අපි හමුවෙන්න බලාගෙන ඉද්දි එයා යුද්ධයෙන් මැරුණා...
මගේ හිතට දැනිච්ච ප්‍රථම ප්‍රේමය ඇතිවුණේ පාසල් යන කාලෙදි. මම රංගනයට එකතු වුණේ පාසල් යන කාලෙදි. ඉතින් මම ගැන ලියවුණු පුවත්පත් සාකච්ඡාවක මගේ ගෙදර ලිපිනය සඳහන් වෙලා තිබුණා. ඉතින් හිතාගන්නවත් බැරි තරමට ඒ කාලේ ගෙදරට ලියුම් ආවා. ඉස්කෝලෙ ගිහින් ගෙදර එන සමහර දවස්වලට මේසෙ උඩ තියෙන ලියුම් මම කෑම කන්නෙවත් නැතිව කඩලා බලනවා.
ඔන්න ඉතින් ඔය ලියුම් අතරේ හමුදාවේ සේවය කරන පිරිමි ළමයෙකුගේ ලියුමක් තිබුණා. ඒ ලියුම මට ටිකක් විශේෂිත වුණා. ඒ කාලේ යුද්ධය දරුණුවට තිබුණු කාලේ මේ පිරිමි ළමයා යුද වාතාවරණය වැඩියෙන්ම තිබුණු උතුරේ තමයි සේවය කළේ. එයාගේ නම ඩිලාන්. ගම කඩවත. ඔන්න ඉතින් එයත් මට ලියුම් එව්වා. මාත් එයාට ලියුම් යැව්වා. ඒ කාලෙ මේ අද වගේ ජංගම දුරකථන නැහැනෙ. ඉතින් 'වට්ස්ඇප්' ගැන කවර කතාද? ඉතින් ඒ කාලෙ මම ඉස්කෝලෙ ගිහින් ගෙදර ආවේ ඩිලාන්ගෙන් ලියුමක් ඇවිත්ද කියලා බලාගෙනයි. ගෙදරට එන ලියුම් මිටියෙන් මම මුලින්ම එයාගෙ අත් අකුරෙන් ලියපු ලියුම තේරුවා. ගෙදරට මගේ රසික රසිකාවියන්ගෙන් ලියුම් ආපු නිසා මේ විශේෂිත කෙනාගේ ලියුම ගැන කිසිම කෙනෙක්ට සැකයක් තිබුණෙ නැහැ. අනෙක් ලියුම් මම කියවලා ගෙදර අයටත් කියවන්න දුන්නට ඩිලාන් ලියපු ලියුම් මම කාටත් හොරා හොර රහසේ හංගා ගත්තා. සමහර ලියුම් තිබුණෙ කොට්ටෙ පුළුන්වල හංගලා මහලයි.
හැබැයි ඩිලාන්ට මට හැම සතියෙම ලියුම් එවන්න බැරි වුණා. ඒ කාලෙ හැටියට එයාගේ වැඩත් එක්ක ලියුම් එවන එක ලෙහෙසි වුණේ නැහැ. ඔන්න ඉතින් එක ලියුමක ඩිලාන්ගෙ ලස්සන පින්තූරයක් එවලා තිබුණා. අද නම් හිතුණු වෙලාවට වට්ස්ඇප් හරහා පින්තූර යවන්න පුළුවන් වුණාට ඒ කාලේ එහෙම නැහැ. ඔන්න ඉතින් මටත් ලස්සන පින්තූරයක් එවනවා කියලා ඩිලාන් ලියලා එවලා තිබුණා. අපි ලොකු 'ඇටෑක්' එකකට යනවා. ඒක ඉවර වුණාට පස්සෙ මම නිවාඩු එනවා. ඒ ආවාම මාව බලන්න එනවා කියලා පොරොන්දු වුණා. මාත් ආසාවෙන් එයාව බලන්න හිටියා. ටික දවසකට පස්සෙ පත්තරයක එයාගේ පින්තූරයක් දාලා තිබුණා. අනේ.. එතකොට තමයි එයා යුද්ධයෙන් නැතිවෙලා කියලා මට දැනගත්තෙ. මම ඇඬුවා. තනියම ඇඬුවා. කාටවත් කියන්නත් බැහැ. එයාගේ ගෙදර ගිහින් ඒ මුහුණ බලන්නත් බැහැ. සති ගාණක්, මාස ගාණක් මම එයා වෙනුවෙන් හොඳටම දුක් වුණා. ඒ තමයි මට දැනුණු ප්‍රථම ප්‍රේමය
උදයකුමාරි රණසිංහ
බස් එකේදි තමයි අපි දෙන්නා වැඩිපුරම ආදරය කළේ
මගේ ප්‍රථම ප්‍රේමය පාසල් යන කාලෙදි බස් එකේදි හමුවෙච්ච ප්‍රේමයක්. මම ඉගෙන ගත්තෙ බාලක පාසලකයි. මම උසස් පෙළ කරන කාලෙදි තමයි මුලින්ම ඇයව දැක්කෙ. එයා මට වඩා බාලයි. අම්මෝ.. එයාව දකින්න ඒ කාලෙ මම පුදුම කට්ටක් කෑවා. බොහෝ වෙලාවට එයා පාසල් බස් එකේ තමයි ගෙදර ගියේ. දවසක් එයා යන පාසල් බස් රථය මඟහැරුණු දවසක තමයි මුලින්ම මම එයාව දැක්කෙ. මට එයාව විශේෂිත වුණා. ඊටපස්සෙ මම එයාගේ නම, විස්තර හොයන්න පටන් ගත්තා. ඉතින් ඔන්න දවස් ගාණක්ම මම එයාගේ ඉස්කෝලෙ ළඟට ගිහින් එයා දිහා බලාගෙන හිටියා. හැබැයි ඒ දවස් ගාණම එයා එක්ක කතා කරන්න අවස්ථාව ලැබුණෙ නැහැ. එයා පාසල් බස් රථයේ නැගලා ගියා. ටික වෙලාවකින් මාත් ඉතින් බස් එකක නැගලා ගෙදර ආවා.
ඔන්න තවත් දවසක එයාට එයාගේ පාසල් බස් රථය මඟහැරුණා. මට පුදුම සතුටුයි. මම එයා නැගපු සාමාන්‍ය බස් රථයේ දුවලා ගිහින් නැගලා එයා ළඟින්ම හිටගත්තා. වචනයක් දෙකක් කතා කළා. කිසි කතාවක් එයාගෙන් නැහැ. පුදුම ආඩම්බරකාර කෙල්ලෙක්. මාත් අතහැරියේ නැහැ. දිගින් දිගටම එයා ඉස්කෝලෙ බස් රථය මඟහැරුණා. හැම දවසක්ම මම එයා යන බස් එකේ නැගලා එයා එක්ක කතා කරන්න, එයා දිහා බලාගෙන ඉන්න උත්සාහ කළා. දවසක් දෙකක් එයා යන බස් එකේ ගියාට කතා කළේ නැහැ. ආයේ එයා බස්වල නැගලා ආවේ නැහැ. මාත් මගේ පාඩුවේ මාසයක් විතර හිටියා. ආයේ දවසක් මුණගැහුණා. එදත් මම එයා ළඟින් වාඩිවෙලා ආවා. කොහොම හරි මූණවත් බලපු නැති එයාගේ පස්සෙන් මම මාස හතරක් විතර ගියා. අන්තිමට එයා කැමැත්ත දුන්නා. එදායින් පස්සෙ එයා ඕනකමින් පාසල් බස් රථය මඟහැරියා. ඊටපස්සෙ අපි බස්වල තමයි වැඩිපුරම ආදරය කළේ. අපි අවුරුද්දක් විතර ආදරය කළා. අන්තිමට අපි දෙන්නම තීරණය කරලා ඒක නතර කළා. ඒ ප්‍රථම ප්‍රේමය අදටත් සුන්දරයි.
චමීර ලියනගේ
අදටත් එයාට හිතින් ආදරෙයි එයා හැමදාම මගේ 'ක්‍රෂ්' එකක්
මගේ මුල්ම ආදරය ඇතිවුණේ මේ ක්ෂේත්‍රයට ආවට පස්සෙයි. ඇත්තම කිව්වොත් මුලදි ඒක ආදරයකටත් වඩා වෙනස්ම වුණු කැමැත්තක්. ඒක පොඩි 'ක්‍රෂ්' එකක්. එයා සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ජනප්‍රිය කෙනෙක්. එයා සංගීතය කරන කෙනෙක්. එයා සින්දු කියන විදිහට, එයාගේ සින්දුවලට මම මාරම ආසයි. ඒක පුදුම කැමැත්තක්. එයා කියන සින්දු ඕනෑතරම් මට අහගෙන ඉන්න පුළුවන්. ඒ තරමටම ඒක මාරම ක්‍රෂ් එකක්.
ඒත් එක අවුරුද්දක මම හිතුවෙවත් නැති වෙලාවක මගේ උපන් දින දවසක එයා උදේ මට ඇමතුමක් දුන්නා. මට හිතාගන්න බැරි වුණා. ඒක පුදුම සප්‍රයිස් එකක්. එයා මට කතා කරලා ගිටාර් එක වාදනය කරමින් සුබ පැතුවා. ඒ සුබ පැතුමෙන් පස්සෙ ටික කාලයකින් එයා මගෙන් යාළුවෙන්න ඇහුවා. හැබැයි ඒ වෙද්දි මම කෙනෙක්ට ආදරය කරපු නිසා මම කැමති වුණේ නැහැ. මගේ ඒ තිබුණු ආදරයට නැවතීමේ තිත තියලා තවත් කාලයකට පස්සෙ ආයෙත් එයා මගෙන් ඇහුවා. එතකොටත් මගේ ලොකු කැමැත්තක් තිබුණෙ නැහැ. හැබැයි ඒ ක්‍රෂ් එක තිබුණා. එයා ගැන හොයන්න, එයාගේ සින්දු අහන්න මම හරි ආසයි. මෑතක් වෙනතුරුම එයා මට කතා කළා. යාළුවෙක්ටත් වඩා ඔහු මම ගැන හොයලා බැලුවා. කොහොම හරි ඒ බැඳීම අද නැතත් අදටත් මම හරි ආදරෙයි.
පබසරා මධුශානි
දුරකථන අංකය නොදීපු ඒ කෙල්ල මට හරි විශේෂ වුණා
පළමු ආදරය කියලා කියන්නෙ මුලින්ම මුණගැහිච්ච කෙනා නෙමෙයි කියලයි මට හැඟෙන්නෙ. මට පාසල් යන කාලෙදි ගැහැනු ළමයි දෙන්නෙක් විතර ඉඳලා තියෙනවා. හැබැයි ඒ මුණගැහුණු මුල්ම කෙනා මගේ පළමු ආදරය කියලා හිතන්නෙ නැහැ. පළමු ආදරය කියලා කියන්නෙ හරියටම ආදරය දැනුණු තැනයි. ඉතින් ඒ වගේ හරියටම දැනුණු ආදරය මට මුණගැහුණෙ මගේ බිරිඳ නිසයි. මගේ පළමු ආදරය මට ලැබුණෙ දුලීගෙන්. ඒ තමයි මගේ ප්‍රථම ආදරය.
දුලීයි මායි මගේ හොඳම යාළුවෙක්ගෙ උපන් දින සාදයකදි තමයි මුලින්ම මුණගැහුණෙ. මුලින්ම ඒ සාදයට යන්න මගේ සූදානමක් තිබුණෙ නැහැ. අන්තිම මොහොතේ තමයි මම ඒ සාදයට ගියේ. එදා මම දුලීව දැක්කා. එයාගේ හොඳම යාළුවා විවාහවෙලා හිටියේ ඒ මගේ හොඳම යාළුවා එක්කයි. ඊට කලින් මම එක නර්තන වැඩසටහනකදි දුලීව දැකලා තිබුණා. හැබැයි එදා දුලී face paint එකක් ගහලයි තිබුණෙ. ඒ නිසා දුලීගේ මුහුණ මම එදා හරියටම දැක්කෙ නැහැ. එදා එයාගේ නර්තනය විතරයි මම දැක්කෙ. සාදය වෙලාවෙ දැක්ක ගමන් මට එයාව දැකලා පුරුදු හැඟීමක් දැනුණා. 'මෙයා මගේ පෙම්වතිය කරගන්න තිබුණානම්' කියන හැඟීම එදා මට ඇතිවුණා. මම එයාගෙන් දුරකථන අංකය ඉල්ලුවා. හැබැයි එයා මට දුන්නෙ නැහැ. ඒකත් මට විශේෂිත වුණා. ඊට කලින් මම දුරකථන අංකය ඉල්ලපු කිසිම ගැහැනු ළමයෙක් නොදී ඉඳලා නැහැ. ඉතින් ජීවිතේ පළවෙනි වතාවට මට දුරකථන අංකය නොදීපු මේ ගැහැනු ළමයා මට විශේෂ වුණා. හැබැයි එයා මගේ දිහා බලන බැල්මෙන් මම ගැන එයාගේ විශේෂයක් තියෙනවා කියලා මට හිතුණා. ඒ සාදය ඉවරවෙලා මම ගෙදර ගියා. එයා fb එක හොයලා මම ඒකට එයාට message කළා. මාස දෙක තුනක් එයාගේ පස්සෙන් ගියාට පස්සෙ එයා මට දුරකථන අංකය දුන්නා. ඒ කතාබහ දුරදිග ගිහින් අන්තිමට එයා මගේ බිරිඳ වුණා.
කැළුම් ශ්‍රී
හරියටම අවුරුද්දෙන් ප්‍රථම ප්‍රේමය හමාරයි
මගේ ප්‍රථම ප්‍රේමය ඇතිවුණේ පාසල් යන කාලෙදි. ඒක මම හත වසර පන්තියේ ඉගෙන ගනිද්දි ඇතිවුණු ප්‍රේමයක්. එයා මට වඩා බාලයි. ඒ කාලේ මම ටියුෂන් පාසලක තිබුණු වයලින් පන්තියකට ගියා. එයත් වෙනත් විෂයක් හදාරන්න එතනට ඇවිත් හිටියා. ඉතින් එක දවසක් මම එයාව දැක්කා. ඒ දැකීමෙන්ම මගේ හිතට එයා විශේෂිත ගැහැනු ළමයෙක් වුණා. එයා හැම වෙලාවෙම ගොඩක් හිනාවෙලා හිටපු කෙනෙක්. එයාගේ ඒ හිනාව හරි ලස්සනයි. ඉතින් ටික දවසක් මම එයාට නොදැනෙන්න එයාගේ පස්සෙන් ගියා. එයා ඉන්නෙ කොහෙද කියලා බැලුවා. සමහර දවස්වලට මම පන්ති නැතත් එයා පන්ති යන දවස් හොයලා මම එයාව බලන්න ආපු දවස් තිබුණා. හැබැයි මාසයක් දෙකක් යනතුරු මම එයා එක්ක කතා කළේ නැහැ. එයාගේ හිනාව වගේම එයාගේ මුහුණ හරි ලස්සනයි. එයා හරි ලස්සනට ඇඳුම් ඇන්දා. මම එයා ගැන යාළුවෙක්ටවත් කිව්වෙ නැහැ. එයා මට බැහැ කිව්වොත් යාළුවෝ මට හිනාවේවි කියලා මම යාළුවන්ට කිව්වෙ නැහැ. ඔය අතරේ එයාට වඩා එක අවුරුද්දක් වැඩිමහල් එයාගේ පාසල් වෑන් එකේ යන යාළුවෙක්ව මම හඳුනා ගත්තා. මම ඒ ගැහැනු ළමයාගෙන් මෙයා ගැන විස්තර ඇහුවා වගේම මෙයාගේ ලස්සන එයා එක්ක වර්ණනා කළා. ඒකෙන් එයාටත් මගේ හිතේ තිබුණු සුවිශේෂී බව තේරුණා. මාස දෙක තුනකට පස්සෙ දවසක් පන්තිය ළඟදි මම ඒ ගැහැනු ළමයා එක්ක කතා කළා. ඒ යද්දිවත් මම යාළුවො එක්ක ගියේ නැහැ. ටික දවසකින් එයාට මගේ හිතේ තිබුණු ආදරය තේරුණා. ටික දවසකින් අපි ආදරය කළා. මම පෙම්වතුන්ගේ දිනයට එයාට රෝස මලක් දුන්නා. අවුරුද්දක් විතර ගියාට පස්සෙ ඒ ආදරය නැවතුණා. ඒක තමයි මගේ ප්‍රථම ප්‍රේමය වුණේ.
දුමේෂ් බණ්ඩාර
මම කෙල්ලගෙන් බලාපොරොත්තු වුණේ අම්මා කෙනෙක්ගේ ආදරයයි විශ්වාසයයි එයා ගාව ඒවා තිබුණේ නැහැ
පාසල් අවධියේ ඉඳන්ම මට ප්‍රේමයක් තිබුණේ නැහැ. වර්තමානයේදි නම් පාසල් අධ්‍යාපනය ලබන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රේමය නිසා බොහෝ දේවල් කර ගන්නවා. ජීවිතය පවා අහිමි කර ගන්නවා. හැබැයි පාසල් අවධියේදි මම ප්‍රේම කළා තියා ගැහැනු ළමයෙක් දිහා බැලුවෙත් නැහැ. පෞද්ගලිකව ඒ කාලේ මට චණ්ඩි උණක් තිබුණා. ඉස්කෝලෙ ලොකු කොල්ලෙක්ට ගැහුවොත් ඒක හරි ලොකු දෙයක්. ඒ නිසා ඒ කාලෙ ගැහැනු ළමයෙක්ට ආදරයක් තිබුණෙ නැහැ. මගේ ප්‍රථම ප්‍රේමය කියන කෙනා ගැන මගේ හිතේ කැමැත්තක් තිබුණා. එයාව හඳුනා ගැනීමක් තිබුණා. හැබැයි ඒ කැමැත්ත මොකක්ද කියලා මටවත් පසුකාලීනව හිතාගන්න බැරිව ගියා. ආදරය කියනවාට වඩා මම අම්මා කෙනෙක්ගෙ සෙනෙහස බලාපොරොත්තු වුණා. අද සමාජය ආදරය කියන වචනයේ තියෙන ගෞරවාන්විත බව හඳුනන්නෙ නැහැ. මට ආදරය දැනෙන්න ඕන වුණා. ප්‍රථම ප්‍රේමයේදි මම බලාපොරොත්තු වුණු ආදරය මට දැනුණෙ නැහැ. මේ සම්බන්ධය මට හරියන්නෙ නැහැ කියලා අපේ අම්මට දැනිලා තිබුණා. ඒ ගැන අම්මා මට කිව්වා. ටික දවසකින් ඒ ගැහැනු ළමයයි මමයි කතාවෙලා ඒ සම්බන්ධය නතර කළා. ඒක දුරදිග ගිය සම්බන්ධයක් නෙමෙයි. ඒ සම්බන්ධය නතර කරපු එක හොඳයි කියලා අද මට හිතෙනවා. ආදරයෙදි විශ්වාසය මම දැඩිව බලාපොරොත්තු වෙනවා. එයා ගැන මගේ හිතේ තිබුණු විශ්වාසය මගෙන් ගිලිහිලා ගියා.
සුගත් ජානක
I දිශානි ජයමාලි