැබැයි චිත්‍රපටයේ මම පාසල් ශිෂ්‍යයෙක් විදිහට රඟපාපු නිසා රුවුල සම්පූර්ණයෙන්ම කපලයි තිබුණෙ. ඒ නිසා මාව මඟදි අඳුරගන්න සමහරුන්ට වෙලා ගියා. ඇත්තටම මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මාර සප්‍රයිස් එකක්.''

මොනවා කළත් හරියට ඉගෙන ගත්තෙ නැත්නම් වැඩක් නෑ..

''අපි මොන දේ කළත් අපේ අධ්‍යාපන වටපිටාව හදාගන්න ඕනෙ. ඒක තමයි අංක එක විය යුත්තෙ. අධ්‍යාපනය නිසා ජීවිතේ බොහෝ දේවල් ජය ගන්න පුළුවන්. අනෙකාට ගරු කිරීම, පෞරුෂත්වය, ඉවසීම, දරාගැනීම, මේ හැමදේම අධ්‍යාපනය තුළින් අපිට කියලා දෙනවා. මම සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ඉගෙන ගත්තට පස්සෙ ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකට ගියා. අද වෙද්දි මම ආචාර්ය උපාධියට සූදානම් වෙනවා. මේ හැමදේම අතරේ මම චිත්‍රපට දහයකට, ටෙලිනාට්‍ය තිස් හතකට සම්බන්ධ වෙලා තියෙනවා. මම මගේම ගීත නිර්මාණය කළා. මේ හැමදේම කරන අතරතුරේ මම මගේ අධ්‍යාපන කටයුතුත් කර ගත්තා. අපි අධ්‍යාපන කටයුතු හරියාකාරව කරනවනම් ඕනෑම දෙයකට වෙලාව වෙන්කර ගන්න බැරි නැහැ. ඉතින් ජීවිතේ මේ හැමදේම මට සප්‍රයිස් එකක්.'' 

I දිශානි ජයමාලි