2017 ජුනි 03 වන සෙනසුරාදා

චන්න විජේවර්ධන සර් නිතරම මට යෝජනාව ගෙනාවා

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 808

වින්ද්‍යා රහසක් හෙළිකරයි

කුඩා කාලයේදීම නර්තනයට සිත් බැඳි වින්ධ්‍යා, එය විෂයක් ලෙස හැදෑරුවාය. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (BA) උපාධිය ලබාගත්  වින්ධ්‍යා, පසුව අමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් නර්තන රචනය පිළිබඳ ශාස්ත්‍රපති (MA) උපාධියද ලබාගත්තාය. මෙම සුවිශේෂී සුදුසුකම ලබා ඇති එකම ශ්‍රී ලාංකික ශිල්පිනිය වින්ධ්‍යාය. කලින් කල නර්තන ක්ෂේත්‍රය ආක්‍රමණය කළ විවිධ රැලිවලට හසුනොවී, ඇය තෝරාගත් පථයේ නිවැරදි ගමනක් යමින් දශක තුනකට ආසන්න කාලයක් දක්ෂතාවය හා කැපවීම තුළින් වින්ධ්‍යා ලැබූ දේ බොහෝය.

ඒත් කාලයක් මුළුල්ලේ ඇගේ සිත තුළ මෝදු වී තිබුණ එක් සිහිනයක් සැබෑ කරගන්නට ඇය දැඩි අපේක්ෂාවෙන් සිටියාය.
මම නර්තනය ඉගෙන ගන්න පටන් ගත්තෙ වයස අවුරුදු හතේදි විතර. ඉතින් නිර්මාණශීලී නර්තන විෂය පිළිබඳ මා සතු දැනුම හා අත්දැකීම ළමා හා තරුණ පරපුරත් සමඟ බෙදාහදා ගැනීමට මා කාලෙක ඉඳලා හිතාගෙන හිටියා. අද ඒ සිහිනය සැබෑවුණා. කොළඹ 7, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ (NADA) මම මේ සතියේ සිට සෑම අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවල නර්තන පන්ති පවත්වනවා.

මෙවැනි කාර්යයකට අතගසන්නට මෙපමණ කාලයක් ගියේ ඇයි?
ඇත්තම කියනවනම් මගේ කාර්යබහුලත්වය තමයි ප්‍රධානම හේතුව. අධ්‍යයන කටයුතු වගේම චන්න විජේවර්ධන නර්තන කණ්ඩායමත් සමඟ මගේ කාලය ගත වුණා. මෙවැනි අදහසක් මුදුන්පත් කරගන්නට චන්න සර් පවා මට නිතරම යෝජනා කළා. මගේ හිතවත් මිතුරු මිතුරියන් මාව දිරිමත් කළා. ඒත් කරන දේ පිළිවෙළකට නිවැරදිව කිරීමේ පුරුද්දක් මට තියෙනවා. එනිසා ආවට ගියාට, නිසි සැලැස්මක් නැතුව මේ පන්ති අරඹන්න මට වුවමනා වුණේ නෑ.

ඔබේ නර්තන පන්තිය තුළින් ලබාදෙන සුවිශේෂී දැනුම ගැන පැහැදිලි කළොත්..?
මම වයස් කාණ්ඩ හතරකට මේ පන්ති බෙදා තිබෙනවා. වයස අවුරුදු 13 සිට 19 දක්වා, අවුරුදු 20න් ඉහළ, 9 සිට 12 සහ 6 සිට 8 දක්වා. නිර්මාණශීලී නර්තනය පිළිබඳව තමයි මූලික අවධානය යොමුකරන්නෙ. පාරම්පරික නර්තන ශෛලීන් ගැන මූලික දැනුමක් ලබාදුන්නත්, මගේ ප්‍රධාන අරමුණ ළමුන්ගේ සැඟවුණු නිර්මාණශීලී නර්තන ප්‍රතිභාවන් ඉස්මතු කිරීම තමයි. නර්තන විභාග ඉලක්ක කරගනිමින් මම පන්ති පවත්වන්නෙ නෑ. අනික මේ පන්තිවලට සහභාගි වීම සඳහා මූලික දැනුමක් අත්‍යවශ්‍ය වෙන්නෙත් නැහැ. නමුත් ළමයාගේ උනන්දුව අත්‍යවශ්‍යයි. 

වර්තමානයේ නර්තන ක්ෂේත්‍රය හා ඒ ගැන තිබෙන ආකල්ප ගැන මොනවද හිතෙන්නෙ?
අනිවාර්යයෙන්ම නර්තනයත් අද වාණිජ රැල්ලට හසුවෙලා තියෙන්නෙ. හැම දේකින්ම ක්ෂණික ප්‍රතිඵල අපේක්ෂා කරන සමාජයක, අද අම්මලට ඕනෙ තමන්ගෙ දරුවො STARS ලා කරන්න. අද සමාජයේ ප්‍රවණතාවය ඒකනෙ. ඒත් මව්පියො හිතන්න ඕනෙ ළමයෙකුට ඕනෑම ශාස්ත්‍රයක මූලික දැනුමක තිබෙන වටිනාකම. ඒ අත්තිවාරම මත තමයි ළමයගෙ අනාගතය ශක්තිමත් වෙන්නෙ. මම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් මුලින්ම නර්තනය ඉගෙන ගත්තා. ඊට පස්සෙ රැජිනි සෙල්වනායගම් ගුරුතුමියගෙන් පාරම්පරික නැටුම් ඉගෙන ගත්තා. මම අ.පො.ස (සා.පෙ.) කරන කාලෙදි විතර තමයි චන්න සර්ගෙ නර්තන කණ්ඩායමට බැඳිලා විෂය දැනුම තවත් පුළුල් කරගත්තෙ. 
චන්න සර්ගෙ නර්තන ශෛලියේ තිබුණ සුලලිත බවට මම ඇළුම් කළා. වසර 25කට වැඩි කාලයක් සර් එක්ක වැඩ කරලා ඒ ආභාෂයන් මාත් ප්‍රගුණ කළා.

ශ්‍රී ලංකාවේ ඔබ ලබාගත් ශාස්ත්‍රවේදී උපාධියෙන් පස්සෙ ඔබ වැඩිදුර අධ්‍යයනය සඳහා ගියේ අමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට. ඒ ගැන කෙටි විස්තරයකුත් කියන්නකො...?
ඇත්තෙන්ම කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මම කළේ අවුරුදු දෙකක ශාස්ත්‍රපති (MA) උපාධි පාඨමාලාවක් නර්තන නිර්මාණකරණය ගැන.
නිර්මාණකරණයේ තිබෙන මූලධර්මයන් එකයි. ඒත් ඒ සම්බන්ධ විවිධ ශිල්පීය ක්‍රම පාවිච්චි කරලා අපටම ආවේණික නිර්මාණ බිහිකරන්න පුළුවන්. ශිල්පය හරියට ඉගෙන ගත්තම ඕනම රටක නර්තන නිර්මාණයෙහි යෙදෙන්න පුළුවන්. ලංකාවට ඇවිත් කාලයක් මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙසත් කටයුතු කළා. ඒත් ඒ හැමදෙයක් ඇතුළෙම සැඟවිලා තිබුණෙ තිබුණෙ මගේම නර්තන පන්තියක් ආරම්භ කිරීමේ හීනය. ළමුන් තුළ තිබෙන සහජ හැකියාවන් ඉස්මතු කරලා ඒවා ඔපමට්ටම් කරන්නයි මම බලාපොරොත්තු වෙන්නෙ. දැන් බොහෝ විට අපි නර්තන නිර්මාණ කියා දකින්නෙ මූලික අංගයන්වලින් තොරවුණු දේවල්. ඉක්මනින් ජනප්‍රිය වෙන අරමුණින් එක්කෝ සින්දු වීඩියෝ එකක් බලලා නිර්මාණ හදනවා. ඒක ඒ වෙලාවට විතරයි, පැවැත්මක් නැහැ.

ඔබ අමෙරිකාවේ ඉගෙන ගත්ත කාලෙ ඒ රටේ නැටුම් සම්ප්‍රදායන් පවා ඉගෙන ගත්තලු නේද?
ඔව්. ඒක ඒ පාඨමාලාවේ අනිවාර්ය අවශ්‍යතාවයක්. නර්තන නිර්මාණකරණයට සම්බන්ධ විෂයන් රැසක් ඒ පාඨමාලාවට අඩංගුවෙලා තිබුණා. අපි කවුරුත් දන්නා SPORTS MEDICINE (ක්‍රීඩාවට සම්බන්ධ වෛද්‍ය විද්‍යාව) වගේම නර්තනයට සම්බන්ධ DANCE MEDICINE කියන විෂය දැනුමත් ඒ පාඨමාලාවට අඩංගු වුණා. නර්තනයෙහි යෙදෙන්නන්ගෙ සිරුරේ ඇතිවිය හැකි අනතුරු තුවාලවීම් වළක්වා ගන්නා ක්‍රම, ඒවාට වෛද්‍ය පිළියම් වගේ දේවලුත් අපට ඉගැන්නුවා. ලංකාවෙ නම් DANCE MEDICINE පිළිබඳ විශේෂඥයන් නැහැ. මින් මතුවට හරි කවුරු හරි විදෙස් රටකින් එවැනි විශේෂඥ පුහුණුවක් ලබාගත්තොත් අපට ප්‍රයෝජනයක් වේවි.

ඔබ නර්තනයට අමතරව මනෝ විද්‍යාව පිළිබඳවත් දැඩි ලෙස උනන්දු වෙන කෙනෙක්?
මම මනෝ විද්‍යාවට ඉස්සර ඉඳන්ම ගොඩාක් ආස කළා. අපේ ඔළුවල සාමාන්‍යයෙන් තියෙන්නෙ කරනවනම් හරියට එක දෙයයි කරන්න ඕනෙ කියලා. මම අමෙරිකාවෙ ඉගෙන ගන්න කාලෙ දැක්ක දෙයක් තමයි එහෙ විශ්වවිද්‍යාලවල ප්‍රධාන විෂයන් දෙකක් තෝරගන්න පුළුවන්. එහෙ විෂයන් තේරීම හරිම නම්‍යශීලීයි. අපේ නර්තන අංශයේ ඇතැම් සිසුන් අනෙක් ප්‍රධාන විෂය හැටියට තෝරගෙන තිබුණෙ වෛද්‍ය විද්‍යාව. මම හිතුවා මටත් මේක කරන්න බැරිකමක් නැහැ කියලා. පස්සෙ ලංකාවට ඇවිත් ඒ ගැන හොයලා බැලුවා. මනෝ විද්‍යාත්මක උපදේශනය ගැන මූලික ඩිප්ලෝමා පාඨමාලාවක් කරලා, උසස් ඩිප්ලෝමාවත් කළා. දැන් මම මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය කරනවා. දැනටමත් මම මනෝ චිකිත්සක ප්‍රවීණයෙකුගේ අධීක්ෂණය යටතේ රෝහලක මනෝවිද්‍යාත්මක උපදේශනය අවශ්‍ය රෝගීන් බලනවා. මේක ගොඩාක්ම කරන්නෙ සති අන්තයේ.

නර්තනය පිළිබඳව, සමාජය පිළිබඳව, ලෝකය පිළිබඳව අත්දැකීම් බහුල ඔබ හිතන්නෙ නැද්ද ඔබ මේ රටේ සැබෑ නර්තන තරුවක් කියලා?
කොහෙත්ම නැහැ. ඔබ කියනවා වගේම බොහෝ අය මට ඒ බව කියලා තියෙනවා. ඒත් මම කිසිම දෙයක් ලොකුවට හිතන්නෙ නෑ. පොළොවෙ පයගහලා ජීවත් වෙනවා වගේ සතුටක් මට තවත් නැහැ. තරු මානසිකත්වය ඔළුවට ආවට පස්සෙ එතන සීමාවන් එනවා, තහංචි එනවා. මගේ ජීවිතේට ඒ වගේ සීමා දාගන්න මම කැමති නැහැ. මට තාමත් බස් එකේ කෝච්චියේ ගමන් කරන්න පුළුවන්. හිතුණොත් පාරේ නිදහසේ ඇවිදින්න පුළුවන්. මම තවත් සාමාන්‍ය කෙනෙක් කියලයි මට හිතෙන්නෙ.

Text – Ramesh Uvais / Pic - Waruna Wanniarachchi

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00