ඔන්න මචෝ අමුතුම Y Trend එකක් අරගෙන ආවා. මේක ඉතින් සිරාවට බොක්කට දැනෙන සීන් එකක්. හැබැයි ටිකක් පරණයි. අලුත් කොටසකුත් තියෙනවා. මචෝ මේක පොඩි මෝඩ පහේ ආතල් එකක් විදිහට පෙනෙන්නත් පුළුවන්. ඒ වගේම ගොඩක් දෙනා ප්‍රසිද්ධියේ මේ සීන් කෝන් එක ගැන කතා කරන්න ටිකක් බයයි. සොරි වේවා අගේ නොකර වැඩේට එන්ටර් වෙමු. අද කතාව Sri Lankan School Fashion Trends ගැන.
හෝ හෝ කලබල වෙන්න එපා.. ඒවා හොඳයි කියන්නවත්, අනුබල දෙන්නවත්, ඒවාට පට්ට පතුරු යන්න බනිනවත් නෙවෙයි අපි ලෑස්ති වෙන්නෙ. පහුගිය අවුරුදු විස්සක තිහක කාලය ඇතුළත අපි දැකපු පාසල් විලාසිතා Trends ගැන, හීනියට 'නොස්ටැල්ජියානු චැටක්' දාන්නයි මේ ලෑස්තිය. ඔයාගේ පාසල් කාලෙත් පොඩ්ඩක් මතක් කරගෙන අපිත් එක්ක මේ ගමන යමු මචෝ.
මතකද? School Fashion කියන්නෙ ඒ කාලේ මහා භායනක වරදක්. ඒ විනය විරෝධී සාපරාධී වරදට භයානක දඬුවම් තිබුණා. ඔයාලත් ඒ punishment කාලා තියෙනවා නම් ඔන්න දැන් මතක් වෙන්න ඕනෑ. ම්ම්ම්... කොහොම හරි කමක් නෑ, ඔයාලගේ කාලේ තිබුණු Fashion මොනවද? සමහර ඒවා අද මතක් වෙනකොට හිනා යනවා නේද? සිරාවට ඒක වෙනම ආතල් මතකයක් සුන්දරා.
සීන් එකට enter වෙනකොටම කියන්න ඕනෑ, ලෝකේ අති බහුතරයක් රටවල පාසල් විනයක් තියෙනවා. ඒ වගේම Fashion සම්බන්ධ සීමා මායිම් තියෙනවා. හැබැයි බටහිර ආභාෂයත් එක්ක ගමන් කරන ගොඩක් රටවල School Fashion කියලා වෙනම සීන් එකක් තියෙනවා. විවිධ සීමාවන්ට යටත්ව උසස් පාසල්වල ළමයි විලාසිතා කරනවා. ඒ නිසාම මේ Subject එක ලොකු පරාසයක Internationally කතා කරන්න පුළුවන් වෙන දවසක.
අපි ආයෙ එමු ලංකාව පැත්තට. අපේ රටේ පාසල් අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් තමයි නිලඇඳුම. ඒ නිසා ඕනෑ ඕනෑ විදිහට Fashion කරන්න අවස්ථාවක් මෙහෙ නෑ. හැබැයි මචෝ එහෙම නැහැයි කියලා අපේ උන් නොකර හිටියෙත් නෑ. එක එක කාලෙට එක ආතල් ගත්තා. එහෙම ගත්ත ආතල් කිහිපයක් මතක් කරගමුද? පිස්සුවක් ඈ...
මතකද පිරිමි ළමයින්ගේ සුදු දිග කලිසමේ ගොල්ෆිය. කාලයක් ඒක ලංකාවේ පාසල් ඇතුළේ පිස්සුවක් බවට පත්වෙලා තිබුණා. ගොල්ෆිය දණහිසට ළංවෙන්න තමා ඒ කාලේ කොල්ලෝ කලිසම් ඇන්දේ. නිකම් ඇවිදිනකොට කුඩු බකල් ගතියක් තිබුණා. සිරාවට හිනා යනවා මතක් වෙනකොට.
මේ කලිසම් පිස්සුව කොච්චර දුර ගියාද කියලා කියන්නේ, උදේ පාන්දර ඉස්කෝලෙට එද්දි විදුහල්පතිතුමා බ්ලේඩ් තලයකුත් අතේ තියාගෙන ඉන්නවා ගේට්ටුව ගාව. කලිසමේ ගොල්ෆි එක මැනලා තමා ඉස්සරහට ගන්නෙ. සෑහෙන්න වැඩි නම් බ්ලේඩ් එකෙන් කලිසම කපනවා. ගෙදර යවනවා.
ඔන්න කෙල්ලන්ටත් පිස්සුවක් හැදුණා ඒ කාලේ. ගවුම ඉනෙන් පහළට දලා අඳින එක තමා එයාලට හැදුණු පිස්සුව. සමහරුන්ගේ ගවුම්වල ඉන කලවා හරියට එනකල් පාත්වෙලා තිබුණා මතකද? එතකොට ඉස්කෝලේ ගවුමේ බෙල්ට් එක එල්ලෙන්න දාන සීන් එකකුත් කෙල්ලෝ අතර තිබුණා. ඉතින් මේකටත් ඉස්කෝලේ පට්ට කේස් වැටුණා ඔයාට මතක ඇති. ගෑනු ළමයි විතරක් නෙවෙයි, දෙමාපියෝ පවා බැණුම් ඇහුවා මචෝ ඒ කාලේ.
ලෝකයේ අනෙක් විලාසිතා වගේම මේ සීන් කෝන් වුණත් හරි ඉක්මනට වෙනස් වුණා. ඉස්කෝලේ කලිසම කමිස බැගී ඇඳපු කොල්ලෝ අවුරුදු තුන හතරක් ඇතුළත 'ස්ලිම් ෆිට්' විදිහට අඳින්න පටන් ගත්තා. ගොල්ෆිය අඩුවෙලා, කලිසම් කකුල් පටුවෙලා, කමිසයේ දෙපැත්ත ගහලා අඳින කාලයකුත් ආවා.
ඒ වගේම කාලයකදි දික්වුණු කෙල්ලන්ගෙ ගවුම් තව කාලෙකදි කොට වුණා. කොච්චර කොට වුණාද කියලා කියන්නේ, සමහර ගුරුවරියෝ කෙල්ලන්ගේ කකුල් වැහෙන්න පත්තර කොළ ඇලෙව්වා. කෙල්ලන්ගේ බැගී ගවුම් වුණත් කාලෙකදි ඇඟට 'ෆිට්' වුණා. ඔන්න සුදාලට තව මතක් වෙනවා ඇති, ඒ කාලේ ඇඳ පැළඳපු හැටි. විස්තර පොතක් පිරෙන්න ලියන්න තියෙනවා නේද?
ඇඳුම් විතරක් නෙවෙයි, පැළදුම් කියන්නෙත් School Fashion සීන් එකේ ලොකු කොටසක්. කොල්ලන්ගෙ පැත්තෙන් ගත්තාම කැප් එක තමා ප්‍රධානම fashionable Item එක වුණේ. අදත් එහෙමම තමා. එක එක කාලෙට එක එක විදිහට කැප් දැම්මා. කැප් එකේ ඉස්සරහ කෑල්ල රවුම් කරලා, පැතලි කරලා කැප් දැම්මා. එක එක සුකුරුත්තන් එල්ලපු කැප් දැම්මා. ඔන්න මෑත කාලේ ඉස්කෝලේ ළමයින්‍ට හිපොප් කැප් පිස්සුවක් වෙලා තිබුණා සුදාලා දකින්න ඇති.
එතකොට සුදාලට මතකද අත පිරෙන්න Friendship Bands දාපු පිස්සුව. සමහරු විස්සක් තිහක් බෑන්ඩ්ස් අතේ දාගෙන හිටියා. තේරුමක් හිතාගන්න බැරි වුණත්, ඒක කාලෙකදි ලොකු Fashion එකක් වෙලා තිබුණා ලංකාව වටේම ඉස්කෝලවල. බෑන්ඩ් එකක් අතේ නැති එක ලොකු අඩුපාඩුවක් විදිහට කැපිලා පේන තරමට පාසල් සංස්කෘතිය වෙනස් වෙලා තිබුණා ඒ කාලේ.
ඊළඟ වැදගත්ම දේ තමයි කොණ්ඩේ. ඇත්තටම සමහරක් වෙලාවට හිතෙනවා ලංකාවේ පාසල් පද්ධතියේ තියෙන ලොකුම ප්‍රශ්නේ ළමයින්ගෙ කොණ්ඩද කියලා. ඒ තරමට ගුරුවරු ඒ ගැන උනන්දුයි. සාමාන්‍යයෙන් වැඩිහිටි ජීවිතයේදි වැඩිපුර කොණ්ඩෙ ගැන උනන්දු වෙන්නේ කාන්තා පාර්ශ්වය. ඒත් මචෝ පාසල් කාලයේදි වැඩිපුර කොණ්ඩය ගැන උනන්දු වෙන්නේ කොල්ලො. හා බොරුද?
කාලයක් ජෙල් ගලා, බෙකම් හදලා තමා කට්ටිය ඉස්කෝලේ ගියේ. ඔන්න තව කාලයක් කට්ටිය පිටිපස්සෙන් කොණ්ඩෙ කපන්නෙ නැතිව පුල්මුඩයක් වගේඑකක් තියාගෙන හිටියා. ඒ අස්සේ එක එක විදිහේ කට් ගහලා ඉස්කෝලෙ ආපු ළමයි හිටියා මචෝ. පාට කරන්න හදපු අය පවා හිටියා. එතකොට දැලි රැවුල නොකපා සිටීම කියලා කියන්නෙත් වෙනම ආතල් එකක් වුණා මචෝ. තාමත් ලංකාවේ ඉස්කෝලවල මේ Trends තියෙනවා.
කොණ්ඩ සීන් එක කොච්චර බරපතළ වුණාද කියනවා නම් පාසලේ උදය රැස්වීම අවසානයේ, විනය විරෝධී කොණ්ඩකාරයෝ අල්ලලා විදුහල්පතිතුමාගේ නියෝගයෙන් පාසල්වල ගුරුවරු කරණවෑමියෝ වුණා. මේ ඊයේ පෙරේදා එහෙම සීන් එකක් ගැන ලොකු ආන්දෝලනයක් ඇතිවෙලා තිබුණා Social media වල දැක්කද?
කොල්ලො විතරක් නෙවෙයි, කෙල්ලන්ගෙ කොණ්ඩ, රිබන් පටි, බූල් බැන්ඩ්, කොණ්ඩ කටු තියෙනවා කියන්නෙත් ජාත්‍යන්තර අර්බුද තමා ඉස්කෝලවල. කොණ්ඩෙ ලෙයස් කපලා එක එක වැඩ කෑලි දාලා හංගගෙන ආපු කෙල්ලෝ ඒ කාලෙත් හිටියා. දැන් නම් ඒක ටිකක් වැඩිද මන්දා.
මේ වගේ එක එක ජාතියේ විලාසිතා ගැන මතක සුදාලාගේ ඔළුවටත් එනවා ඇති. චූටි කාලේ ඉස්කෝලෙ බෑග් එකේ, වතුර බෝතලේ ඉඳලා ළමයි විදිහට ඔයාලත් මේ සීන් එකේ ඉඳලා ඇති. දැන් ඒවා හරිද? වැරදිද? ඒකට උත්තර හොයන්න මහන්සි වෙන්න එපා. මොකද ඒවා අද මතක.
කොහොම වුණත් විනය, සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය වගේ දේවල් කුණු කූඩයට දාන්න බෑ මචෝ. ඒ නිසා පාසල තුළ යම් විනයක් තිබිය යුතුමයි. ඒ නිසා අපි දේවල් අනුමත කරන්නේ නෑ. අපි අනුමත නොකෙරුවත් මේ දේවල් ඉදිරියට නොවී තියෙන්නෙත් නෑ. ඒක තමයි ලෝකයේ හැටි. මිනිසුන්ගේ ස්වභාවය. හොඳම දේ වරද අවබෝධ කරලා දීම. දඬුවම්වලින්ම දරුවො හදන්න බෑ.
I නිසල්