තමා පය ගසා සිටින මහ පොළොවට බරක් නොවන උදාර අරමුණු ඇති මිනිසුන් වරින් වර අපට විවිධ වෙසින් හමුවෙයි. තමන් ජනිත වූ මව්බිමට, රටට, දැයට කළ හැකි මෙහෙවර හැකි පමණින් සිදු කරන ඔවුන් ඉතිහාසයට එක් වන්නේ පුරාවෘත්ත ලෙසින්ය. අපේ රට තුළ කවියේත්, ගීතයේත් එලෙස තම නාමය සටහන් කොට පසුගියදා සිය නිර්මාණ දිවියේ අඩසියවසක් පසු කළ ඒ පුරාවත ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහය. රත්න ශ්‍රීගේ ආදරණීය දියණිය ලේඛිකා සම්මානි විජේසිංහ සමඟ ඇය වඩාත්ම කැමති තම පියාණන් ලියූ ගීතය ගැන කතා කරන්නයි හදසර තුළින් අප අද සූදානම් වන්නේ.
“මගේ ලෝකයේ වීරයා තමයි තාත්තා. මා හරිම භාග්‍යවන්ත දියණියක් කියලා මා කියන්න කැමතියි. කලාව සේම ජීවිතය ගැන මනා ලෙස කියවීමක් ලබන්න තාත්තාගේ සෙවණේ මට ඉඩ ලැබුණා. පියවරෙන් පියවර මහා කැපකිරීමක් කරමින් ආ ගමනක තාත්තා ලබාගත්තේ ප්‍රසිද්ධිය නොවේ. කීර්තියයි. ප්‍රසිද්ධිය ලබාගැනීම එක රැයකින් කරන්න හැකි වේවි. ඒත් කීර්තිය එලෙස ලැබීම අසීරුයි. ඒ වගේම මා විශ්වාස කරන දෙයක් තමයි මේ ලෝකයට එන අප කවුරුත් අත පැවරී තියෙනවා යම් මෙහෙවරක් කිරීමේ වගකීම. සමහරෙක් එය අවබෝධ කරගෙන මනා ලෙස ඉටු කරනවා. තව සමහරෙක් එලෙස තම වගකීම් යුතුකම් ඉටුකොට ලැබෙන කීර්තිය අවභාවිත කරනවා. සමහර අය තම හැකියාවෙන් තමන්ට පමණක්ම දෙයක් ලබාගෙන පසෙකට වෙනවා. එසේම තව කට්ටියක් ඉන්නවා ඒ අය ආවේ ඇයි? කළ යුතු මොනවාද? කියා කිසිදු අවබෝධයක් නොමැතිව ඔහේ කාලය ගෙවා දමා ජීවිතයෙන් සමුගන්නවා. මෙලොව නිවැරදිව දැකලා සංවේදනාවන් දැනිලා නිර්මාණ කරමින් ලොවට යහපත ඉටු කරන පරාර්ථකාමී මිනිසුන් සිටිනවා. එවන් බොහෝ රිදුම් දරාගෙන ලොවට යහපත් දේ නිර්ලෝභීව පුද කරන මිනිසුන් ගැන කියද්දී මට තාත්තාව වඩාත් ආදරණීයව දැනෙනවා. එහෙම පුද්ගලයෙකු වන මගේ තාත්තා ගැන මට ආදරයකටත් වඩා තියෙන්නේ ගෞරවයක්."
නිර්මාණවේදියෙකු තුළ පවතින සැබෑ ස්වරූපය, නිර්ව්‍යාජත්වය, ඇසූ පිරූ තැන් ඇති බව, අපූර්වත්වයෙන් යුතු දැක්ම යනාදී සියල්ල එක්ව ගත් කල බිහිවන නිර්මාණ යනු මෙලොව ඉදිරි ගමනට දායක වන දේය. නිරන්තරයෙන්ම සමාජය තුළ පීඩා විඳින දරුවන්, ගැහැනුන් හා මිනිසුන් පිළිබඳ අසන්නා තුළ අනුකම්පාව නොව සහකම්පනය ජනිත වන සේ සිය පන්හිඳ මෙහෙයවන ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ නම් තම ආදරණීය පියාණන්ගේ නිර්මාණ සයුරෙහි කිමිද තමන් වඩාත් ආදරය කරන නිර්මාණය, කැමතිම නිර්මාණය කුමක්දැයි පවසන ලෙස සම්මානිගෙන් අප විමසූයේ එය ඉතා අසීරු කටයුත්තක් යැයි දැන දැනමය.
“බිය නොවන් අයියණ්ඩි, වස්සානය වගෙ තාත්තාගෙ මුල් කාලයේ නිර්මාණ මගේ නෙත ගැටුණත් එතරම් අවබෝධයක් මට තිබුණෙ නැහැ. මොකද මා තරමක් කුඩා වයසේ හිටිය නිසා. තාත්තාගෙ පළමු ළමා ගීත සංග්‍රහය “රන් කිරි කට" පළවෙද්දි මම තුන වසරේ. එහි තිබුණ සමහර ගීතවලට පාදක වූ සිදුවීම් මගෙ අත්දැකීම්, මා කියූ දේවල්. ඒ වගේ එක සිද්ධියක් තමයි අපි දවසක් ගමේ ගිහින් එද්දි වුණ දෙයක්. මම ජනේලය අයිනේ හොඳ නින්දක හිටියේ. තාත්තා කිව්වා පුතේ නැගිටින්න කියලා. බස් එක වළවල්වල වැටි වැටී තමයි දැන් එන්නේ. ඉතින් එතකොට මම කියනවා අනේ බැහැ, එයා නොන්ඩි ඇන ඇන එන්නේ. පව් හිතෙනවා කියලා. තාත්තා හොඳටම හිනා වෙලා කියනවා, පුතේ ඒ නොන්ඩි අනිනවා නෙවෙයි, වළවල්වල වැටි වැටි බස් එක එන්නේ කියලා. තාත්තා මේ සිදුවීම පසු කලෙක ඒ ගීත සංග්‍රහයට ලියනවා මෙන්න මෙහෙම.
“පුංචි බස් එක නොන්ඩි ඇන ඇන
ගමට ආ දවසේ
පුංචි මල්ලියි මායි දෙන්නට
තිබුණු සන්තෝසේ
අවුරුද්ද වාගේ"
ඉතින් ඔය වගේ තාත්තගේ නිර්මාණ සඳහා මා කියූ දේ නිමිති කාරක වෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා. තාත්තගේ කවි ගීතවල මම ඉන්නවා. "දුවකගේ මතක" පොතේ මම ඒ දේවල් ලියලා තියෙනවා. මගේ තාත්තා කියන නිර්මාණකරුවාගේ දර්ශනය ගැන මට තියෙන්නේ අප්‍රමාණ ගෞරවයක්. තාත්තා වරෙක ලියනවා "බුදුවන්ට ඕන නුඹලා මට විවරණ දියල්ලා" කියලා. මම තාත්තව අවබෝධ කර ගන්නේ එතැනදී. ආදරය, ගෞරවය සමඟ ඔහු මගේ තාත්තා කියන දේටත් වඩා ඔහු තුළ සිටින නිර්මාණකරුවා අවබෝධ කර ගැනීම තුළින් ඔහු මගේ තාත්තා කියන අභිමානය මට දැනෙනවා.
ඉතින් තාත්තගේ නිර්මාණ අතරින් මා වඩාත්ම ප්‍රිය කරන එක් නිර්මාණයක් ගැන කිව්වොත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගයන, තාත්තා ගුරු සේවයේ සිටිද්දී ලත් සැබෑ අත්දැකීමක් පදනම් කරගෙන ලියූ "සුදු නෙළුම කෝ සොරබොර වැවේ" ගීතය මා නම් කරන්න කැමතියි. තාත්තගේ නිර්මාණවල ගැඹුර එහි තියෙනවා. ඔහුගේ සමාජ දෘෂ්ටිය, දර්ශනය යන සියල්ල එහි ගැබ්ව තියෙනවා. දරුවකු කියා එහි කොතැනකවත් සඳහන්ව නැහැ. සුදු නෙළුම කියායි කියන්නේ. මෙලොව සිටින දරුවන් කෙරෙහි තිබෙන ආදරය වඩාත් තදින් මට මේ ගීතය තුළ දැනෙනවා. රටේ සමාජ ආර්ථික දේශපාලනික කාරණා නිසා පරව යන ඒ මල් කැකුළු ගැන මට දැනෙනවා. මෙහි එක් තැනක තිබෙනවා මෙහෙම, “වැවට කළුවර යා වුණා සංසාර දුක බෝවුණා" කියා. මගේ හිත නවතින්නේ එතැන. තාත්තගේ සෑම නිර්මාණයකටම මම ආදරෙයි. හැබැයි "සුදු නෙළුම කෝ සොරබොර වැවේ" ගීතය මට ඒ අතරින් වඩාත් විශේෂයි."
සිය නිර්මාණ දිවියේ අඩ සියවසක් සපුරන තම පියාණන් ගැන, ඔහුගේ නිර්මාණ ගැන හා ඒ අතර තමා කැමතිම ගීතය ගැන ලේඛිකා සම්මානි විජේසිංහ හදසරට කිව්වේ එහෙම. තව චිරාත් කාලයක් නිදුකින් නිරෝගිව මව්බිමේ තම දරුවන්ට කව් ගී ලියා ඔවුන් අවදි කරන්නට ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහට හැකිවේවායි හදසර අපි සුබ පැතුම් එක් කරමු.
I මොනිකා සේරසිංහ
සේයාරුව I අන්තර්ජාලයෙන්