2023 අප්‍රේල් 23 වන ඉරිදා

අපේ අවුරුදු දා...

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 149

දැන් ''ෆොටෝ'' ගන්නවා කිය කියා එයා හරි සතුටින් හිටියා

- ධනංජය සිරිවර්ධන

එදා මට මාධ්‍ය ආයතනයක සජීවී වැඩසටහනකට සහභාගි වෙන්න තිබුණා. ඒ නිසා ඒ ගමන යන්න කලින් අපි ගෙදර අවශ්‍ය විදිහට පිළියෙළ කළා. නැකැත් හැමදේම ඒ විදිහටම කරන්න ටිකක් අමාරු වුණා. චූටි දූ නිසා කාර්යබහුලයි. හැබැයි ඒ හැමදේම ලෑස්ති කරලා මට එළියට යන්න සිදු වුණා. නමුත් ගෙදරදි ශෂිනි ඒ වෙලාවල් එක්ක මාව රෑපවාහිනියෙන් බල බලා ඒ නැකැත් කළා. මම වැඩසටහන කරලා ඉවරවෙලා ගෙදර ආපුවාම අපි අවුරුදු සැමරුවා. පවුලේ හැමදෙනාම ගෙදර හිටපු නිසා ඒක හරි සතුටුදායක දවසක් වුණා. චූටි දුවත් එදා ගොඩක් සතුටු වුණා. එයාටත් අපි ලස්සන ඇඳුමක් ඇන්දුවා. දැන් එයාට අවුරුදු දෙකහමාරයි. අවුරුදු දවසට පෙර දවසක එයාගේ ළදරු පාසලේ අවුරුදු උත්සවයක් තිබුණා. ඒ නිසා අවුරුදු දවස කියන්නෙ විශේෂ දවසක් කියලා එයාට තේරුණා. එයාට ලස්සන ඇඳුමක් අන්දවද්දි එයා &දැන් ෆොටෝ ගන්නවා* කියලා දන්නවා. ඒ නිසා හරිම උද්‍යෝගයෙන් එයාම ලෑස්ති වුණා. එයාම සමහර මාල පවා දාගෙන තිබුණා. දුවට ඒ දවස මතකයේ තියෙන අත්දැකීමක් වුණා.


අමිල තනියෙන් කිරි ඉතිරුවා අපි ඇල්ලෙත් ගියා

- අනූෂා දමයන්ති

මේ පාරත් මට මාධ්‍ය ආයතනයකින් පවත්වපු අවුරුදු වැඩසටහනකට සහභාගි වෙන්න සිද්ධ වුණා. එදා අමිල මාත් එක්ක ඒ වැඩසටහනට සහභාගි වෙන්න ආවේ නැහැ. ඒ නිසා ඒ නැකැත් වෙලාවෙදි මම වැඩසටහනත් එක්ක අවුරුදු සමරද්දි අමිල අපේ අලුත් ගෙදර කිරි ඉතිරෙව්වා. අප්‍රේල් දාහතර වැනිදා මටයි එයාටයි ඒ චාරිත්‍ර කරන්න බැරි වුණු නිසා අපි පහළොස් වැනිදා ඒ චාරිත්‍ර කරලා අපේ කෑම මේසය ලස්සනට හැදුවා. මට එදා තවත් සජීවී වැඩසටහනකටත් සහභාගි වෙන්න තිබුණා. ඒකටත් මම සහභාගි වුණා. ඊට පස්සෙ දාසය වැනිදා අපි ඇල්ලේ ගියා. ඒකත් හරි අපූරු ගමනක්. මගේ අම්මත් අපිත් එක්ක ඇල්ලේ යන්න ආවා. අපි ඇල්ලේ දවස් කිහිපයක් ගත කළා. ඇත්තටම අමිලයි මමයි විවාහවෙලා අපි දෙන්නා ගත කරපු මුල්ම සිංහල අලුත් අවුරුද්ද තමයි මේ ගත වුණේ. ඒ නිසා ඒ අවුරුද්ද අපිට අමතක වෙන්නෙ නැහැ.

ඇයි තාම මේවා කන්න දෙන්නෙ නැත්තෙ කියලා පුතාලා ඇහුවා

- තීක්ෂණ අනුරාධ

පසුගිය අවුරුදු කිහිපයේදිම මම අලුත් අවුරුද්ද මාධ්‍ය ආයතනවල සජීවී වැඩසටහන්වලදි තමයි සැමරුවේ. ඒ නිසා අපිට ගෙදරදි ඒ නැකැත් කරන්න බැරි වුණා. අපේ ලොකු පුතා දැන් ලොකුයි. ඒ නිසා දැන් එයාට තේරෙනවා. ඒ නිසා මේ පාර සිංහල හින්දු අලුත් අවුරුදු දවසේ මම සජීවී වැඩසටහනකට සහභාගි වුණේ නැහැ. අපි ගෙදර ඉඳන් අවුරුදු චාරිත්‍ර ඉටු කළා. පුතාලා දෙන්නට හරි සතුටුයි. කිරි උතුරන නැකැත් වෙලාවේ ඒ දෙන්නා හරිම ආසාවෙන් ඒ දේවල් දිහා බලාගෙන හිටියා. ළිප පත්තු කරන්න දර ළං කළා. කිරි ඉතිරෙනකම් ළිප ළඟට වෙලා බලාගෙන හිටියා. කැවිලි මේසය හදලා තියෙද්දි &ඇයි තාම මේවා කන්න දෙන්නෙ නැත්තෙ* කියලා ඒ දෙන්නා අපෙන් ඇහුවා. ඒ නැකැත් ගැන කියද්දි ඒ දෙන්නා ආසාවෙන් ඒ ගැන අහගෙන හිටියා. &අවුරුදු දවසේ කෑම කන්න වෙලාවක් තියෙනවා* කියලා ඒ දෙන්නා දැනගත්තා. රතිඤ්ඤා පත්තු කරද්දි කන් වහගෙන ඒවා අහගෙන හිටියා. ඒ සැමරුම් දිහා පුතාලා දෙන්නා හරිම ආසාවෙන් බලාගෙන හිටියා. ඒ නිසා අපි හතරදෙනා එකට සමරපු මේ අවුරුද්ද පුතාලා දෙන්නට විශේෂයි.

නෑදෑයෝ එක්ක අවුරුදු සැමරුවා

- ධනංජි තාරුකා

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ මමයි සැමියයි දෙන්නම හිටියේ මාධ්‍ය ආයතනයකින් පවත්වපු සජීවී වැඩසටහනකයි. එදා දවසේ හවස නැකැත් තිබුණු නිසා අපි දෙන්නා උදේ ඒ වැඩසටහනට සහභාගි වුණා. ඒ වැඩසටහන ඉවරවෙලා අපි හවස ගෙදර ගියා. එදා අපි ගෙදර යද්දි අපේ නෑදෑයෝ අපේ ගෙදර ඇවිත් හිටියා. අපි ඒ අය එක්ක අවුරුද්ද සැමරුවා. ටිකක් රූ වෙනකම් ඒ අයත් එක්ක අපි අවුරුදු සැමරුවා.

I දිශානි