2023 ජුනි 10 වන සෙනසුරාදා

අපි චුට්ටක් ඌව වුණත් අපි වෘකයෝ

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 94

බමුණු රැවුල් ට්‍රුවල් අයියා දඩිං බිඩිං ඩෝං ගාලා බිම ඇදගෙන වැටුණු කතාව අපි ගිය සතියෙ කිව්වා. ඉතුරු විස්තරය අද කියන්නම් කියලා පොරොන්දු වුණානෙ. ඉතින් කොහොම හරි බමුණු රැවුල් මහත්මයට කරදරයක් වෙලා තිබුණෙ නෑ. අප්පු පොඩ්ඩක් ඌවා වෙලා. එච්චරයි.

කොහොම හරි මෙයා පහුවදා ගියේ කිතල්ඇල්ල පැත්තට. කිතල්ඇල්ල ඉස්ටේසමෙන් බැහැලා ඉස්සරහට යන ගමන් මෙයා අත පෙන්නලා හා.. නියම කතාවක් කිව්වා.

“මේක තවත් වික්‍රමයක ආරම්භයක්. අපි සටන්කාමී වෘකයෝ."

ඇත්තටම මෙයාලා ගියේ ටිකක් දිග ගමනක්. ගෑනු ළමයි දෙන්නත් එකතුවෙලා හිටියා මෙයත් එක්ක. පැය එකහමාරක් විතර වෙන මේ ගමන ඇතුළේ ගොඩක් දේවල් සිද්ධ වුණා. ඔන්න කුඹුරක් ළඟ ගෙයක් අයිනේ ලංකාවේ අපේ මාමා කෙනෙක් තැඹිලි විකුණනවා. මේක දැකපු බමුණු රැවුල් අයියට තැඹිලි ගෙඩියක් බොන්න හිතුණා.

තැඹිලි ගෙඩිය කපලා දෙනකොට ඒ ගෙදර නැන්දත් මේක දිහා බලාගෙන හිටියා. බමුණු රැවුල් අයියට හොඳ කළු පාට කොණ්ඩයකුයි රුවුලකුයි තමා තියෙන්නෙ. එයා බැලුවේ ඒක දිහා.

“මෙන්න මේ ගෑනු අයට ඔයාගේ කොණ්ඩෙ දැකලා හරි සතුටුයි."

එහෙම කිව්වෙ තැඹිලි මාමා. ඔන්න ඊට පස්සේ රැවුල් අයියා රහස හෙළි කළා.

“මම කොණ්ඩෙට දානවා පොල්තෙල්. පොල්තෙල් විතරමයි දාන්නෙ. ෂැම්පු ජාති පාවිච්චි කරන්නෙ නෑ. ෂැම්පු ජාතිවල කෙමිකල් කොණ්ඩය විනාශ කරනවා." 

ඇත්තටම ඉතින් ඒකත් ඉගෙන ගන්න වටින පාඩමක්. කොහොම හරි කඳු පල්ලම් බැහැගෙන කැලෑ මැදින්, කුඹුරු මැදින් මෙයාලා හති හල හලා ගමන ගියා. මඟදි හම්බවුණු ගෙදරක හිටපු චූටි චූටි බලු පැටව් සෙට් එකක් හුරතල් කරන්නත් මෙයාලා අමතක කළේ නෑ.

ගමන අතර තුවාල වුණු අත පෙන්නලා මෙයා තව කතාවක් කිව්වා.

“මේවා ට්‍රුවල් කරන අපේ ජීවිතවල කොටසක්. ඒත් අපි දිගටම ගමන් යනවා."

 

ඩැනී ලංකාවේදි වීසාත් දික් කර ගනී Dany # gotaworldtoss “මගේ ප්‍රියතම වෙරළ නගරය අහංගම."

මෙහෙම කිව්වේ ඩැනී. ඩැනී කියලා කියන්නෙ ලෝකෙ තරමක් ප්‍රසිද්ධ ට්‍රුවලර් කෙනෙක්. පහුගිය දවස්වල මෙයා ලංකාව හතර වටේ කරක් ගැහුවා. දැන් නම් මෙයා ලංකාවෙ නෑ. ඒත් එයා කරපු වීඩියෝ දැන් තමයි එළියට දාන්න පටන් අරගෙන තියෙන්නෙ.

වැඩේ කියන්නෙ මෙයාට ලංකාව කොච්චර හිතට ඇල්ලුවද කියලා කියනවා නම් වීසා දික් කරගෙන මාසයක් විතර මෙයා ලංකාවේ ඉන්න තීරණය කළා.

“මම ලංකාවේ ගොඩක් වෙරළවල්වලට ගියා. ඒවා ගොඩක් ලස්සනයි. මම ඒවාට කැමතියි. ඒ වෙරළවල් ලොකුයි. කලබලකාරීයි. ඉතින් මම මගේ වීසා දික් කර ගත්තා. අවසානෙ මම කැමතිම තැන නතර වුණා."

ඉතින් එයා කියන විදියට එයාගේ කැමතිම තැන තමා අහංගම වෙරළ තීරය. මෙයා ජලය මත ලිස්සා යාමේ ක්‍රීඩාවලටත් කැමති කෙනෙක්. ඒකත් මේ වෙරළට කැමති වෙන්න එක හේතුවක්.

කොහොම හරි මෙයා අහංගම හිටියේ පහුගිය සිංහල අලුත් අවුරුදු කාලේ. අවුරුද්දට ඔක්කොම ගෙවල්වලට ගියත්, එයා හිටපු තැන කට්ටිය සිංහල අලුත් අවුරුදු කෑම මේසෙට ඩැනීට ආරාධනා කරලා තිබුණා.

කොහොම හරි ඩැනී මහත්තයා වීඩියෝ එකට දාලා තිබුණු නම තමා අපේ හිතට තදින්ම වැදුණේ.

“ශ්‍රී ලංකාවේ සැඟවුණු පාරාදීසය. අහංගම ඔබ දැකිය යුතුමයි. මෙය බාලිවලට වඩා විශිෂ්ටද?”

 

ලොකු ගමනක් යන අතරේ ලංකාවේ YouTube - Brayden Drvelow

මේ යාළුවගේ වයස අවුරුදු 25 යි. මෙයාගේ බලාපොරොත්තුව තමයි අවුරුදු තුනක් ඇතුළත ලෝකෙ ඇතුළත ලෝකෙ වටේ රටවල් 100 ක සංචාරය කරන එක. කොහොම හරි මේ අලුත් යාළුවා ලංකාවට ඇවිල්ලා නතර වුණේ මීගමුවේ. කොහොම හරි ලංකාවේ පවුලක් මෙයා එක්ක හිතවත් වෙලා ඉන්නවා අපි දැක්කා.

ඔන්න පහුගිය දවසක මේ යාළුවා සරමකුයි ෂර්ට් එකකුයි ඇඳගෙන ගමනක් යන්න ලෑස්ති වුණා.

“මට ආරාධනාවක් ලැබුණා අලුත් පල්ලියක් විවෘත කරන එකකට යන්න. මේ පවුලේ අය තමා මට ආරාධනා කළේ. ඊට කලින් යනවා අපි පොල් වත්තක් බලන්න."

එහෙම කියලා ඇඳගෙන කරගෙන යාළුවා අපේ පවුලේ කට්ටියත් එක්ක ගමන පිටත් වුණා. එයාලා මුලින්ම ගියේ පොල්වත්ත බලන්න. යාළුවට ලංකාවේ විදියට කන්නත් හම්බවුණා.

මේ ගෙදර කට්ටිය මෙයාට වත්තෙ තියෙන ගස් ගැන ගොඩක් දේවල් පැහැදිලි කළා. ඇමෙරිකාවේ ඩොලර් අටක් වන කාමරංගා, මේ ඉන්න ගෙදර උදවිය හැමදාම උදේට මෙයාට කන්න දෙනවා කියලා යාළුවා කිව්වා. වත්තේ ගොඩක් ගස් තිබුණා. ඒවායේ වතගොත දැනගන්න කැමැත්තෙන් හිටියේ.

මෙයා ටිකක් නිවුණු, ආතල්, අමුතු ජාතියෙ චරිතයක්. පොඩි ශාස්ත්‍රීය ගතියකුත් දැක්කා. කොහොම හරි මෙයාලා රූවෙලා අලුත් පල්ලිය විවෘත කරන උත්සවයටත් ගියා. එතනත් සැණකෙළි අසිරියක් තිබුණු බොහොම ලස්සන තැනක්. කොහොම හරි රූ වෙලා ගෙදර ආවම විදුලිය විසන්ධියක් නිසා අපේ යාළුවට තවත් අලුත් අත්දැකීමක් ලැබුණා.

මෙයාගේ කතාවේ තිබුණු ලස්සනම කොටස තමයි මේ පවුල, යාළුවා භාරගෙන හිටපු එක. ඒ පවුලේ උදවියත් එයාට දරුවෙක්, සහෝදරයෙක් විදියටම සැලකුවා. මෙයාගේ තව කතාවක් ආවොත් ඒකත් අපි ලබන සතියේ ඔයාලට කියනවා.

I චමිඳු නිසල්