2023 මැයි 07 වන ඉරිදා

හිතට දැනෙන බොදු ගීතය...

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 134

බුද්ධං සරණං ගච්ඡාමි

මම කැමැතිම බොදු බැති ගීතය තමයි මොහිදින් බෙග් මහත්තයා ගායනා කරන බුද්ධං සරණං ගච්ඡාමී... ගීතය. ඒක අහද්දී වෙනස්ම හැඟීමක් හිතට එනවා. ඒ ගීතයේ එක කොටසක තියෙන දෙයක් මගේ හිතට තදින්ම දැනෙනවා.

මෛත්‍රී කරුණා දූෂිත වී
ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී
හිංසා පීඩා දේවී දෝ
මිනිසා තිරිසන් වේවිදෝ
ඝෝර විසැති නයි පොළොඟුන් වන්
මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

මේ ගීතය ටිකක් දිග ගීතයක්. මේ ගීතයෙන් කියැවෙන්නේ ඒ හැමතැනකදීම බුද්ධං සරණං ගච්ඡාමි. බුදුන්ගේ සරණය ලබාගන්න කියලයි. ඒක හරි අපූරු ගීතයක්. වර්තමානයේදී මොනතරම් බොදු බැති ගීත බිහිවුණත් තාමත් මම කැමැති ගීතය ඒකයි.

- නිල්මිණී කෝට්ටේගොඩ

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

මම කැමැතිම බොදු බැති ගීතය තමයි ගුණදාස කපුගේ මහත්තයා ගායනා කරන ''අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ...'' කියන ගීතය.

පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ....
හබලක් නැති ඔරුවක් ඇති
මිනිසුන් වෙති වෙරළක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ 
හිතට දැනෙනවා.... බුදු හාමුදුරුවනේ....

මේ ගීතය පුරාවට හිතට මොකක්දෝ හැඟීමක් එකතු කරනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මේ ගීතය මේ වෙසක් සතියේදීත් බොහෝ තැන්වලින් ඇහෙන්නට ලැබෙනවා.

- තරුෂි පෙරේරා

වඳිමි වඳිමි ඔබෙ පාදේ

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව මහතා ගායනා කරපු ''ගිලෙමි ඔබේ ගුණ මූදේ...'' කියන ගීතය තමයි මම කැමැතිම බොදු බැති ගීතය වෙන්නේ. ඒ ගීතය අමරදේව සර් එක්ක මටත් ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ ජීවිතයේ මට ලැබුණු ලොකුම අවස්ථාවක්.

ගිලෙමි ඔබේ ගුණ මූදේ
විඳිමි ඔබේ දම් සාදේ
වඳිමි වඳිමි ඔබ පාදේ
තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ
සිඳ බිඳ මොහඳුර තාප
දැල්වූ දහම් ප්‍රදීප
හෙලිකළ අප හෙළ දීප
තිලොවග බුදු සමිඳේ
තිලොවග බුදු සමිඳේ

ඒ ගීතය ගායනා කරද්දී හිතට වගේම මුලු ඇඟටම මොකක්දෝ හැඟීමක් ඇතිවෙනවා. අමරදේව සර්, අපි ඒ ගීතය ගායනා කරල අවසන් වුණු හැම මොහොතකම අපිව අගය කරපු හැටි අදටත් මට මතක් වෙනවා.

- නිරංජලා මංජරී

හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී

අද වෙද්දී බොහෝ බොදු බැති ගීත තිබුණත් මම කැමැතිම බොදු බැති ගීතය තමයි නන්දා මාලනී මහත්මිය ගායනා කරන ''බුද්ධානු භාවේන සිත් නෙත් පහන් වී'' ගීතය. ඒ ගීතයේ තිබෙන එක කොටසක් මගේ හිතට තදින්ම දැනෙනවා.

තණ්හා උපාදාන පරිදේව වියැකී
අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ
හඬවා නුවන් දැල් මංගල්‍ය ප්‍රීතී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
බුද්ධානු භාවේන සිත් නෙත් පහන් වී
මෙත් මල් පිපීලා මුදිතා ජලාශේ
නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී

- කුසුම් රේණු

බුද්ධං සරණං ගච්ඡාමි

මම කැමැතිම ගීතය තමයි මොහිදින් බෙග් මහත්තයා ගායනා කරන බුද්ධං සරණං ගච්ඡාමි ගීතය. ඒ ගීතය ගායනා කළේ මුස්ලිම් ජාතිකයෙක්. අද ඔහු ජීවතුන් අතරෙත් නැහැ. හැබැයි අදටත් ඒ ගීතයට බොහෝ දෙනා කැමැතියි. මේ සිංහල බෞද්ධ රටේ වෙසක් පොහොය සමයේදී ඒ ගීතයට හිමිවන තැන සුවිශේෂියි. අදටත් ඒ ගීතයට ඒ ගරුත්වය ලබලා දීලා තියෙන්නේ බුදුන් විසින් කියලා මම විශ්වාස කරනවා. මිනිසුන්ට ජාතිය, ආගම, කුලය අදාළ නැහැ කියල ඒ ගීතයෙන් ඔප්පු වෙලා තිබෙනවා. අද ලංකාවේ දැවැන්ත දක්ෂ ගායක ගායිකාවන් ඉන්නවා. නමුත් මොහිදින් බෙග් මහත්තයා ඒ ගීතයට ලබලා දෙන ඒ ජවය වෙන ගායකයකුට ගන්න බැහැ. ඒ බැති ගීතයේ ඇති ඇතුළාන්තය අපි තේරුම් ගත්තා නම් අපි මීට වඩා මානසික සුවයක් ලබපු රටක් වේවි.

ලෝක පියා සින්දේ ලොව ජනාගේ
ව්‍යාකූල සිත්හි අන්ධකාරේ
විසිරී සෝක කිරණ ලෝනාගේ
ඒකාලෝකේ විය ලෝකේ
අමා ශාන්තියේ සෙවනැල්ලේ
ජන මන නැහැවූ ප්‍රේම ජලේ
මර සටනින් අපරාජිත වූ
සුර නර පුද ලැබ පූජිත ඒ
ලෝක සිවංකර මා හිමිගේ
ධර්මේ දස දෙස පැතිරේවා
සැම දන තුඩ තුඩ රැව් දේවා...

ඇත්තමයි මම මැරෙන මොහොතේත් මේ ගීතය ඇසීම මගේ පැතුමයි.

- නිරංජනි ශම්මුගරාජා