2023 අප්‍රේල් 30 වන ඉරිදා

මගේ තාත්තා වගේ වෙන්න මට තියා කාටවත් බෑ - තරංග නෙල්සන්

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 167

''මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ...''

හ්ම්... ඔබ නැතත් මතකය පිරිසිඳ මම ගුණේ අයියගේ බජව් දාන කාමරයේ නවතිමි...

''අලි වංසෙන් වැඩ පෙන්වන සුපර් මෑන්ලා...''

අනේ බයිලේ.... ඔව් එදත් එහෙම කියූ අදත් එහෙම කියන ''අලි වංසෙන් වැඩ පෙන්වන සුපර් මෑන්ලා'' කට්ටියක් නිහාල් නෙල්සන් කීවේම බයිලේ කියලා 'ටැග්' එකක් එල්ලනවා. සුභාවිත ගීත, අවර ගණයේ ගීත කියලා ගීත වර්ගීකරණය කරන ඒ අයට නිහාල් නෙල්සන් කියන්නෙ බයිලේ ගායකයෙක් වුණාට ඇත්තටම නිහාල් නෙල්සන් කියන්නෙ සිංහල ගීතාවලියෙහි ස්ව අනන්‍යතාවක් සලකුණු කළ ගායකයෙක්. (ආ එතකොට අවභාවිත ගීතත් තියෙනවද? කියලා ඇහෙනවා ඉබේටම)
''අලි වංසෙන් වැඩ පෙන්වන සුපර් මෑන්ලා'' කියලා හිතන සමහර මෑන්ස්ලා එහෙන් මෙහෙන් මොනවා කිව්වත් සිංහල ගීතය පිළිබඳව මගේ කියවීම සහ මගේ විවරණය, මගේ ගවේෂණය තුළ ගීතය මම දකින්නෙ මෙහෙමයි. කවුරු කොයි විදිහට විවරණය කළත්, වර්ගීකරණය කළත්, විඳිය හැකිනම්, ගීතය ආත්මීය සංධ්වනියක් ලෙස පපුව ගැඹුරට දැනේනම්... ඒ ගීතය ගීතයක්... 

එහි සෞන්දර්යාත්මක ගුණය ඔබට මට සාපේක්ෂයි. ඒ ඔබත් මමත් දෙදෙනෙක් හින්දා... 

''මේක ගුණේ අයියාගේ බජව් දාන කාමරේ...'' 

විවිධ වූ දිශානතින් ඔස්සේ විචාරයටත්, වරෙක ඇගයුමටත්, වරෙක ගැරහුමටත් පාත්‍ර වූ ඒ ගීතය මගේ කියවීම තුළ සිංහල ගීතාවලියට එක් වූ සුවිශිෂ්ට අර්ථපූර්ණ ගීතයක්... බයිලේ ගායකයෙක් ලෙස ඇතැම් කුහක විචාරකයන්ගේ විවරණයට පාත්‍ර වූ නිහාල් නෙල්සන් යනු මගේ කියවීම තුළ යුගයෙන් යුගයට ගීතමය සලකුණක් සනිටුහන් කළ සිංහල ගීතාවලියෙහි අති විශේෂ පරිච්ඡේදයක්...

''කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් සැදුණේ බලයෙනි ඈගේ
ඒ කළගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ...''

''නමුත් මිනිසත් බව ලැබූ ඔබ ඇයි මළකුණු කන්නේ...'' 

මස් නොකෑ... අරක්කු දුම්වැටි ජීවිතයෙන් ඈත් කළ නිහාල් නෙල්සන්ට මස් කඩකාරයෙක්ගේ වෙළෙඳසලක් අභිමුව සිටත් ඒ ගීතය ගයන්න තරම් නිර්භය කොන්දක් තිබුණා. නිහාල් නෙල්සන්ගේ ඒ ගීතය අහලා නිර්මාංශ වූ මිනිස්සු මේ රටේ හිටියා... ඒ කියන්නේ තවත් විදිහකින් මරණ වරෙන්තුවෙන් නිදහස් වෙච්ච අහිංසක ගවයන් හිටියා... පෞද්ගලිකව කුඩා වියේ සිටම නිර්මාංශ කෙනෙක් වූ මට ඒ ගීතය අසන වාරයක් පාසා නිහාල් නෙල්සන් කියන අසහාය සංගීතවේදියා ගැන උපදින්නෙ පුදුමාකාර ආදරයක් සහ භක්තියක්.

අහන්න..

නිහාල් නෙල්සන් කියන අද්විතීය ගීත සලකුණ සිංහල ගීතාවලියේ ස්වර්ණවත් පරිච්ඡේදයක්. බයිලේ ගායකයෙක් විදිහට ලේබල් කරන කීයෙන් කී දෙනාද දන්නෙ චිත්‍රපට පසුබිම් ගායකයෙක් ලෙස සිංහල සිනමාවට ඔහු ලබා දුන් අනුපමේය දායකත්වය...

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව, එම්.කේ. රොක්සාමි, විශාරද ගුණදාස කපුගේ, ඩී.ආර්. පීරිස්, වික්ටර් දළුගම, පැට්‍රික් දෙණිපිටිය, සරත් දසනායක, නවරත්න ගමගේ වැනි සංගීත අධ්‍යක්ෂවරුන්ගේ ගී තනුවලට ආචාර්ය තිස්ස අබේසේකර, ආචාර්ය අජන්තා රණසිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්ති ද අල්විස්, සිරිල් ඒ. සීලවිමල, නිලාර් එම්. කාසිම්, ජෝර්ජ් ලෙස්ලි. රණසිංහ වැනි අප්‍රමාණ ප්‍රතිභාපූර්ණ ගී පද රචකයන්ගේ ගී නිහාල් නෙල්සන් ගැයූ වග ඔබ දන්නවාද?
ඇත්තටම නිහාල් නෙල්සන් කියන්නේ ගීතයෙන් සමාජීය විප්ලවයක් කළ සහ කරන්නට හැමදාමත් ප්‍රයත්න දැරෑ ක්‍රියාවෙන් සහ තම ජීවන ශෛලියෙන්ද පරමාදර්ශී සරල, සුන්දර ආදරණීය මනුස්සයෙක්. එවන් මනුස්සයෙකුගේ ලෙයින් උපන් ඔහු තරංග...

''අපිත් හිතුවෙ නෑ තාත්තාට මිනිස්සු මෙච්චර ආදරෙයි කියලා.'' 

එදා නිහාල් නෙල්සන් අසහාය ගායනවේදියා භව නවාතැනින් නික්ම ගිය දවසේ තරංග සංවේදී ස්වරයෙන් පැවසූ වදන් මේ මොහොතේත් මට දෝංකාර දෙමින් ඇහෙන තරම්...

තාත්තාගේ නික්ම යාමෙන් තුන් මාසයක් පිරෙන්න ඔන්න මෙන්න තියෙද්දි දවසක මහවැලි කේන්ද්‍රයේදී ඔබ දුන්නා පොරොන්දුවක් තාත්තාගේ ගීතත් එක්ක අලුත් ගමනක් යන්න මුල පුරනවා කියලා. 
ඉතින්...

► ඔව් තාත්තා වගේම තාත්තාගේ ගීතත් තාත්තාට ආදරය කළ සුවහසක් රසිකයන්ට, සහෘදයන්ට කවදාවත් අමතක වෙන එකක් නෑ. පූර්ණ කාලීනව සංගීත ක්ෂේත්‍රයට එන්න මම තීරණය කළා. 

ඒ තීරණය අරගන්න ඇයි මෙච්චර කල් ප්‍රමාද වුණේ?

► තාත්තා ඉද්දි නිහාල් නෙල්සන් කෙනෙක් මිසක් තරංග නෙල්සන් කෙනෙක් අවශ්‍ය නෑ කියලා මට ඇත්තටම හිතුණා. මගේ ආදරණීය තාත්තා ඉන්න තැනක් කියන්න. ඒ තරම් හිස්තැනක් නොදැනෙන තැනක්. තාත්තා කවදාවත් මට ක්ෂේත්‍රයට එන්න එපා කියලා නෑ. ඒත් තාත්තා එද්දි මම එහෙම එන්න හිතලා නෑ. තාත්තා මට පුංචි කාලේ ඉඳන්ම සංගීතය ඉගැන්වුවා..

තාත්තා කියපු සින්දුවලින් ආසම සින්දුව මේ සින්දුව යැයි කියන්න ඇත්තටම ඔබට පුළුවන්ද?

► ඇත්තටම බෑ. තාත්තා කියපු හැම සින්දුවකටම මම ආදරෙයි. ඒ සින්දු එකිනෙකට එකක් වෙනස්. අර්ථවත්. 

''අද තමයි හල්පිටට පිල් හටගත්තෙ.''

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ ගීතය නිර්දය ලෙස විවේචනය කළ මිනිසුන්ම වරෙක ඒ ගීය ලියූ හේමසිරි හල්පිට මල්මාල දමා පිළිගනිද්දි නිහාල් නෙල්සන් වේදිකාව මතට නැග කීවේ එවැනි කතාවක්. එවැනි අපූරු වදන්, කියමන් බොහෝ වර ඔහුගේ මුවඟට ගලා ආවේ නිරායාසයෙන්. පාලි හා සංස්කෘත ලියන්නට මෙන්ම කියවන්නටත් නිපුණයෙක් වූ නිහාල් නෙල්සන්ගේ විශද සිංහල භාෂාත්මක දැනුම සැබැවින්ම ගැඹුරු සෞන්දර්යාත්මක නෙක දිශානතින් ඔස්සේ විහිද ගිය හැටි අරුමය. කිසිදා කිසිවක් ඉල්ලමින් දේශපාලනඥයන් පසුපස නොගිය නිහාල් නෙල්සන් සින්දු 6000 කට අධික සංඛ්‍යාවක් ගීත ක්ෂේත්‍රයට දායාද කළා. ගීත ඇල්බම් 113ක් සහ කැසට් පට 112ක් සිංහල ගීත ක්ෂේත්‍රයට තිළිණ කළ ඔහු ශ්‍රී ලංකාවේ පළවෙනි ගීත සී.ඩී. පටය නිර්මාණය කළේ ජපානයේදීය. ඒ 1993 වසරේ ජපන් සමාගමක් හා එක්වය. සල්ලි මිටි ගණන් යනු ඒ සී.ඩී. තැටියයි. ඔහු ගැයූ ගී වලින් 65෴ ක් පමණ ගීත ඔහුම ලියූ ඒවාය. ඒ ගීත 95෴ ක පමණ තනු නිර්මාණය කළේද ඔහුමය. බෞද්ධ දර්ශනය විශ්වාස කළ නිහාල් නෙල්සන් හැම ආගමකටම අදාළ පොත්පත් කියෙව්වේය. ඔහුගේ කේන්දරයේ ඔහු කලාවට ළැදි පුද්ගලයකු බව කියා තිබුණද නමේ හැටියට ජනප්‍රිය වෙන්නට බැහැ යන අනාවැකියක්ද කියා තිබුණි. ඒත් ඒ ජ්‍යොතිෂ්‍ය කණපිට හරවමින් ඔහු සිංහල ගීත වංශයේ නවමු පරිච්ඡේදයක් සනිටුහන් කළේය.

► කියන්න තියෙන දේ තාත්තා කාට වුණත් ආයෙ දෙකක් නෑ කෙළින්ම මූණටම කිව්වා. හැබැයි කා එක්කවත් තරහ වුණේ නෑ. ඒ වෙලාවට කියන්න තිබුණ දේ කිව්වා. ඒක එච්චරයි. ඉවරයි. ඒ වගේම පොඩි ළමයෙක් වුණත් අංකල් මේක වැරදියි කියලා කිව්වොත් ගෙදර ඇවිත් ඒ ගැන හිතනවා. අපිටත් කියනවා ඒක වැරදියි නේද.. ඒක අපි හදාගන්න ඕන කියලා. තාත්තා නැති වුණත් කවදාවත් කවුරුත් අපිව අද වෙනකම් තනි කළේ නෑ. කතා කළා... ඇවිත් බැලුවා. ඒ තමයි ඒ අය තාත්තාට තිබුණු ආදරය. තාත්තා පුදුම විදිහට මිනිස්සු හම්බ කරපු කෙනෙක්. 

අම්මයි තාත්තයි අතර තිබුණෙ පුදුමාකාර බැඳීමක් නේද?

► ඔව් ඒක පුදුමාකාර බැඳීමක්. තාත්තා මඟුල් ගෙදරකට ගියත් කවදාවත් කාලා එන්නෙ නෑ. කන්න ගෙදර ආවා. ඇවිත් අම්මා උයන දේ අම්මා එක්ක කෑවේ. තාත්තා ගෙදර එනකම් අම්මා කවදාවත් නිදාගත්තෙ නෑ. තාත්තා වෙලාවට පිළිවෙළට වැඩ කරපු කෙනෙක්. එයා ගැන ගිය හැම පුවත්පත් ලිපියක්ම එකතු කළා. ඒවා බැලුවා. වැඩසටහනක් ගියත් බැලුවා.

ඇත්තටම ඇයි තරංග සින්දු කියන්න හිතුවෙ?

► මම ජාතික ගීය කියනවාවත් කවුරුවත් අහලා නෑ. මගේ බිරිඳ තමයි කිව්වේ සින්දු කියන්න කියලා. එයා කිව්ව නිසා තමයි මට සින්දු කියන්න හිතුණේ. ඇත්තටම මම ගායකයෙක් වුණ සම්මානය යන්න ඕනෙ මගේ බිරිඳට. මට මගේ අම්මාව දකින්න පුළුවන්. දෙවැනි අම්මා කෙනෙක් ලැබුණා. මගේ අම්මයි තාත්තයි කීවේ අපට ලේලිලා නෑ.. ඉන්නෙ දුවක් කියලා. අම්මා නැතිවුණේ 2020 ජූලි පළවෙනිදයි. තාත්තා නැතිවුණේ 2022 දෙසැම්බර් 13 වැනිදා. 

එයාගේ සීයා දැන් නෑ කියලා දුව දන්නවද? 

► මගේ චූටි දුවට තාම තේරෙන්නෙ නෑ එයාගේ සීයා නැතිවුණා කියලා. හැමදාම වගේ උදේට නැඟිටලා තාත්තගේ පින්තූරයට වැඳලා සීයා සීයා කියලා තාත්තා හොයනවා. අපි මළ ගෙදරකට ගියාම මිනිය රුගෙන යනවා දැක්කමත් එයා හිතන්නෙ ඒ එයාගේ සීයා කියලා. එයා එවැනි දෙයක් තාත්තාගේ අවමංගල්‍ය දවසේ දැක්ක නිසා තමයි ඒ. සීයා සීයා කියලා ඒ වෙලාවට කතා කරනවා එයා. 

තාත්තාගේ අවසන් මොහොතේ ඔබ ළඟ හිටියද? 

► තාත්තා ගාව හිටියේ නෑ. ගෙදරම හිටියා. අම්මා නැතිවුණාට පසු තාත්තා කවදාවත් උඩ තට්ටුවේ නිදාගන්න ගියේ නෑ. පල්ලෙහා තමයි හිටියේ. තාත්තාට පාළුවක් දැනෙන්න ඇති අම්මා නැතුව තනියෙන් ඉන්න. මගේ චූටි දුව නිසා තමයි තාත්තා ඒ පාළුව හුඟාක් නැතිකර ගත්තෙ. තාත්තාගේ මරණය එක මොහොතකින් වෙච්ච දෙයක් මිසක් එයා දුක් විඳලා මැරුණෙ නෑ. ඒක මට සැනසිල්ලක්. අවුරුදු 76 දි ජීවිතය හැර යන තුරුම තාත්තා හැමදාම සිතුවිලිවලින් තරුණයෙක්. අහුවෙන ඕනම පොතක් පත්තරයක් කියවපු කෙනෙක්. තාත්තා සින්දු කියද්දි තාත්තාගේ ඇඟෙන්ම එන ඒ ශෛලිය මට ගන්න බෑ. තාත්තා කියන්නෙ තාත්තාම විතරයි. තාත්තා වෙන්න වෙන කාටවත් තියා මටවත් බෑ. තාත්තාගේ සින්දු හැරුණාම මගේම සින්දු කියන්න මට මගේ අදහසක් තියෙනවා. 

♦ සංජීවිකා
සේයරූ I සුමුදුහේවාපතිරණ