අපේ රටේ සංචාරය කරන ගොඩාක් සංචාරකයෝ තමන්ගේ අත්දැකීම් ලෝකෙත් එක්ක බෙදාගන්නවා. විශේෂයෙන්ම යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය සතියක් තුළ අපේ රට ගැන සංචාරක අත්දැකීම් විශාල ප්‍රමාණයක් සංසරණය වෙනවා. ඒත් ගොඩක් දෙනෙක්ට ඒවා මඟ හැරෙනවා. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ මේ සතියෙ ලංකාවේ ඉන්න සංචාරකයෝ කිහිප දෙනකුගේ අමුතු වැඩ ගැන.
හත්වලාමයි ලංකාවේ බෞද්ධ පන්සල් බලන්න ටිකට් ගන්නවද?
මෙයාගේ නම සලමොන් ආකා මේ දවස්වල ඉන්නේ ලංකාවෙ. ඔන්න කොළඹ බලන්න හිතාගෙන පහුගිය දවසක රවුමක් ගැහුවා. මෙයාට මාර ප්‍රශ්නයක් තමයි ඇති වුණේ. තවත් යාළුවො දෙන්නෙක් එක්ක ත්‍රී වීල් එකක නැගලා කොළඹ වටේ පොඩි රවුමක් ගහන ගමන්, මෙන්න මෙයා ගොඩවුණා ගංගාරාමයට.
බැහැපු ගමන්ම මෙයාට කියවුණේ, මම බුද්ධාගම ගැන නම් එච්චර දන්නෙ නෑ. මේක නිකම් බුදු හාමුදුරුවොන්ට අයිති දිව්‍ය ලෝකයක් වගේ තැනක් කියලා. කොහොමහරි ඇතුළට ගියාම, ගංගාරාමයේ තියෙන කෞතුකාගාරය බලන්න ගියා. සංචාරකයන් ගෙන් පොඩි මුදලක් අයකරන කවුන්ටරයක් තියෙනවා. ඔන්න සොලමන්ට එතන හිටපු කෙනා කතා කරලා ටිකට් එකක් ගන්න කියලා කිව්වා.
''හත්වලාමයි ලංකාවේ බෞද්ධ පන්සල් බලන්න ටිකට් ගන්නවද?'' සොලමන්ට ඇති වුණේ ලොකු ප්‍රශ්නයක්. කොහොම හරි එතන හිටපු කෙනා පැහැදිලි කළා මේක ආධාරයක් විදියට තමා ගන්නේ, කෞතුකාගාරයක් තියෙන නිසා කියලා. ඒත් සොලමන් ලොක්කා නම් මේ ගැන එච්චර තේරුම් ගත්තේ නෑ. පස්සේ මෙයත් එක්ක ආපු යාළුවෙක් තායිලන්තෙත් මෙහෙම තැන් තියෙනවා කියලා ලොක්කට පැහැදිලි කළා. පස්සෙන් පහු මනුස්සය තේරුම් ගත්තා.
කොහොමහරි ගංගාරාම ඇතුළට ගියාම, ඇත්තටම මේක අදහගන්න බැරි තැනක් කියලා මෙයාට කියවුණා. යන එන ගමන් ඇවිත් හඳුන්කූරු දල්වන පෝච්චියකට එබිලා සුවඳත් බැලුවා. බුදුපිළිමවල හස්ත මුද්‍රා ගැන මෙයාට තිබුණේ ලොකු උනන්දුවක්. සොලමන් ඒ ගැන ටිකක් පැහැදිලි කළා. හැබැයි එයාගෙ තරමට. කොහොමහරි අවසානයේ මෙයා කෞතුක වස්තු දැකලා ගොඩක් පුදුම වුණ බව නම් අපි පැහැදිලිවම දැක්කා. ඒ විතරක් නෙවෙයි තේවා හඬ නිසා මෙයා පොඩ්ඩක් අන්ද මන්ද වෙලා හිටියෙ.
කන්න එන්නෝ... ඩොලර් එකයි Tik Tok සුදු මහත්තයා
නම ගම වතගොත නම් මෙයා දාලා තිබුණෙ නෑ. ඒත් මෙයා පහුගිය දවස්වල හිටිය ඇල්ලේ. මනුස්සයා කන්න ගියා ලංකාවේ සාමාන්‍ය කඩේකට. මාර වැඩේ, ගාන දැක්කම මෙයාට පිස්සු හැදුණා. ඕං දඩ බඩ ගාලා ෆෝන් එක අරගෙන ටික් ටොක් එකක් කළා. පිස්සුවෙන් වගේ කෑ ගගහා තමා මෙයා ඒ වැඩේ කළේ.
''යාලුවනේ... ඕ.. ඕ.. මම දැන් ඉන්නේ ශ්‍රී ලංකාවේ ඇල්ලේ දේශීය කෑම කඩේක. රයිස් ඇන්ඩ් කරි තියනවා. ශ්‍රී ලංකාවේ සල්ලිවලින් රුපියල් 350යි. ඒ කියන්නේ එක ඩොලර් එකයි. එක ඩොලර් එකයි මනුස්සයෝ. එක ඩොලර් එකයි. අම්මෝ. මේ බලපන්.''
ඩොලර් එකට ඇඟට කෑම වේලක් කන එක ගැන මනුස්සය පිස්සු හැදිලා හිටියෙ. ඇත්තටම ඒක එයගෙ මුහුණේ තිබුණු හැඟීම්වලින් හොඳට පෙණුනා. කන එකනම් පෙන්නුවෙ නෑ. හැබැයි හට්ටි මුට්ටි පෙරළගෙන කෑවද දන්නෙත් නෑ.
ඉගිලෙන ලංගමේට පිස්සු වැටුණු ඉන්දියානුවා
මෙයා නම් ඉන්දියාවේ ටිකක් විතර ජනප්‍රිය ට්‍රුවලර් කෙනෙක්. ලංකාවට ඇවිල්ලා එහෙ මෙහෙ කැරකි කැරකි ගොඩක් කතා කිව්වා. වැඩිපුර කතාකළේ හින්දියෙන් නිසා ගොඩක් දේවල් අපිට තේරුණේ නම් නෑ. ඒත් පහුගිය සතියේ මෙයා මඩකලපු ඉඳන් කොළඹට එන්න බස් එකකට ගොඩවුණා.
මේක සීටීබී බස් එකක්. ඉන්දියාවේ අශෝක ලේලන්ඩ් තමා මේ බස් හදලා තියෙන්නේ. ඔන්න මෙයාට බස් එක දැක්ක ගමන් පොඩි සතුටක් ඇතිවුණා. බස් එක අපේ රටේ අශෝක ලේලන්ඩ් එකේ තමා හදල තියෙන්නෙ කියලා කිව්වේ හින්දියෙන්. ආ ඒක අපිට තේරුණා. මෙයාට පොඩි බස් උණක් තියෙනවද කොහෙද? බස් එක ගැන තව මොන මොනවද විස්තර වගේකුත් කිව්වා.
අපේ සීටීබී බස් ඩ්‍රයිවර් මහත්තයත් නිකන් හිටියේ නෑ. හැටට හැටේ පිඹගෙන තමා මේ ගමන ආවේ. ඉතින් ඉන්දියානු යාළුවාට මේ වැඩේ හිතට අල්ලලා ගියා. ඉන්දියාවේ බස් කොට කොටා යන හින්දද දන්නෑ, අපේ ඩ්‍රයිවර් මහත්තයා ෆෝමියුලා වන් කොලිෆයිඩ් කෙනෙක් කියලාත් මෙන්න මෙයා කිව්වා. අපේ බස්වල වේගෙ ගැන මෙයා හිටියේ ටිකක් විතර පුදුම වෙලා. ඉස්සරහම සීට් එකේ වාඩිවෙලා හිටපු නිසා වැඩේ නැගලම ගියා.
ඔන්න හබරණත් පහුවෙලා බස් එක තේ බොන්න නැවැත්තුවට පස්සෙ මෙයා අපි සීටීබී එක ගැන ලොකු වර්ණනාවක් කළා. කොන්දොස්තර මහත්තයගෙ ඉඳන් හැමෝම සහයෝගය දක්වන බවක් කිව්වා. ලංකාවට ආවම ලංගමේ දුර ගමන් යන්න කියලාත් රෙක්මන් කළා. ඉන්දියානුවෙක් වෙච්ච මෙයාම මේ කතාව කිව්වේ. එකයි අපිට වටින්නේ. අවසානයේ ලංගම දුර බස්වල වැඩකිඩ නිසා අපිටත් පොඩි ආඩම්බරයක් නොදැණුනාම නෙවෙයි.
I නිසල්