අද කාලේ හැදෙන කොල්ලො කෙල්ලෝ වගේද අනේ ඒ කාලේ. අන්න ඒ කාලේ. ඔයාට කියන්න ඒ කාලේ සුරූපී හරිද... සුරෑපී කාන්තාවකට ඇඟේ රෙද්දක් නැතිව මැණිකක් අතින් අරන් රටේ ඒ කොනේ ඉඳලා මේ කොනට යන්න එන්න පුළුවන්කම තිබුණලු.
කවුද කියන්නෙ......?
මොකද්ද?
කවුද කියන්නකෝ එහෙම කියන්නෙ?
කවුරුත් කියන්න නෙමෙයි පොතේ පතේ තියෙන දැනුම මම මේ කියන්නෙ.
අනේ ඉතින් සුරංගනා සිහින කතා... මෙන්න අහගන්නෝ ඇත්ත නැත්ත.
සීයලා දෙන්නෙක් අම්මා මුත්තා අඳුරගන්න බැරිවෙන්න සප්පායම් වෙලා වැනි වැනී යන අතරේ පේමන්ට් එකේ නතර වෙලා කතාව.
හරි කියනෝ බලන්න.
කොහේද අනේ එහෙම තියෙන්නෙ. පිස්සුද..... කොයි කාලේ වුණත් ගෑනු රෙදි නැතිව පාරෙ ගියොත් මිනිස්සු ගල් ගහල මරයි. ඔයත් විශ්වාස කරනවනේ මේ වගේ ගොන් කතා.
ඒ කියන්නෙ එහෙම වෙලාම නැද්ද අනේ?
පිස්සු විකාරනේ අනේ.... ඔය වගේ කතා ගොඩාක් තියෙනවා ඔය ඇවිල්ලා එක එක කවි කතාවල තියෙන දේවල්නේ.
අනේ මේහ් නිකම් අපිට අගෞරව කතා කියන්න එපා හරිද.
හොඳයි ඔයා ඉගෙනගෙන තියෙනවා නේද මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා කියලා.
ඔව් ඉතින් බොරුද?
බොරැනේ අනේ. ඔය ගංගා හතරෙන් දෙකක් පටන් ගන්නෙ හෝටන් තැන්නෙන්.
තව මරු මරු සින්දු තියෙනවා අමුතු අමුතු තේරුම් තියෙන. මම නම් කියන්නෙ මේ රටේ මිනිස්සුන්ව ගීත සාහිත්‍ය විසින් තමයි නොමඟ යවලා තියනේනෙ.
මම නම් එහෙම හිතන්නෙ නෑ.
හොඳයි ඔයා අහලා තියෙනවද අගාධ සාගරයේ ගැඹුරු දියේ බිලිබෑමී කියලා.
ඔව්....
මොකවත් අවුලක් නැද්ද ඒකේ?
ඔව් ඉතින් බිලී බාන එක පව් සිද්ධවෙන වැඩක්.
අනේ ලෝඩ්ඩ.
ඇයි?
ඒක නෙමෙයි අනේ. අගාධ සාගරේ කවුද අනේ බිලී බාන්නෙ. අගාධ සාගරේ යන්නෙ ටෝලර් යාත්‍රාවෙන්.
කිරි අප්පට ඔව්නේ....
තව එකක්.
මොකද්ද?
මම මේ ළඟදි ඇහුවා අනේ සින්දුවක් කෝමා පැතු ඔබේ ආදරේ කියලා.
ඉතින්....?
මොනවද අනේ මේවා සින්දුද... ආදරයක් කියන්නෙ මොකද්ද?
ආදරයක් කියන්නෙ ඉතින් සෙනෙහෙවන්ත කමක්නෙ.
ආහ්... දෙන්නෙක් එකතුවෙලා සෙනෙහෙවන්තකමක් පටන් ගන්නෙ ඇයි. හොඳින් සමගියෙන් පවුල් පන්සල් වෙලා ජීවත් වෙන්න.
ඉතින් මොකද්ද තියෙන ප්‍රශ්නෙ?
සින්දුවේ පතන්නෙ මොකද්ද?
මොකද්ද?
කෝමා.... කෝමා එකක් කියන දේ ඔයා අහල තියෙනවනේ. කෝමා තත්ත්වයට පත් වෙන්න මොකටද අනේ ආදරේ. කෝමා පැතූ ඔබේ ආදරේ.... අනේද කියන්නෙ.
අම්මපා තමයි...
ඔන්න ඕකයි අනේ වෙලා තියෙන්නෙ මම නම් කියන්නෙ මේ රටේ ලොකුම අවුල තියෙන්නෙ ගීත සාහිත්‍ය තුළ.
වැරදියි.
ඇයි?
ගීත සාහිත්‍යයේ නෙමෙයි අවුල තියෙන්නෙ.
එහෙනම්?
රූප රචනයේ.
ඇයි?
එන එන සින්දුවල වචන තනිකරම ත්‍රිපිටකේ වචන. බුදු සරණයි ඔයාට. තෙරුවන් සරණයි ඔයාට. වගේ වචන තමයි එන්නෙ. පූජා කරන්නම් මලක් ඔයා නමින්, දුකක් නම් වෙන්න එපා ඔබට.... වගේ වචන තියෙන ගීතවලට මොනවද අනේ මේ හදන රූප රචනා.
ඇයි?
එක්කෝ කොල්ලා තාප්ප විකාගෙන අඬනවා. නැත්තං කැහැලා කැහැලා කටින් ලේ දාගෙන මැරිලා වැටෙනවා. එක්කෝ වාහනේට හැප්පිලා මැරෙන්න කලින් කෙල්ලගෙ කොහෙන් හරි අල්ලගෙන එහෙමම පණ යනවා. නැත්තං කෙල්ල යාළුවා එක්ක පැනලා යනවා. එක්කෝ කැලේ ගිහින් කෙල්ලො කෙල්ලෝ අනාචාරේ හැසිරෙනවා. එහෙම නැත්තං කවුරු හරි නළුවෙක් දාලා බුදුරුස් විහිදුවනවා පෙන්නනවා. ඔන්න ඔය වගේ දේවල් නිසා තමයි අද අපේ කලාව නැතිවෙලා තියෙන්නෙ.
අවසාන වශයෙන් ඒ කතාව අහලා මැස්සා තීරණය කළා කලාව විනාශ වෙලා ගිහිල්ලා නම් කලාව ගොඩදාන විදිහේ වැඩපිළිවවෙළක් හදන්න. මම ඒ ගමන් හිත හිත එන්න ආවා.
මම
හොස්ස ළඟින් ගිය මැස්සා