දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති මහා ගංවතුරෙන් පීඩාවට පත්වූ දස දහස් ගණනකට සහන සැලසීම සඳහා රටේ විවිධ පුද්ගලයින්, ආයතන ඉදිරිපත් වෙනවා.
මේ අතර විශාල තරගයක් දෙමින් සහන සේවාවන් සැපයීමට මේ රටේ විද්‍යුත් මාධ්‍ය ජාල රැසක්ද ඉදිරිපත් වෙලා තිබෙනවා. වැඩේ නම් හොඳයි, විද්‍යුත් මාධ්‍යජාල නිසා විපතට පත් වූවන් වෙනුවෙන් අධාර විශාල ප්‍රමාණයක් එකතුකර ගන්න පුළුවන් වගේම ඒවා නිසිපරිදි බෙදාහැරීමකුත් වෙනවා. ඒත් බොහෝ මාධ්‍ය ජාල මේ දේ කරන්නේ ප්‍රදර්ශනයක ස්වභාවයකින් කියලයි බොහෝ අයට හිතෙන්නෙ.
ඒත් ඒ තරගකාරී ස්වභාවය තුළත් අප දුටු හොඳ දෙයක් ගැන කීමටයි මේ සටහන තබන්නෙ. ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) නාලිකාවේ ආදර්ශමත් වැඩක් අපි දැක්කා.
ITN එක කිව්වෙ මෙහෙමයි. පීඩාවට පත්වෙලා සිටින දහස් සංඛ්‍යාත පවුල් වෙනුවෙන් අපි ආරම්භ කළ මේ සහන සැපයීමේ වැඩපිළිවෙළට අපේ ආයතනයට ලබාදීමට නොහැකි නම්, අපි වගේම මේ රටේ අනෙකුත් මාධ්‍ය ආයතන විසින් සංවිධානය කරන මේ සද්කාරයට ඔබත් දායක වෙන්න. ඔබට පහසුනම් එම ආයතනවලට වුණත් ඔබේ ආධාර බාරදී අපේම රටේ ජනතාවට යම් සහනයක් ලබාදෙමු. නෙත් FM ද මෙවැනිම ආදර්ශමත් ක්‍රියාවක යෙදුණා.
අර්ජුන කමලනාත් කියන්නෙ අපට සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. එහෙත් ඔහුගේ දක්ෂතාවය හඳුනාගෙන ඒවායින් ප්‍රයෝජන ගත්තේ කීයෙන් කී දෙනෙකුද?
අර්ජුන ඊයෙ පෙරේදා අලුත් වැඩකට අත ගැහුවා. ඒ තමයි චිත්‍රපටයක් නිෂ්පාදනය. ඔහු නිෂ්පාදනය කරන අලුත්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි.
ලංකාවේ ප්‍රවීණ නළු නිළියන් රැසක් මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළත් මෙය නිෂ්පාදනය කරන අර්ජුන කමලනාත් එහි රඟපාන්නේ නැහැ.
ඔහුට එහි සුදුසු චරිතයක් නැත්නම්, ඔහු ඒ සඳහා මුදල් යෙදවූ පමණින්, චරිතයක් ලබා ගැනීමට උත්සාහ කළේ නෑ. එවැනි ප්‍රතිපත්තිගරුක නළුවන් සෙසු කලා ශිල්පීන්ටද ආදර්ශයක්. අර්ජුනට අපෙන් මල් මිටක් හිමිවන්නේ ඒනිසාය.
පහුගිය දවස්වල ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් එක්ක පළාත් රැසක්ම ගංවතුරෙන් යටවුණා.
ඒත් ගංවතුරට හසු නොවූ සමහර පැතිවල ටෙලිනාට්‍ය දෙක තුනක් රූ!පගත කෙරුණා. ඒත් මොන වැඩ අස්සෙත් ටෙලිනාට්‍ය කණ්ඩායම්වල කට්ටිය හිටියෙ සීරුවෙන්.
එක් ටෙලිනාට්‍යයක රඟපාන තරුණ නළුවෙක් නිතරම හොයලා බැලුවෙ එක්තරා නගරයක් ගැන විතරලු. එහෙට වහිනවද? අම්මෝ කොහෙ වැස්සත් කමක් නැහැ එහෙට වහින්නෙ නැතුව ඔහු නිතරම කියනවලු. බැලින්නම් ඔහු ළඟදීම විවාහ වෙන්න යන කෙල්ල ඉන්නෙ ඒ නගරෙලු.
අද අලුත් පරපුරේ නළු නිළියන්, කල් ශිල්පීන් අතර නෙවෙයි, ඕනෑම ක්ෂේත්‍රයක නවකයින්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි සාමාන්‍ය දැනීමේ ඌණතාවය.
අඩුම තරමෙ තමන් නියෝජනය කරන ක්ෂේත්‍රය ගැනවත් යමක් කමක් කියවලා දැනගන්නවත් මේ පරපුරේ බොහෝ අය උත්සාහ ගන්නෙ නැහැ.
මෑතකදී කොළඹින් පිට ටෙලිනාට්‍ය රූපගත කිරීමක් නිමවුණාට පස්සෙ හවස කට්ටිය සුහද සාදයක් පැවැත්වූවාලු. අලුත් පරණ කලා ශිල්පීන් රැසකට එකට එක්වී බොහේා දේවල් කතා කරන්නටත් අවස්ථාවක් ලැබිලා තියෙනවා.
ඔන්න ඔය අතරතුර සාමාන්‍ය දැනීම ගැන මාතෘකාවකුත් මතුවෙලා. එක්තරා ප්‍රවීණයෙක් තරුණ ශිල්පියෙකුගෙන් ක්ෂේත්‍රයට අදාළ සරල ප්‍රශ්නයක් ඇහුවලු.
හරි පුතා කියන්න බලන්න කේ.ඩී. සිරිපාල කියන්නෙ කවුද කියලා? අර තරුණයා කල්පනා කරලා ඇහුවලු..... රන් මැණිකගෙ හස්බන්ඩ්ද? කියලා.
පහුගිය දවසක මරදානෙ එක්සල් වර්ල්ඩ් පරිශ්‍රයේදී අලුත් චිත්‍රපටයක මුහුරත් උළෙලක් පැවැත්වුණාලු. එය ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් රැසක් සහභාගි වුණේ විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරමින්.
එක්තරා කලා පුවත්පතක් නියෝජනය කළ කැමරා ශිල්පියෙක් තම ආයතනයේ වෑන් රියකින් එතැනට ඇවිත් ආපහු වාහනේ කාර්යාලයට යැව්වලු. වැඩේ ඉවර වුණේ පැය තුනකට පස්සෙලු. අර කැමරා ශිල්පියා කාර්යාලයේ ප්‍රවාහන අංශයට දුරකතනයෙන් කතා කරලා මේ වැඩේ ඉවරයි, පුළුවන් ඉක්මනින් ලෙෂර් වර්ල්ඩ් එකට වාහනයක් එවන්න* කියලා තියෙනවා.
පැය භාගයක් ගිහිනුත් වාහනේ නැහැ. කැමරා ශිල්පියා ආයෙත් කතා කළාලු.
අයියෝ මහත්තයා වෑන් එකක් එවන්නෙ ලෙෂර් වර්ල්ඩ් එකට. ටිකක් වෙලා යයි, කිතුල්ගල නේද?*
අනේ අනේ සොරි මට වැරදීමක් වුණා. මම ඉන්නෙ එක්සල් වර්ල්ඩ් එකේ. ලෙෂර් වර්ල්ඩ් නෙවෙයි ඔහු කිව්වලු.
පහුගිය දවසක පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූවායි කියන සංගීතමය වැඩසටහනක කොටසක් මූණු පොතේ බොහෝ අය ෂෙයාර් කර තිබුණු අතර දහස් ගණනක් එය නරඹා තිබුණා.
එහි අන්තර්ගතය ගැන කතා කරනවාට වඩා බොහේ අය පවසන්නේ එවැනි අවාසනාවන්ත තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා එවැනි භාරදූර වගකීම් තරුණ, දැනුමින් තොර අයට පැවරීම ගැන අදාළ ආයතන වගකීම භාරගත යුතු බවයි.
සජීවී වැඩසටහනකදී ඒ හා දුරකථනයෙන් සම්බන්ධ වන අයෙකුට මාව තරහ ගස්සන්න එපා යැයි කියන තරමට ඒ තරුණ නිවේදකයා කෝපයට පත්වීම කාගේත් කෝපය අවුස්සන්නට සමත් වුණා. තරුණ ගායිකාව නිවේදිකාව අවතැන් වූවන්ට Wish කරනවා කීවේ Wish කියන්නේ ප්‍රාර්ථනයක් බවත් අමතක වෙලා. ගංවතුරින් අවතැන් වූවන් ගැන කනගාටු වෙනවා හැරෙන්න ඔවුන්ට සුබපතන්නේ කොහොමද කියන එක ගැටලුවක්. හැබැයි අපහසුතාවයකට පත්වූවන්ට එයින් ගොඩඒමට ප්‍රාර්ථනාවක් කිරීම නම් වරදක් ලෙස බොහෝ අය දකින්නේ නැහැ. එහෙත් කවුරුත් නොදන්න අය රූපවාහිනී පෙට්ටිය තුළට දමා පුස්පාට් දම්මන්න එපා. එහෙම කරලා අපිව තරහ ගස්සන්න එපා කියලයි ප්‍රේක්ෂකයො කියන්නෙ.
► Text – Mithra