සදාතනික රෝස කුසුම... අසංඛයක් හදවත් මත සුසුවඳ ඉතිරි කර නික්ම ගිය, ප්‍රේමයම ජීවිතයම කරගත්, ප්‍රේමය වෙනුවෙන් සදාතනිකව අරගල කළ අවසන අනාගත කිරුළත්, රජ ගෙදරත්, රජ පවුලත්, සියල්ලත් ප්‍රේමය නිසාම අතහැර, ප්‍රේමය නිසාම ජීවිතය දරාගත් ප්‍රේමණීය ගැහැනිය ඩයනා ස්පෙන්සර් තවත් එක් මොහොතකට මගේ මතකය අද්දරට පැමිණියේ කැමිලා පාකර් එංගලන්තයේ රැජන ලෙස ඔටුන්න දරමින් චාල්ස් රජුගේ මෙහෙසිය ලෙස ලද අභිෂේකය විඳිමින් ඇවිද යද්දීය.
ඔව් ඇය දැන් රැජනකි. එදා ඇය ගැහැනියකි. එංගලන්තයට කුමාරයෙක් වූ චාල්ස්ට පෙම් කළ පෙම්වතිය කැමිලාය. දික්කසාද වූ චාල්ස්ට වඩා වයසින් වැඩිමහල් වූ කැමිලා එලිසබෙත් මහ රැජන තම ලේලිය ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරද්දී චාල්ස් ඩයනා ස්පෙන්සර් නම් රුවැත්තිය එංගලන්තයේ අනාගත මහ රැජන ලෙසත්, රජ පවුලේ නව කුමරිය ලෙසත් ජනතාව අභිමුව පිළිගත්තේය. එහෙත් චාල්ස් තම හදවතේ කුමරිය සහ රැජන ලෙස පිළිගත්තේ ඩයනාද කැමිලාද යන්න ප්‍රශ්නයට උත්තරය තිබුණේද චාල්ස් ළඟම පමණි. කැමිලාට නොපැළඳූ මංගල මුදුව ඩයනාගේ අතැඟිලි මත පැළඳුවත්, රැජනක් දක්වා කැමිලා කැටුව ආ ගමන් මඟේ මේ නිමේෂය දක්වාම චාල්ස් ඈ සිරසින් ප්‍රේමයේ කිරුළ මුදා නොහල වගට සාක්ෂියේ මුද්‍රාව තබා අවසන්ය. ප්‍රේමයම ඉල්ලාන හඬා වැටුණු සහ හඬා නොවැටුණු අතිශය සංවේදී එපමණකටම රජ ගෙදර නීති රීති හා සම්ප්‍රදායන්ට එරෙහිව යද්දී තමා අභිමුවට සපැමිණෙන ඕනෑම අභියෝගයකට, එරෙහි වීමකට මුහුණ දෙන්නට තරම් සිත දැඩි කරගත් හයිය ගැහැනියක වූ ඩයනා චාල්ස්ගේ ලෙයින් කුස දරා බිහි කළ පුතුන් දෙදෙනෙකු ලද මවක වූ පසුවත් ජීවිතය පුරාම සොයමින් ඇවිද්දේ ගැහැනියක ලෙස ඇය සෙවූ, ඇය පැතූ ප්‍රේමයයි. ප්‍රේමය තුළින් උපදින රැකවරණය හා නිර්වාණ සුවයයි. ප්‍රේමය යනු ලෞකිකත්වය තුළ නිර්වාණය ලබන මාර්ගයයි. සංසාරය පුරා රැහැන් පටක් සේ ප්‍රේමය අප රැගෙන යන බව දැන දැනත් ප්‍රේමය යනු අනන්ත රිදවුම් සමුදායක උල්පතක් බව දැන දැනත් ඇයි අපි ප්‍රේමයම ඉල්ලන්නේ. ඇයි ප්‍රේමයම හොයන්නේ. ඉන් එහා සුවයක්, ඉන් එහා නිර්වාණයක්, ඉන් එහා සුන්දරත්වයක්, රිදවුම් සුවහසක් මැද වුවද ලද නොහැකි නිසාවෙන්ද? ප්‍රේමය යනු ප්‍රේමයම නම් ඉන් එහා නිර්වචන, අර්ථකථන ප්‍රේමයට නොහේ. චාල්ස්ගෙන් නොලද ප්‍රේමය පිරිමි හදවත් කනිමින්, පිරිමි හදවත් ගැඹුරටම හාර හාරා අවුස්සමින් සොයා ගිය ගමනේදී එක් පිරිමි පපුවක් තුළ හෝ ඩයනා කුමරියක ලෙස නොව ගැහැනියක ලෙස සෙවූ ප්‍රේමය හමුවුණාදැයි දන්නේ ඇය පමණි. ඩොඩී අල්ෆයිඩ් ළඟ වුවත් ඇය සෙවූ ප්‍රේමය තිබූ වග සඳහන් කරන්නේ ඒ ප්‍රේම කතාන්දරය විශ්ලේෂණය කළ විචාරකයන් මිස ඇය නොවේ. මක් නිසාද යත් අනන්තයක් සේ ආදරයක් දන් දී ලබන අල්පමාත්‍රයක් හෝ ආදරය ගැහැනු පපුවකට සෑහෙන වග දන්නේද ගැහැනුන්ම පමණක් වන හෙයිනි.
ප්‍රේමයේ අවසන ඇය වෙත රැගෙන ආ තිළිණය මරණයයි. ඇගේ මරණය පිටුපස රජ ගෙදර මහා හයිය තිබූ වගට අදටත් ලෝකය කතාන්දර කියයි. ඒ විෂයෙහි විනිශ්චය කුමක් වුවත් ඒ රෝස කුසුම භව නටුව හැර පරවී ගිය පසු කුමන විනිශ්චයකින් හෝ යුක්තියකින් වුව ඇය යළි මරණයෙන් අවදි කළ නොහැක. ඩයනා කෙරෙහි ලෝකය දැක්වූ ප්‍රේමය බලවත් වූයේ යම් තරමකටද එපමණකටම කැමිලා පාකර් කෙරෙහි ලෝකයක් දැක්වූ වෛරයද බලවත්ය. කැමිලා පිළිබඳව බොහෝ අයගේ නිර්වචනය වූයේ සුන්දර සංවේදී ගැහැනියට රිදවූ ගැහැනිය කැමිලා යන්නයි. එපමණකටම චාල්ස් කුමාරයා යම් හදවතකින් ප්‍රතික්ෂේප වූවා නම් ප්‍රතික්ෂේප වූයේද ඩයනාට සැබැවින්ම පෙම් නොකළ, ඩයනා කුමරිය රවටාලූ, ඈ පැතූ සොඳුරු ජීවිතයට ගිනි තැබූ රළු පරළු පුරුෂයකු ලෙසය.
අවැසි ප්‍රේමය නොලද තැන ඩයනා චාල්ස් ළඟ නොනැවතී ඇයට අවැසි ප්‍රේමය සොයා ගියාය. සැබැවින්ම ඇගේ ජීවිතයම ප්‍රේමයම සොයා ගිය ප්‍රේම චාරිකාවකි. ඇයට ආරෝපණය කළ කුමරියගේ භූමිකාව තුළ නොව ඇය දරා සිටි ගැහැනියකගේ භූමිකාව තුළ
අවැසි වැසි නොවැසි සඳ
නොවැසි වැසි අවැසි සඳ
ඇය මොහොතකටවත් අසාධාරණ ගැහැනියක නොවූවාය. ප්‍රේමයක් නැති තැන ජීවිතය දැනෙන්නට හැටියක් නැත. ඇයට අවැසි වූයේ හුස්මක් වැටෙන නිසා ජීවත් වන ගැහැනියක ෙවන්නට නොව, හුස්මක් වැටෙන බව දැනගෙන ජීවත් වන ගැහැනියක ෙවන්නටය. ජීවිතයේ පාරවල් දිගේ ඈ සොයමින් ඇවිද්දේ ඈ නිවාලන, ඈ සනසන, ඈ සුරකින ප්‍රේමයකි. එහෙත් ඇයට හමුවූයේම ජීවිතයේ රඟ මඬලට ඇය කැඳවාගෙන යමින් ඇයට අවැසි ලෙස පෙම් නොකරන පෙම්වතුන්මය. හිස්තැන් දැනෙන කල ඒ හිස්තැන් පුරවා ගන්නට ආදේශකයක්, විකල්පයක්, නැත්නම් විසඳුමක් නොසොයන හිත් කොතනද? එහෙයින් ප්‍රේමය ජීවිතයම කරගත් ඇයට දොසක් කියන්නට මම නම් නොදනිමි.
කැමිලා යනු තමන් පෙම් කළ පිරිමියා අන් සතු වෙද්දී ඔහු හැර නොගොස් ඔහු දරාගත් ගැහැනියයි. තවත් ගැහැනියකගේ කුස දරු බීජ පැළ කර තමන් පෙම් කළ පිරිමියා තවත් ගැහැනියකගේ දරුවන් වෙනුවෙන් තාත්තා කෙනෙක් වෙද්දීත්, ඔහු කෙරේ උපන් බැඳීම, ප්‍රේමය ඇය අත් නොහලාය. ඒ බැඳීම, ප්‍රේමය ලෝකය කවර ලෙසින් නිර්වචනය කළත් ඇයට එය බැඳීමකි, ඇයට එය ප්‍රේමයකි. ඒ බැඳීම හා ප්‍රේමය ඇයට ජීවිතයකි. ඇය විශ්වාස කරන දෙවියන් වහන්සේගේ කැමැත්ත සහ මා විශ්වාස කරන සොබාදහම අනුව රැජනක් දක්වා චාල්ස් ඇයගේ අයිතියක් බවට පත්වූයේ ඒ ප්‍රේමයත් ප්‍රේමයක්ම වූ නිසාම නොවේද? තවත් වෙසකින් ලෝකයක්ම ආදරය කළ ගැහැනියකට, ලෝකයටම රෝස කුසුමක් වූ සුන්දරම කුමරියකට චාල්ස් සැබැවින්ම නොබැඳුණේ ඇයි? ඩයනා කෙරේ චාල්ස් ආත්මීය ආලයකින් බැඳුණේ නම් තවත් ගැහැනියකට පුරවන්නට හිස්තැනක් ඔහුගේ පිරිමි පපුවේ ශේෂ වූයේ ඇයි? විවාහය තුළ අත්හැරුණු කැමිලා භෞතිකවත්, ආධ්‍යාත්මිකවත් අත්හරින්නට චාල්ස්ට නොහැකි වූයේ ඇයි?
වයස, කුලය, ගෝත්‍රය, සුන්දරත්වය, මේ සියල්ල සාපේක්ෂ වන්නේ ප්‍රේමය කොතෙක් දුරට අක් මුල් විහිදුවමින් පපුවේ ගැඹුරට දැනෙන ප්‍රේමයක් වන්නේ කෙලෙසකද යන්නට සාපේක්ෂවය. ප්‍රේමය සැබැවින්ම ප්‍රේමයම වූ කල්හි ඒ කිසිවක් ප්‍රේමයට වලංගු වන්නේද නැත. ප්‍රේමය යනු ඉන් පිටස්තර මේ විශ්වයේ ඇති සොඳුරුතම මානවීය හැඟීම මිස අන් කවරක්වත් නොවේ. කුමරියක කෙරෙහි, කුමරෙකු කෙරෙහි, රජෙකු හෝ රැජනක කෙරෙහි නූපදින ප්‍රේමයක් මහ පොළොවේ ගැහැනියක හෝ පිරිමියකු කෙරෙහි කුමරෙකුට හෝ කුමරියකට, රැජනකට හෝ රජෙකුට පිළිසිඳෙන සිත් ඇතිවන හෙයින්මය. අවසානයේ මම ඔබට කියමි.. ප්‍රේමය යනු ප්‍රේමයම මිස කිසිවක්ම නොවේ. ඉඳින් ඩයනාට අවැසි වූ ප්‍රේමයත්, ඇය සොයා ගිය ප්‍රේමයත්, කැමිලා අත් නොහැරි ප්‍රේමයත්, චාල්ස්ට අවැසි වූ අත්හරින්නට බැරි වූ ප්‍රේමයත් අපි නිර්වචනය කරන්නේ කෙසේද? ඒ ප්‍රේම කතා අපේ විනිශ්චයන් තුළ විනිශ්චය කර ඒ ප්‍රේම කතාන්දර මත අප අපට අවැසි වර්ණ තවරන්නේ කෙසේද? වැරුද්ද හෝ නිවැරැද්ද අප සනිටුහන් කරන්නේ කෙසේද? තවකෙකුගේ ප්‍රේමයක තීරකයා වන්නට මෙලොව කිසිවකුට අයිතියක් නැත. ඩයනාට මරණයත්, කැමිලාට කිරුළත් රුගෙන ආවේද ප්‍රේමයම මිස කවරක්ද? ඩයනා ප්‍රේමය නිසා සියල්ල අත්හරිද්දී, කැමිලා ප්‍රේමය නිසාම සියල්ල දරාගත්තාය. ප්‍රේමය ජීවිතයම කරගත් ගැහැනියට මරණයත්, ප්‍රේමය අත් නොහැර ප්‍රේමය නිසාම සියල්ල නිහඬවම විඳ දරාගත් ගැහැනියට කිරුළත් හිමිවූයේ දෙවියන් වහන්සේගේත් සොබාදහමේත් කැමැත්ත හා තීරණය අනුවමද? ඒ තීරණය වනාහි යුක්තියේ සංධ්වනියක් වීද? නොවීද?
නොදනිමි. නොසොයමි. මම විනිසුරුවකු නොවෙමි.
I සංජීවිකා